මට හිතෙනවා අපරාදේ ඇයි මට මීට කලින් මවක් වෙන්න බැරි වුණේ කියලා

කලා ක්ෂේත්‍රයේ කලා තරු අතර ඉන්න දක්ෂ නිළියක් මෙන්ම නර්තන ශිල්පිණියක් වන හිමාලි සිරිවර්ධන පුංචිතිරය තුළ බොහොම කාර්යබහුල චරිතයක්. ඒ කාර්යබහුල ජීවිතය අතරේ ඇයත් මවක් වෙන්න බොහෝ කාලයක් හීන මැව්වා. වසර ගණනාවක් පෙරුම් පුරලා ඔන්න ඇයත් තව නොබෝ දිනකින් ලෝකයේ උතුම්ම පදිවිය වන මව් පදවිය ලබන්න බලාපොරොත්තු ගොන්නක් එක්ක දින ගණිනවා. තවත් දින කිහිපයකින් දරු සුරතල් බලන්නට හීන දකින ඇය සමග කතාබහ කරන්නට
පුංචි වෙලාවක් අපි වෙන් කළා.

 අවිවේකී ජීවිතේට පුංචි විවේකයක් ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ?

දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම දැනුණු සතුට වචනයෙන් කියලා නිම කරන්න බැහැ. තව දින කිහිපයක් තමයි තියෙන්නේ දරුවා ලැබෙන්න. සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන්න තමයි මගේ එකම අපේක්ෂාව. දැන් නම් ගෙදරට වෙලා විවේකීව ඉන්නවා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විවේකය වගේම ව්‍යායාමත් අවශ්‍යයි. ඒ නිසා ගෙදර වැඩ කටයුතුත් මම සාමාන්‍ය විදිහට කරනවා.

ඔබ මෑතක් වෙනතෙක්ම කලා කටයුතුවලට සම්බන්ධ වුණා නේද?

ඇත්තටම මාස පහක් යනකම් හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයේ හිටියා. ජනවාරි මාසේ ඉඳලා මම සියලූම කලා කටයුතු නතර කළා.

මවක් වෙන්න මේ තරම් ලොකු කාලයක් ගත්තේ කලා කටයුතු නිසාද?

ඇත්තටම කලා වැඩ කටයුතු එක්ක මම හැමදාම කාර්යබහුල වුණා. දැන් මම විවාහ වෙලා අවුරුදු එකොළහක්. ගෙවුණු අවුරුදු එකොළහෙම හැම අවුරුද්දකම මේ අවුරුද්දේවත් දරු පැටියෙක් හදන්න ඕනැ කියලා අපි හිතාගෙන හිටියා. ඒත් වැඩ නිසා දන්නෙම නැතුව කාර්යබහුල වුණා. නර්තන කණ්ඩායමත් එක්ක නොසිතපු විදියට කාර්යබහුල වුණා. ඔය විදිහට දන්නේම නැතුව කාලය ගෙවිලා ගියා. ඒත් දැන් මට හිතෙනවා අපරාදේ ඇයි මට මීට කලින් මවක් වෙන්න බැරි වුණේ කියලා. අවුරුදු එකොළහක් මේ පැටියා අපේ ලෝකෙට එනකම් පෙරුම් පිරුවා. පැටියාගේ මූණ බලන්න හරි ආසාවෙන් ඉන්නවා.

දුවෙකුටද, පුතෙකුටද වැඩිය කැමති?

ලැබෙන කෙනා කවුරු වුණත් ආදරෙන් බාරගන්නවා. මම වැඩියෙන් ආස දුවලට. දූ පැටියෙක් ලැබුණොත් ලස්සන හැඩට අන්දන්න පුළුවන්නේ. ඒත් නිවුන්නු ලැබෙනවා නම් හොඳයි කියලා මට නිතරම හිතෙනවා.

දරුවා නිසා කලා කටයුතු හිමාලිගෙන් මගඇරිලම යයිද?

මම ජීවිතේ හැම දෙයක් වගේම ප්ලෑන් කරලා කරන කෙනෙක්. මෙගා ස්ටාර්වලින් පස්සෙ දරුවෙක් ගැන හිතන්න ඕනැ කියලා සැලසුම් කළා. නර්තන කණ්ඩායමයි, කලා කටයුතුයි මම නතර කළේ තාවකාලිකව. කොහොම වුණත් දරුවා නිසා මට ලොකු කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඊට පස්සේ නැවත කලා කටයුතුවලට දායකවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. කලාවෙන් ඉවත් වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. පැටියා එක්ක පුළුවන් විදියට කලාව වෙනුවෙන් කාලය වෙන් කරගන්න උත්සාහ කරනවා.

මගේ අම්මා මට නිතරම කිව්වේ ‘‘අපි වයසට යන්න කලින් අපේ අත පය හයිය තියෙන කාලෙ, උදව් කරන්න පුළුවන් වෙලාවේ දරුවෙක් හදන්න කියලා’’. මේ වෙලාවේ මගේ සැමියාගේ පවුලේ අයත්, මගේ දෙමාපියොත් ගොඩක් උදව්කරනවා. මගේ අම්මාගෙත් එකම ආසාව වුණේ මම අම්මා කෙනෙක් වෙනවා දකින්න.

නර්තනයෙන් රංගනයෙන් දිගටම වැඩකරපු නිසා විවේකීව ගෙවන ජීවිතේ කම්මැලිකමක් දැනෙන්නේ නැද්ද?

පොඩි කම්මැලිකමක් නම් දැනෙනවා. ඒ වෙලාවට පොත් කියවනවා. සින්දු අහනවා. පැටියට ඇඳුම් ලෑස්ති කරනවා. ඕවා තමයි කම්මැලිකමට කරන්නේ. සමහරු මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දන්නේ නැතුව නිර්මාණවලටත් කතා කළා. මම දැන් රූපෙන් ශරීරෙන් ගොඩක් වෙනස් වෙලා. ඒ නිසා කිසිම කලා කටයුත්තක් භාරගත්තේ නැහැ. දැන් මම මුලික තැන දෙන්නේ මගේ පැටියට.

මවක් වෙන්න යනවා කියලා මුලින්ම දැනගත්තේ කොහොමද?

මාස දෙකක් යනකල්ම මම දැනගෙන හිටියේ නැහැ. මම නර්තන ප්‍රසංගවලටත් සහභාගී වුණා. මට ටික ටික ශාරීරික අපහසුතා ගොඩක් දැනුණා. දැනගත්තට පස්සේ සියලූම වැඩ කටයුතු නතර කළා. ඊට පස්සේ මම හිතුවෙ බබා ගැන විතරයි. ඇත්තටම ඒක අමුතුම අද්දැකීමක්. ඒ ඇද්දැකීම් දැන් විඳිනකොට මවක් වෙන්න මේ තරම් පමා වුණේ අපරාදේ කියලා හිතනවා.

දැන් ජීවිතේ හැමදේම වෙනස් වෙලාද?

කෑම බීමෙන් පවා මම ගොඩක් වෙනස් වුණා. බබා ගැන හිතලම වෙනදට ප්‍රිය නොකරපු ආහාර පවා මම ගත්තා. මගේ සැමියා වෙනදාට වාඩා මාව පරිස්සම් කරනවා.

රූපය, ශරීරය ගැන මම ගොඩක් හිතන කෙනෙක්. දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ රූපලාවන්‍ය කටයුතු සියල්ල අතහැරියා. සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ වෙනස්වුණා. මේක හරිම සුන්දර කාලයක්. අවුරුදු එකොළහක් හීන මවපු බලාපොරොත්තුව දෙවියන් වහන්සේ විසින් මට දැන් දීලා තියෙනවා. අපි දෙන්නගේ ජීවිතේ ඒ වෙනුවෙන් කැපකරනවා. දරුවා ලැබුණට පස්සේ අවුරුද්දක් දෙකක් මම කලාවෙන් ඈත් වෙනවා.

 නදීශා අතුකෝරළ