සියල්ලන්ම හඬවමින් සිනමාවේ අපූරු ප්‍රේමවන්තයා අර්ජුන් කමලනාත් රංගනයෙන් සමුගනියි

“කුසල්” ළමා චිත්‍රපටය අර්ජුන කමලනාත්ගේ නිර්මාණයක්‌. චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක භාවය මෙන්ම අනාගතය පිළිබඳවද අර්ජුන කමලනාත්  ප්‍රකාශ කළේය. මතු දැක්‌වෙන්නේ ඒ සාකච්ඡාවේ සටහන්ය.

“කුසල්” සාර්ථක වුණාද ?

කුසල් ඇත්තටම සාර්ථකද අසාර්ථක ද කියා කියන්න
බැරි මට්‌ටමකයි ඉන්නේ. බලාපොරොත්තු වූ දේ නෑ. “කුසල්” බජට්‌ එකත් එක්‌ක බලද්දි මම අනාථ වෙලා නෑ. චිත්‍රපටය හරහා වෙන වෙන ක්‍රියාමාර්ග ඔස්‌සේ මුදල් සොයා ගත හැකියි. නමුත් ඒක නෙවේ වැඩේ. මට නුවර, ගම්පහ, බොරැල්ල, නුගේගොඩ සහ කටුනායක සිනමා ශාලා ලැබුණේ නෑ. ඒ හොඳම ශාලා පහක්‌. “කුසල්” ආදායම අඩු වෙන්න විශාල බලපෑමක්‌ ඉන් සිදු වුණා. කියන්න කනගාටුයි චිත්‍රපට සංස්‌ථාවේ තංගල්ල, වෙන්නප්පුව, හලාවත සිනමා ශාලා තවම දුන්නේ නෑ. මම චිත්‍රපට හදන හින්දමද දන්නෙ නෑ. ඒත් සිනමා මාෆියාවේ ගෝඩ් ෆාදර් කියා චෝදනා කළ සුනිල් ටී.ප්‍රනාන්දු මට උදව් කළා. හො`දයි හො`දයි කියන මහත්තුරු මට වළ කපද්දි හැම කෙනෙක්‌ගේම දෝෂ දර්ශනයට ලක්‌ වූ සුනිල් ටී මට උදව් කළා. ඊ.ඒ.පී මණ්‌ඩලයත් වගකීම් පැහැර හැරියා.

මට දර්ශන වාර නොදෙන්න සිනමාකරුවන් රැසක්‌ ක්‍රියාත්මක වුණා. සැලසුම් සහගතව වට කරලා “කුසල්”ට ගැහුවා.

ඔබ කළකිරිලා ද ?
ඔව්. කළකිරුණා. අප්‍රසන්න ගතිය වැඩි වුණා. “කුසල්” ආදායම අඩු වුණා කියලා මම වැටෙන්නෙ නෑ. අනෙක ළමා චිත්‍රපටයක්‌ මේක. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා කියා තිබුණා මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ළමයින්ට පෙන්විය යුතුයි කියා. ඒත් සමහර දෙමවුපියන් මේක වැළඳගත්තේ නෑ. අපි ළමයින්ට නොමිලේ “කුසල්” පෙන්වන දවස්‌වල ළමයින්ව විතරක්‌ ශාලාවට දාලා දෙමවුපියන් එළියට වෙලා ඉන්නවා. ආර්ථික ප්‍රශ්න තියෙන අයත් හිටියා. ආර්ථික ප්‍රශ්න නැති අයට වෙලාවක්‌ නෑ. අද ළමයින්ගේ ළමා කාලය උදුරාගෙන තියෙන්නේ ටියුෂන්කාරයන්. මේ ළමයින්ට දෙමවුපියන් එක්‌ක ගත කරන්න එක දවසක්‌ හරි දෙන්න කියලා මම ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉල්ලනවා. උගතුන් බිහි වේවි. ඒත් සෞන්දර්යාත්මක රසවින්දනයක්‌ නැති උගතුන්ගෙන් වැඩක්‌ තියෙනවද ? මේ නිසා සංවේදී දරුවන් බිහි නොවේවි. වැඩිහිටි නිවාසවලට වැඩ වැඩි වේවි. ඒ නිසා මමත් කල්පනා කළා සිනමාව අතහැරලා වැඩිහිටි නිවාසයක්‌ දා ගන්නවා කියලා. ඒක හොඳ බිස්‌නස්‌ එකක්‌. ඒක තමයි කුසල් චිත්‍රපටයෙන් මා ලැබූ හොඳම අත්දැකීම

“කුසල්” අත්දැකීම් ඒ තරම් අමිහිරිද ?
ඇත්ත වශයෙන්ම අමිහිරියි. මට රටේ අනාගතය ගැන මාර බයක්‌ දැනුනා. මම සිකුරාදා හවස දර්ශනය වයස අවුරුදු දොළහෙන් පහළ දරුවන්ට නොමිලේ පෙන්නුවේ. ඒත් ලංකාවෙන්ම බලලා තිබුණේ ළමයින් 250 යි. නොමිලේ පෙන්වලාවත් දරුවන්ව කැඳවාගෙන ආවේ නෑ. එක්‌කෝ සිංහල චිත්‍රපට ගණන් ගන්නෙ නෑ. නැත්නම් අපිව ගණන් ගන්නෙ නෑ. තිස්‌සමහාරාමයෙ ළමයින් හතළිහක්‌ බැලුවා. ඒත් අම්මලා තාත්තලා එළියෙ. ඒ දෙමව්පියන්ට නොමිලේ පෙන්වූයේ නැති නිසා. මේ ළමයින් හතළිස්‌ දෙනාගෙන් එක්‌ මවකට, පියකුට ප්‍රවේශ පත්‍රයක්‌ අරන් චිත්‍රපටය බලන්න බැරිද ? එතැන තියෙන්නෙ කුහකත්වය. සමහර දෙමවුපියන් පලා මිටිය විකුණන අය. එතැනදී මම දිනුම්. ඒත් සිගරැට්‌ අරක්‌කුවලට වියදම් කරන මුදලින් දරුවාව තුරුළු කරන් චිත්‍රපටයක්‌ බලන්න බැරිද ? මින් මත්තට මගේ සල්ලි වෙන වෙන ව්‍යාපාරවලට ආයෝජනය කරනවා. චිත්‍රපට නම් කරන්නේ නෑ. මොකටද මෙහෙම පාඩු විඳගෙන චිත්‍රපට කරන්නේ.

මේ අත්දැකීමත් සමග තමයි ඔබේ ඊළඟ චිත්‍රපටය “ඝරසරප” එන්නෙ ?
ඔව්. ඒක මාර ප්‍රශ්නයක්‌. තියෙන ආර්ථික රටාව එක්‌ක මොන චිත්‍රපටයක්‌ දැම්මත් අමාරුයි. නෙලා, පෝරිසාදයා, මධුර චාරිකා, සේයා, කුසල් මේ පහෙන් කුසල් තමයි උඩින්ම ඉන්නේ. මගේ චිත්‍රපටය සියයට අසූ පහක්‌ම බලලා තියෙන්නේ ළමයින්. එනිසා ලක්‌ෂ දෙසීයක්‌ උපයන්න ඕන තැන්වල ලක්‌ෂ සීයයි හම්බු කරලා තියෙන්නෙ. මේ ප්‍රධාන සිනමා ශාලා නැතිව. ඒ ශාලාත් ලැබුණා නම් මගේ මුදල බේරිලා. ඒත් “ඝරසරප”ළමයින් එන්නේ නෑ. වෙන මාතෘකාවක්‌. එහි වියදම අති විශාලයි.මේ වෙලාවේ දෙමවුපියන් පවුල් පිටින් ඒවිද ? ජයන්ත චන්ද්‍රසිරිගෙ නමට හා ඉහළ මට්‌ටමේ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර තිබෙන අධ්‍යක්‌ෂවරයෙක්‌ නිසා මා තුළ විශාල බලාපොරොත්තුවක්‌ තියෙනවා. නමුත් රට යන විදිහට මිනිස්‌සු කපා හරින්නෙ රස වින්දනයට වැය කරන මුදල්.

මම සියයට 12 ට ගත්ත බැංකු ණය මුදලට දැන් සියයට 23 ක පොලියක්‌ ගෙවනවා. එනිසා රටේ පාලකයෝ තේරුම් ගත යුතුයි රට ඉදිරියට යන්න බෑ කියන එක. හැම කර්මාන්තයක්‌ම බිඳ වැටිලා. මිනිසුන්ගේ මනුස්‌සකම ඉක්‌මනින්ම වියෑකී යනවා. මිනිස්‌සු පීඩනයට පත් වෙලා මේකෙ බිල්ලක්‌ වුණා මම “කුසල්” පෙන්වලා. අවුරුද්දයි මාස ගණනක්‌ පෝලිමේ ඉඳලයි “කුසල්” පෙන්නුවෙ. රටේ සිනමාව, කලාව ඉවරවේගන එනවා. ළඟදි “කිඩ්නැප්” චිත්‍රපටය එනවා. මම රඟන අවසන් චිත්‍රපටය “කිඩ්නැප්” වේවි. රඟපාලා වැඩක්‌ නෑ. විග් දාගෙන නාකි වෙවී මේක්‌ අප් උලාගෙන ඉන්නවට වඩා රඟපෑමෙන් එළියට ගිහින් යමක්‌ කරන්නයි උත්සාහ කරන්නේ. මම අවුරුදු විස්‌සක්‌ රඟපෑවා. මේ අවුරුදු විස්‌සේදීම මට ගහපු එකනෙ කළේ. උදව් කළේ කී දෙනා ද ? දුක්‌ විඳලා, නිදි වරලා රඟපානවා. කාටද පෙන්වන්නේ ? කුසල් කවදද යූ ටියුබ් දාන්නේ ? කවදද ඩී.වී.ඩී එකක්‌ දාන්නෙ ? කියලයි අහන්නෙ. අපි මෙච්චර මහන්සි වෙන්නෙ යූ ටියුබ් දාන්නද ? ඩී.වී.ඩී.දාන්නද ? විඳින දුකට කරන වියදමට සරිලන වටිනාකමක්‌ නිර්මාණකරුවාට දෙන්න ප්‍රේක්‌ෂකයා සූදානම් නෑ.

උපුටා ගැනීමකි.