මම චුට්ටක් දඟයි ටිකක් වසයි

පෝෂිනී අපිට ඔයා ගැන ටිකක් කියන්නකො...?
මම පෝෂිනී දිසානායක. මම ඉන්නෙ ජාඇල කොටුගොඩ. මගේ ගෙදර ඉන්නෙ අම්මයි අක්කයි මමයි විතරයි. මම පවුලේ බාලයා.

පුංචි කාලේ ඔබ මොනවගේ චරිතයක්ද...?
පුංචි කාලේ මම චුට්ටක් දඟයි. ඒ වගේම ටිකක් වසයි. මම පවුලේ බාලයා නිසාම හුරතලේට තමයි හැදුණේ. හැබැයි මම සතුන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසාම පුංචි
කාලේ ඉඳන් මම ගෙදර හැමෝගෙම ආදරෙත් එක්ක තමයි ජීවත් වුණේ.

ඔබ ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
එක වසරේ ඉඳන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම ඉගෙන ගත්තෙ කොටුගොඩ ශ්‍රී පඤ්ඤාරත්න ජාතික පාසලෙන්. ඊටපස්සෙ මම උසස් පෙළ ඉගෙන ගන්න මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ගියා. ඉස්කෝලෙදිත් මම ටිකක් දඟයි. හැබැයි අධ්‍යාපන කටයුතුත් හොඳින් කළා. මට යාළුවොත් ගොඩක් හිටියා. ඉතින් ඒ අයත් එක්ක සුන්දර පාසල් ජීවිතයක් මම ගත කළා.

කොහොමද කලාවට සම්බන්ධ වුණේ...?
මගේ අම්මා කලාවට ගොඩක් කැමති කෙනෙක්. අම්මගේ හීනය තමයි මේ. මගේ අම්මා තමයි මාව මේ දේවල්වලට යොමුකරන්න උනන්දු වුණේ. කලා කටයුත්තක සම්මුඛ පරීක්ෂණයකට වුණත් මාව උනන්දු කරලා එක්කරගෙන ගියේ මගේ අම්මා. ඒ නිසා තමයි මම කලාවට එකතු වුණේ.

මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය මොකක්ද...?
රූපවාහිනියේ භාවනා කියලා ටෙලිනාට්‍යයකට මම මුලින්ම සම්බන්ධ වුණා. එතකොට මගේ වයස අවුරුදු දහතුනක් විතර ඇති. ඊටපස්සෙ දරුවනේ චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපාන්න ලැබුණා. ඊටපස්සෙ උසස් පෙළ විභාගය නිසා මම කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ. මගේ අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ තමයි සුමිත් රෝහණ තිත්තවැල්ලගේ පුංචි අන්දරේ චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ.

පුංචි අන්දරේ සිනමා නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
ඒකට මට අවස්ථාව ලැබුණේ ප්‍රවීණ වේෂනිරූපණ ශිල්පී සෑම් පෙරේරා මහතා හරහායි. ඊටපස්සෙ සම්මුඛ පරීක්ෂණයට මමත් ඉදිරිපත් වෙලා ඒකෙන් තේරැණා. ඒ අනුව තමයි පුංචි අන්දරේ නිර්මාණයට දායක වුණේ.

පුංචි අන්දරේ චිත්‍රපටයේදී ඉතා ප්‍රවීණ කලාකරුවන්, කලාකාරියන් එක්ක ඔබට රඟපාන්න අවස්ථාව ලැබුණා. කොහොමද ඒ ලැබුණු අවස්ථාව සහ ඒ රූගත කිරීම් ගැන කතා කළොත්...?
ඇත්තටම පුංචි අන්දරේ කියන්නෙ මම හරිම ආසාවෙන් කරපු නිර්මාණයක්. ඒ කාලය හරිම සුන්දරයි. අලුත් අත්දැකීම් ජීවිතයට එකතු වුණා. දැන් කාලේ ඉන්න ගැහැනු ළමයි වගේ නෙමෙයි, ඒ කාලේ ඉන්න ගැහැනු ළමයින්ගේ ඇඳුම්, ජීවත්වෙන වටපිටාව පවා වෙනස්. ඉතින් ඒ චරිතය දැන් කාලෙත් එක්ක හරිම වෙනස්. ඒ වෙනස රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක්. ඒ නිර්මාණයෙදී අපේ රටේ ඉන්න ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීමේ වාසනාවත් මට ලැබුණා. විශේෂයෙන් මහේන්ද්‍ර සර්ගෙන්, සතිස්චන්ද්‍ර සර්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් අලුත්, ආධුනික මට ලොකු සහයෝගයක් ලැබුණා. එවැනි අයත් එක්ක එකතුවෙලා රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක්. ඒ වගේම සුමිත් රෝහණ සර් ඇතුළු පුංචි අන්දරේ කණ්ඩායමෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

මොනවද තියෙන බලාපොරොත්තු...?
පුංචි අන්දරේ පොඩි කාලසීමාවක් ඇතුළතදී තමයි තිරගත වුණේ. ඒ කාලසීමාව තුළදී බොහෝ දෙනා මගේ රංගනය ගැන හොඳ කිව්වා. හැබැයි මම මේ ක්ෂේත්‍රයට තවමත් අලුත්. ඉදිරියේදී මම දායකවුණු පාටක් නැති ආදරේ කියන චිත්‍රපටයෙන් දැකබලාගන්න පුළුවන් වේවි. රංගනය පිළිබඳව මට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින්... ඒ දේවල් ඉගෙනගෙන කවදාහරි දවසක මගේ අම්මා දකින හොඳ කලාකාරියක් වීමේ බලාපොරොත්තුව ඉටුකිරීම මගේ හිතේ හැමදාමත් තියෙනවා.