‘සිරස කුමරිය’ හර්ෂි රුවන්ති ඇමෙරිකාවේ දිවිගෙවන්න හේතුව කියයි

‘සිරස කුමරිය’ තරගයේ අවසන් තරගකාරියන් හය දෙනා අතරට පැමිණි හර්ෂි රුවන්ති රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවක ලෙසද කටයුතු කළ කලා ශිල්පිනියක්. මේ වනවිට ඇමෙරිකාවේ ලාස් වේගාස්හි ජීවත් වන ඇය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ
කලා කටයුතු කිහිපයක් සඳහා එක්වීමටයි.

හර්ෂි ගැන මුලින්ම හැඳින්වීමක් කළොත්?

මම කලා ක්ෂේත්‍රයට එන්නේ සිරස රූපවාහිනි නාළිකාව මගින් සංවිධානය කළ පළමු ‘සිරස කුමරිය’ තරග හරහාය. එහි මා අවසන් තරගකාරියන් හය දෙනා අතරට ආවා. ඊට පස්සේ ගීත රූප රචනා වගේම, නිරූපණ කටයුතු බොහෝමයකට දායක වුණා. ඔය අතරේ ‘චැනල් සී’ නාළිකාවේ ‘බොලිවුඩ් කැෆේ’ වැඩසටහන ඉදිරිපත් කළා.

ලංකාවේ දී ඔබ දායක වුණ කලා කටයුතු මොනවද?

ගීත රූප රචනා 5ක විතර වැඩ කරලා තියෙනවා. ඒ අතර ගොඩක්ම ජනප්‍රිය වුණේ ‘සිරස සුපර් ස්ටාර්’ තරගයෙන් ගායන ක්ෂේත්‍රයට ආපු ගාමිණි සුසිරිවර්ධනගේ ‘දන්නවාද මං දුකින්’ කියන රූප රචනාව. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘ආටක නාටක’ හාස්‍යමය ටෙලි නාට්‍යයටත්, රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘සබ්බ සකලා මනා’ ටෙලි නාට්‍යයටත්, TVC හා මැලිබන් වගේ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම්වලටත් මම දායක වුණා.

කලා කටයුතු අත්හැරලා ඔබ විදෙස් ගත වෙනවා?

ඔව්, ඇමෙරිකාවට ඇවිල්ලා දැන් මම වසරකට ආසන්න කාලයක් වෙනවා. දැන් මම ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ. එහි මා මගේම ‘කුයින් ඔෆ් වොච්’ කියලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.

විදෙස් ගත වෙලා ඉන්න කොට කලා කටයුතු මඟ හැරුණාද?

මෙහෙට ඇවිල්ලා මම ෆොටෝ ෂූට් කිහිපයකටම දායක වුණා. ඔය අතරේ ඇමෙරිකානු ගායන ශිල්පියෙකුගේ මියුසික් වීඩියෝවකටත් දායක වුණා. තවමත් හැබැයි ඒ මියුසික් වීඩියෝව එළිදක්වලා නැහැ.

නැවතත් ලංකාවට එන්න අදහසක් නැද්ද?

තියෙනවා, සැප්තැම්බර් මාසේ මම නැවතත් ලංකාවට එනවා. ලංකාවෙ බොහෝ දෙනෙක් මට කතා කළා ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙන්න කියලා. ඔය අතරේ ජැපන්ට් කිහිපයක් සඳහාත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ඒ වැඩ ඔක්කොටම තමයි මම සැප්තැම්බර් මාසේ ලංකාවට එන්නේ. ඉන්දියාවේ කලා කටයුතු කිහිපයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩ කටයුතුත් ඔය අතරෙම කරන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.

ව්‍යාපාරික කටයුතුත් එක්ක කලාවට කාලය හොයා ගන්න අපහසු නැද්ද?

පසුගිය කාලේ මගේ ව්‍යාපාරික කටයුතු හින්දා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තිබුණ අවස්ථා බොහෝමයක් මඟ හැරුණා. ‘ලාස් වේගාස්’ නගරයේ මිනිස්සු ගෙවන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්, මමත් එහෙමයි. නමුත්, දැන් ඒ තත්ත්වය නැහැ. මම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.