බිරියගේ මිනිය ගෙන ගිය හර්ස් රියට සැමියාගෙන් ප්‍රහාරයක්

මියගිය බිරියගේ සිරුර මල්ශාලාවෙන් එම්බාම්කර සකසා ගෙන අවසන් කටයුතු සිදුකිරීමට නිවසට රැගෙන යමින් සිටිය දී අවමඟුල් රථය පැදවූ රියදුරුට මියගිය කාන්තාවගේ බීමත් සැමියා විසින් කළ හදිසි පහරදීමකින් දේහය සහිත රථය පෙරළී ගිය පුවතක් ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ 19 කණුව ප්‍රදේශයෙන් අනාවරණ වේ.

සිද්ධිය මෙසේය සිවලාකුලම උරාකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක මියගොස් ඇත්තේ පෙරේදා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. එම කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන් විසින් මළ සිරුර අවසන් කටයුතු සඳහා අවශ්‍යයපරිදී සකස් කිරීමට ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටි මල් ශාලාවකට භාරදී තිබේ.

ඒ අනුව මල්ශාලාවේ කාර්ය මණ්ඩලය විසින් මළ සිරුර සම්බන්ධයෙන් කළ යුතු සියලු කටයුතු නිමකොට මල්ශාලාවට අයත් හරස් රථයකින් මියගිය කාන්තාවගෙ නිවස පිහිටි උරාකොටේ ගම්මානයට සිරුර රැගෙන යෑමට සූදානම් කර ඇත. ඒ වන විටත් අධික ලෙස බීමත්ව සිටි මියගිය කාන්තාවගේ සැමියා මල් ශාලා රථයේ රියදුරු අසුනට යාබද ඇති අසුනේ වාඩිවී වෙරි මතින් කියවමින් හඬා වැළපෙමින් ගමන් කර ඇත.

බීමත් සැමියා ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර් ගයේ 17-19 කනුව මරණාධාර සමිති ශාලාව අසලදී මල් ශාලා රථයේ රියදුරුට පහරදී සුක්කානමෙන් ඇදීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් පිටතට පෙරළී ගොස් තිබේ.

රථය පෙරළීමෙන් එහි තිබූ දේහය සහිත පෙට්ටියට හෝ සිරුරට කිසිදු හානියක් සිදුවී නොමැති අතර සිද්ධිය සැලවූ මල් ශාලාවේ හිමිකරුවෝ වහාම එහි පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව වෙනත් රථයකින් කාන්තාවගේ සිරුර සහිත පෙට්ටිය ඌරාකොටේ ප්‍රදේශයට පිටත් කිරීමට කටයුතු කළහ.