රඟපෑමටයි නිරූපණයටයි අමතරව සඳනි කරනදේ

ප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල බොහෝ දෙනා දැන හඳුනන කෙනෙක්. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘රශ්මි’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගත් ඇය, මේ වනවිට සිනමාවටද පිවිස සිටිනවා. මේ
දිගහැරෙන්නේ ඇය සමග කළ කතාබහයි.

‘රශ්මි’ කිව්වොත් දැන් සඳුනිව කවුරුත් දන්නවා?

ඔව්, මගේ පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර නමක් හදාගන්න මට පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. ටෙලි නාට්‍යය දැන් විකාශය වෙලා ඉවර වුණත්, මා රඟපෑ ‘රශ්මි’ චරිතයට තවමත් එදා වගේම රසික ප්‍රතිචාර ලැබෙනවා.

මෑතක දී ඔබට චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ලැබුණා නේද?

අරුණ ජයවර්ධන මහත්මයා අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. ඉන් එක් චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස යන ප්‍රවීණ අය මෙහි රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කළේ ජනවාරි මාසයේ. දැන් ගොඩක් දුරට එහි වැඩ අවසන් වෙලා තියෙනවා.

‘හාර කෝටිය’ සඳනිගේ පළමු ටෙලි නාට්‍යය කිව්වොත් හරිද?

ඔව්, ඒ අවස්ථාව ලැබුණේ චාමර සමරවික්‍රම අයියා නිසා. ඔහු තමයි කිව්වේ අලුත් නාට්‍යයක් කරනවා ඇවිත් බලන්න, අවස්ථාවක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ සද්ධා සර් මුණගැහිලා මේ සම්බන්ධව කතා කළා. ඊට පස්සේ සද්ධා සර් වගේම, ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ශිවා සර් දෙන්නා කතා කරලා තමයි මට මේ චරිතය ලබාදුන්නේ.

රඟපාන්න කලින්ද නිරූපණය පැත්තට යොමු වුණේ?

නැහැ, රඟපාන්න ආවට පස්සේ තමයි නිරූපණය පැත්තට යොමු වුණේ. දැන්නම් පොටෝ ෂූට් වගේ දේවල්වලට නිරූපිකාවක් විදිහට මම පෙනී ඉන්නවා. නිරූපණයට අමතරව මම දැනට වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා වගේ දේවල්වලටත් දායක වෙලා තියෙනවා. සිරස ‘සුපර්ස්ටාර්’ පියත් රාජපක්ෂ ගායනා කළ ‘ප්‍රියාවී’ තමයි මම මුලින්ම රඟපෑ රූප රචනාව. ඊට පස්සේ ජනප්‍රිය වුණ ඉරාජ් වීරරත්න හා ශලනි තාරකා ගායනා කළ ගීතවල රූප රචනාවලටත් මම පෙනී හිටියා.

සිනමාවටද, ටෙලි නාට්‍යවලටද ඔබ වඩා කැමති?

මම සිනමාවට වැඩිපුර දායකත්වයක් දෙන්න කැමතියි. එහෙම කියලා ටෙලි නාට්‍යය පැත්ත අත්හරින්න කැමති නැහැ. ගොඩක් හොඳ නිර්මාණ ආවත්, සිනමාවට වගේම ටෙලි නාට්‍යවලටත් මම අනිවාර්යයෙන්ම දායක වෙනවා.

මතක් කරන්න පිරිසකුත් ඉන්නවාද ඔබට?

ඔව්, ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට මාව යොමු කළ චාමර සමරවික්‍රම අයියාව මතක් කළ යුතුයි. ඊට පස්සේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර් වගේම ‘හාර කෝටිය’ අධ්‍යක්ෂණය කළ ප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ව මතක් කළ යුතුයි. ඔවුන් අතදුන්නේ නැත්නම් අද ‘සඳනි’ තුළින් ‘රශ්මි’ කෙනෙක් මතු වෙන්නේ නැහැ. ඒ වගේම අලුතින් මම සම්බන්ධ වෙලා ඉන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන මහත්මයාවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා.