ළඟදීම මම හිස බූ ගානවා

කලා ලෝකයට නිරතුරුව නවක ශිල්පීහු එක්වෙති. එහෙත් එසේ පැමිණෙන බහුතරයකගේ පැවැත්ම කෙටි කාලයකට සීමාවේ. එදා මෙදා තුර කලා ඉතිහාසය දෙස බලද්දී එය ඉතා හොඳින් දැකිය හැක. එහෙත් කලා කෙත අස්වද්දමින් අඛණ්ඩව ඒ තුළ රැඳී සිටින කලාකරුවෝද සිටිති. මෙවර අප හමුවන ඔහු වේදිකාව පුංචි තිරය සේම රිදීතිරය ඔස්සේද සිය කුසලතා පළකරමින් දශක ගණනාවක් පුරා කලාවෙහි රැඳී සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස්ය. පාඨක හිතවතුන් වෙනුවෙන්
ශ්‍රියන්ත අප සමග කතාබහට එක්වූයේ මෙලෙසිනි.

ඔබේ කලා ජීවිතයේ නවතම තොරතුරු කතා කළොත් 

මා රඟපෑ “රෝද තුනේ මනමාලි”  (ස්වාධීන රූපවාහිනිය), “උරුමයක අරගලය” (හිරු ටීවී)  මේ දවස්වල විකාශය වනවා. ඒ වගේම පසුගිය දා නිමා වූ ස්වර්ණවාහිනීයේ විකාශය වූ “සුදු අඟුරු” ටෙලි නාට්‍යයටත් තවම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා, ජයන්ත චන්ද්‍රසිරිගේ “ධර සර්ප” සහ “ශ්‍රියානි අමරසේනගේ “තීර්ථ යාත්‍රා” චිත්‍රපට ඉදිරියේදී තිරගත වන්නට නියමිතයි. ප්‍රදීප් ධර්මදාසගේ “සයිලෝක” චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නේ.. “ධර සර්ප” චිත්‍රපටයේ කතෝලික පූජකවරයෙකුගේ චරිතයක් රඟ පෑ මම “සයිලෝක” චිත්‍රපටියේ ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් රඟපානවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් හිස බූ ගාන්නටත් සිදුවේවි.

ඔබට කලාවේ දොරටු විවර ක‍ලේ වේදිකාව.. දැන් ඔබ වේදිකාවෙන් දුරස්වෙලාද...? 

අ‍පොයි නැහැ. මම පසුගිය 8 වැනිදා අලුතින් වේදිකා නාට්‍යයක් ආරම්භ කළා..

ඒ ගැන දැනගන්නට ශ්‍රියන්තගේ රසිකයින් කැමති වේවි  .. 

එය නම්කර තිබෙන්නේ “මමයි ආණ්ඩුව නමින්. “දේශපාලනය ආගමකි. එහි සියලු දෙවිවරු අසාර්ථකය. ඒ නිසා මමයි ආණ්ඩුව විදියටයි එහි තේමා පාඨය දක්වා තියෙන්නේ.

“මමයි ආණ්ඩුව..” සඳහා දායක වන ශිල්පීන් ගැන කතාකළොත් ..

මෙම නාට්‍යය රචනා කළේ මගේ සොයුරු “අජිත් මෙන්ඩිස්” මමයි කුසුමුයි හැරුනම මේ සඳහා ජනක කුඹුකගේ, වසන්ත විට්ටච්චි, ජයන්ත මුතු තන්ත්‍රි, සහ “හාරකෝටිය” ටෙලිනාට්‍යයේ රංජි ලෙස රඟ පෑ “රොහාන් විජේතුංග රංගනයෙන් දායක වනවා.

“මමයි ආණ්ඩුව..” වේදිකා ගතවන්නේ කවදාද කියන එක ශ්‍රියන්තගේ රසික පිරිසට සුභාරංචියක් වේවි ?

ජූනි මස 23 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහ‍ලේදී

පුද්ගලික ජීවිතය ගැන කතාකළොත්   ..

සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.

දුවලා  දෙන්නා විවාහවෙලා ගියාට පස්සේ දැන් ශ්‍රියන්ත කුසුම් දෙන්නට නිවසේ ලොකු පාළුවක් දැනෙනව ඇති  .. 

ඒක නම් තදින්ම දැනෙනවා. මට වගේම කුසුම්ටත්  ඒ පාළුව දැනෙනවා. දෙන්නම රඟපෑමේ නිතරවෙලා ඉන්න හිංදා පාළුව යම්තාක් දුරකට සමනය උනත් නිවසේ ඉන්න හැම වෙලාවෙම දුවලා දෙන්නව මතක් වෙනවා..

රූගත කිරීම් නැතුව නිවසට වෙලා ඉන්න දවස් ගවෛන්නේ කොහොමද .. ?

ඒ දවස් හරි දිගයි කියලා හිතෙනවා. කුසුම් උයන පිහන කටයුතු කරනවා. මම ගේ අස්පස් කරන කටයුතු කරනවා. ‍පොඩි දුව “චන්ද්‍ර නන්දනී” නාට්‍යයේ නන්දනීගේ චරිතයට හඬ කැවීම් කරන නිසා සෙනසුරාදා ඉරිදා දවස්වලට ගෙදර එනවා. ලොකු දුව ඉන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝ මීටර් 7ක විතර දුරකින්. නිවාඩු දවස්වල හවස් වරුවේ එහෙ යනවා. ලොකු දුවගේ දුව (ගබ්‍රියේලා කැතලින්)ට දැන් වයස අවුරුදු 4 ක් විතර ඇති. එයාගේ හුරතල් වැඩත් එක්ක ගෙවිල යන පැය කීපය උනත් හරිම සුන්දරයි.

පුංචි මිණිපිරීටත් පරම්පරාවෙන් උරුම වූ කලා කුසලතා පිහිටලා ඇති .. 

නැටුම් ගැයුම් හැකියාව තියෙන බව හොඳට තේරෙන්වා. ‍පොඩි දුව හඬකැවීම්වලට එකතු වුණත් රඟපාන්න ආවේ නැහැ. ලොකු දුවත් රඟපෑම ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. දුවලා දෙන්නම අපි දෙන්නගේ අඩිපාරේ ගියේ නැති උනාට මිණිපිරී නම් සීයගෙයි ආච්චිගෙයි අඩිපාරේ ගිහින් දවසක රඟපෑමට එකතු වෙයිද කියලා හිතෙනවා..

පුංචි දරුවෝ නිතර මුමුණන්නේ කනට ඇහෙන ගී.. ශ්‍රියන්තගේ පුංචි මිණිපිරීත් ගී මුමුණනවද .. ?

එයා වැඩියෙන්ම කියන්නේ ඉංග්‍රීසි ගීත. දැනට බිෂොප් විදුහල් පෙර පාසැ‍ලේ ඉගෙන ගන්නේ. එයාගේ පෙර පාසැලින් උගන්නලා වෙන්න ඇති “දන්නෝ බුදුන්ගේ” ගීතයේ කොටස් ගයනවා. “ගල්ලෙන බිඳලා” ගීතයේ කොටස් පවා ගයනවා. තවම වයස 4ක් උනාට නිවැරදිම තාලයට ඒ ගී ගයනවා.

ශ්‍රියන්තගෙයි කුසුම්ගෙයි ටෙලි නාට්‍ය දකින විට කොහොමද ඇගේ ප්‍රතිචාර .. 

එයා දන්නවා අපි දෙන්න ටෙලි නාට්‍යය නළු නිළියන් බව.. මේ ළඟදි දවසක ඒ ගැන අපූරු කතාවක් කිව්වා..

මොකක්ද ඒ .. ?

එදා කුසුම්ට රූගත කිරීම්. මම තනියම ගෙදර හිටිය හිංදා ලොකු දුවලාගේ ගෙදර ගියා. ඒ යද්දි දුව අපේ මිණිපිරීට කියලා තියෙනවා “අන්න සීයා එනවා” කියලා.  මිණිපිරී ඇහුවලු “අම්මිගේ සීයද..? තාත්තිගේ සීයද..?”  කියලා. අම්මිගේ සීයා කියන්නේ මට. තාත්තිගේ සීයා කියන්නේ දුවගේ මහත්තයගේ තාත්තට. දුව කියලා තියෙනව “අම්මිගේ සීයා” කියලා. මොකක්ද දන්නවද ඒ වෙලාවේ අපේ පුංචි මිනිපිරී දීල තියෙන උත්තරේ.. එයා අහනවලු “ශ්‍රියන්ත මෙන්ඩිස් ද..” කියලා.. මිනිපිරී මාව නමින්ම දන්නවා.. මොකද එයා මම ඉන්න ටෙලි නාට්‍යය බලනවා.. එයා නාට්‍යවලට උනන්දුවක් දක්වනවා. ඒකයි මම කිව්වේ දවසක එයා ”සීයගෙයි ආච්චිගෙයි අඩිපාරේ යයිද දන්නේ නැ කියලා..

ආරියවංශ කුලතිලක