හිසට සෙවණක් නැති අයට සෙවණක් වන 'දුලාන්'

හිසට සෙවණක් ඇත්නම් හිතට දැනෙන සහනය මෙපමණයි කියලා කියන්න බෑ. ඒත් හිතට සහනය දෙන ඒ සෙවණ හදාගන්න තරම් වාසනාවක් හැමකෙනාටම නෑ. මොනයම් හෝ හේතුවක් නිසා හිසට සෙවණක් නැති අය මේ රටේ අප්‍රමාණයි. එහෙම නැති බැරි, ගෙයක් දොරක් හදාගන්න අතහිත දෙන කෙනෙක් අපට මුණගැසුණා. ඔහු අපූරු අදහස් ඇති තරුණයෙක්. ගමේ ඉදලා ලෝකය ජයගත්ත තරුණයෙක්. ඔහු නමින් දුලාන් ආසිරි
හෙට්ටිආරච්චිය. මේ වනවිට ඔහු තමන්ගේ මූලිකත්වයෙන් ගෙවල් කිහිපයක් සාදා ජනසතු කර අවසන්. ඔහුගේ බලාපොරොත්තුව තවත් ගෙවල් සියයක් පමණ සෑදීමටයි. ඒක ඔහුට අභියෝගයක්. ඔහු ඒ අභියෝගයට මේ වනවිට සාර්ථකව මුහුණ දෙමින් සිටියි. ඔහු මේ වැඩකටයුත්ත කරන්නේ නිකරුනේ අපතේ යවන සල්ලි එකතු කරලා. ඒ මුදලින් තවත් කෙනෙකුගේ හෙට දවස ශක්තිමත් කරන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. මේ ඔහු ගැන කතාවයි.

ඔබ ගැන විස්තර කළොත්? 
මම දුලාන් ආසිරි හෙට්ටිආරච්චි, ගාල්ල කොට්ට තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මම ඕස්ට්‍රේලියාව තානාපති කාර්යාලයේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස සේවය කරනවා. ඊට පෙර ස්වාධීන රූපවාහිනිය, කම්කරු අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය (සඳුන් අරණ ව්‍යාපෘතියේ ජනරාල්) වැනි ආයතනවල සේවය කර තිබෙනවා.

කොහොමද මෙවැනි දෙයක් කරන්න ශක්තිය ලැබුණේ?
මේ අදහස පහළ වුණේ ඕස්ට්‍රේලියාවේදි. අපේ රටේ බොහෝ දෙනෙකුට නිවාස ප්‍රශ්න තියෙනවා. ඉඩමක් තිබුණත් ගෙයක් හදාගන්න තරම් ආදායම් මාර්ග නෑ. තවත් අයට ආදායම් මාර්ගයක් තිබුණත් ඉඩමක් නෑ. සමහර විට මේ කිසිවක් නැතිව ඉතාම දුකසේ ජීවත් වන අය ඕනෑ තරම් අපේ ගමේදි මම දැකලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දි නිතරම වගේ හිතට දැනුණා මේ වගේ අසරණ අයට පිහිටක් වෙන්න ඕන කියලා. එහෙම හිත හිතා ඉන්න කොට තමයි මට මේ අදහස ආවේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න බහුතරයක් දෙනා දවසකට කෝපි කෝප්ප පහක් හයක් පමණ පානය කරනවා. මේ සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. සාමාන්‍යයෙන් එක කෝපි කෝප්පයක් ලංකාවේ මුදලින් රුපියල් 1200.00 ක් තරම් වෙනවා. ඉතින් මට හිතුණා දවසකට මේ එක කෝපි කෝප්පයකට වියදම් කරන මුදල එකතු කරලා යමක් කරන්න පුළුවන් නේද කියලා.

ඒ මුදල් එකතු කළේ කොහොමද?
මම ඒ අදහස ක්‍රියාත්මක කළා. 'One coffee campaign' කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. මගේ අදහස හරි ගියා. ඒ සඳහා බොහෝ දෙනා දායකත්වය සැපයුවා. ඒ විදියට සැලකිය යුතු මුදලක් එකතු කර ගැනීමට මට හැකි වුණා. ඒ මුදල් වියදම් කරලා ගාල්ල කොට්ටාව ප්‍රදේශයේ ගෙවල් දහයක් පමණ සාදා නිම කිරීමට හැකි වුණා. ඒ විදියට මම දැකපු හීනය සැබෑ වුණා.

කාටද මේ ගෙවල් හදලා දුන්නේ?
මේ ගෙවල් හදලා දුන්නේ ඉඩමක් තියෙන ගෙයක් හදාගන්න බැරි අයට. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් සොයා බැලුවා. ඒ නිවසේ ගෘහ මූලිකයා එහෙමත් නැත්නම් පිරිමි තැනැත්තා මතින් තොර අයෙක් වීම විශේෂයක් වුණා. පවුල් තෝරා ගනිද්දි පොලීසියේ සහ ග්‍රාම නිලධාරිවරයාගේ සහයෝගය ලබාගත්තා. නැති බැරි අය තෝරා ගන්න. ඒ වගේම ඒ ගෙවල් හදලා මතින් තොර ගෙයක් විදියට හදුන්වලා දෙන්නත් කටයුතු කළා.

මේ නිවාස ව්‍යාපෘතිය දිගින් දිගටම සිදුවෙනවාද?
දැනට නිවාස 10ක් පමණ ප්‍රමාණයක් හදලා භාරදීලා ඉවරයි. ඒ වගේම මගේ අදහසක් තියෙනවා ඉදිරියට ගෙවල් 100ක් හදන්න. 2020 වන විට ගෙවල් සියය සම්පූර්ණ කරන්නයි සූදානම් වන්නේ. කොහොමහරි ඒ අභියෝගය ජයගන්නවා. ඒ සඳහා අතහිත දෙන්න සූදානම් අය ඉන්නවා.

රජයේ මැදිහත් වීමක් තියෙනවාද?
මේ නිවාස ව්‍යාපෘතිය සඳහා කිසිසේත්ම රජයේ හෝ දේශපාලන මැදිහත්වීමක් නැහැ. බොහෝ දෙනා ඇහුවා මේ වගේ දෙයක් කරන්න තනියම පුළුවන් ද කියලා. දේශපාලන ගාවගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ කියලයි බොහෝ දෙනා කිව්වේ කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ. සියලු කටයුතු සිදුවන්නේ මා හරහායි. ගෙවල් හදද්දි ගම්වාසීන්ගෙන් බොහෝ උපකාර ලැබුණා. ගාල්ල නාවික හමුදා කදවුරේ අයගේ ශ්‍රම දායකත්වය නොඅඩුව ලැබුණා. ගෙවල් හදන්න මුල්ගල තිබ්බේ මෙල්බන් නුවර නගරාධිපතිතුමා. මගේ ආරාධනාවට අනුව ඔහු මේ සඳහා සහභාගි වුණා. ගෙවල් භාරදීම සිදුවුණේ චින රජකුමරිය අතින්.

'දුලාන් හෙට්ටිආරච්චි පදනම' හරහා මොනවද සිද්ධ වෙන්නේ?
මේ පදනම හරහා තවත් බොහෝ කටයුතු සිදුවෙනවා. ඉන් එකක් තමයි මම ඉපදුණු කොට්ටාව ගමේ ඇති කොට්ටාව වනාන්තරය රක්ෂිතයක් බවට පත්කිරීම. ඒ සඳහා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. ඒ වගේම විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් අපේ රටේ සංචාරයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරනවා. එම ව්‍යාපෘතිය 'Visit Motherland' නමින් නම් කර තිබෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කරන්න ලෝකයේ දිගම මිනිස් දම්වැල එක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. තවත් මෙවැනි කටයුතු රාශියක් කරමින් පවතිනවා. ඒවා ඉදිරියේදි දැනගන්නට පුළුවන්.

ඔබ තරුණයෙක්. සෙසු තරුණයන්ට ඔබෙන් ගත හැකි පාඩම් තියෙනවාද?
පාඩම් ඉගෙන ගන්නවාට වඩා අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. අද කාලේ විවිධ අය විවිධ තේමා යටතේ ව්‍යාපෘති කරනවා, වැඩසටහන් කරනවා. මේ වගේ දේවල් දිහා බලලා අලුත් දේවල් සමාජගත කරන්න තරුණ අයට පුළුවන්. තවත් කෙනෙක් වෙනුවෙන් පිහිට විය හැකි ඕනෑම යහපත් දෙයක් කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් තරුණ පිරිස් ඕන තරම් ඉන්නවා. කැපවීමෙන් අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථකව ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මම ගමක ඉපදුනු කෙනෙක්. විවිධ රැකියාවල් කළා. ලෝකයේ බොහෝ රටවලට ගියා. ඒ ලැබුණු අත්දැකීම් හරිම ප්‍රයෝජනවත් රටට වැඩක් කරන්න. අපේ රටට ඕනෑ කරන්නේ ආකල්පමය වෙනසක්. තරුණයන්ට ඒ දේ කළ හැකියි.