මම නර්තනයට සහ ප්‍රසංග වේදිකාවට ගොඩක් ආදරෙයි - අමාලි

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඇයව නිතර මුණගැසෙන චරිතයකි. අමාලි ප්‍රමුඛ ‘ස්ටාර් ඩාන්ස්’ නර්තන කණ්ඩායමේ හිමිකාරිය සහ නායිකාව වන ඇය අමාලි ඉන්දීවරී ප්‍රනාන්දුය. නිරූපණ ශිල්පිනියක ලෙසද ඔටුනු පැලඳි ඇය ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස එක්විය.

මුලින්ම ඔබ ගැන කිව්වොත්? 

මම අමාලි. මාව හැමෝම හඳුන්වන්නේ ‘අමාලි ප්‍රමුඛ ස්ටාර් ඩාන්ස්’ කිව්වම. ‘ස්ටාර් ඩාන්ස්’ නර්තන කණ්ඩායමේ අයිතිකාරිය සහ නායිකාව මමයි. 2009 දෙසැම්බර් 08 වැනිදා තමයි ඒක පටන් ගත්තේ. එදා ඉඳන් ලංකාවේ හැම තැනකම සහ විදේශ රටවල් රැසක අපි ප්‍රසංග කරලා තියෙනවා.ඊට අමතරව මම මොඩ්ලින් කරනවා. 2016 මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ප්ලැනට් (මිහිකත රූ රැජින) වුණා. ඊට පස්සේ මම රුසියාවට ගියා. එහිදී රටවල් 40ක් අතරින් ‘මිස් ප්ලැනට් එම්බර්සඩර්’ ලෙස තේරුණා.

එතකොට අමාලි නර්තනයට ආවේ කොහොමද? 
නර්තනයට ආවේ ඇත්තටම අහම්බෙන්. මගේ ආසාව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒකට තමයි මම ඉගෙන ගත්තෙ.කලාවට ආවාට පස්සේ මට ඒකට යොමු කරන්න කාලය මදි වුණා. ඒක නිසා ඒක එහෙමම ඔළුවෙන් අයින් වුණා.

එතකොට නිරූපණයට එකතු වෙන්නේ? 
මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ මගේ යාළුවෙක් හරහා. එයා තමයි විශ්ව පෙරේරා. එයා මගේ පුංචි කාලයේ ඉඳලා යාළුවෙක්.අද එයා නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙලා තියෙනවා. ඉතින් එයාගේ ආරාධනාව මත තමයි මම නිරූපණයට ආවේ. දැන් අවුරුදු 03කට කලින්. 2015 මුලදී තමයි සම්බන්ධ වුණේ. ඉතින් අවුරුදු 03ක් වෙනවා නිරූපණය කරන්න පටන්ගෙන. ඒක නිසා තමයි මට මේ ජයග්‍රහණය ලැබුණේ.

අමාලි නිරූපණය පැත්තෙන් දායක වූ වැඩකටයුතු ගැන කිව්වොත්? 
මම ගොඩක් මියුසික් වීඩියෝවලට දායක වුණා. දැනට ටෙලිනාට්‍ය කිහිපයකට සහ චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. තවම මම ඒ දේවල්වල වැඩ පටන් ගත්තේ නැහැ. නිරූපණය පැත්තෙන් ගොඩක් ප්‍රසංග කරලා තියෙනවා. ළඟදි මම ප්‍රංශයේ සංචාරයකටත් සහභාගි වුණා. ප්‍රංශයේ තිබුණු ෆැෂන් ෂෝ එකකට සහ ෆොටෝ ෂූට් කිහිපයක් කළා. තව මට මාර්තු මාසයේ ඇමෙරිකාවේ පැවැත්වූ බොස්ටන් ලංකා එක හරහා එයාලාගේ බියුටි පැජන්ට් එකකට සහභාගී වුණා. 

අමාලි එතකොට මේ රංගනය පැත්තට දායක වෙන්න මැලිකමක් දක්වනවාද? 
ඇත්තම කතාව කිව්වොත් මට දුකයි ප්‍රසංග වේදිකාව දාලා යන්න. මම රංගනයට ආවොත් මට ප්‍රසංග වේදිකාව අතපසු වෙනවා. මම ගොඩක් ආදරෙයි නර්තනයට සහ ප්‍රසංග වේදිකාවටඒක නිසා මම රංගනය ටිකක් අත්හැරලා ඉන්නේ. මියුසික් වීඩියෝ එකක් කළොත් මිසක් මට දිගුකාලීන වැඩ බාර ගන්න බැහැ. මොකද මම මුළු මාසයම කාර්යබහුලයි. ෂූටින්වලට ගියොත් මට මගේ පවුලේ අය එක්ක ඉන්න තිබෙන කාලයත් නැතිවෙන්න පුළුවන්.

අපි කතා කළොත් අමාලිගේ නර්තන කණ්ඩායම ගැන. කොහොමද එහි වැඩකටයුතු? 
ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද අපට ප්‍රසංග වේදිකාවේ නිතරම අවස්ථා තියෙනවා. ඒක ලොකු භාග්‍යයක් සහ ආශීර්වාදයක්. විශාල පිරිසක් අපට ආදරය කරනවා. කතා කරනවා.මැසේජ් කරනවා. සමහර අයට කතා කරන්න වෙලාවකුත් නැහැ. ඒ දේවල් දැක්කාම ඉතින් හරි සතුටක් දැනෙනවා. වයස් භේදයකින් තොරව අපට මිනිස්සු ආදරය කරනවා. 

නර්තනය කියන දේ ඉදිරියටත් වෘත්තීය වෙයිද? නැත්නම් වෙනත් හීනයක් තියෙනවාද? 
මට තිබුණු හීන සේරම ඉටුවෙලා තියෙන්නේ. එකක් මගේ නර්තන කණ්ඩායම ඉහළට ගෙන එන එක. ඒක ඉටු වුණා. නිරූපණ ක්‍ෂේත්‍රයේදී ලංකාවේ සහ ජාත්‍යයන්තරව කිරුළක් දිනා ගත්තාතව ලොකු හීන නැහැ. තියෙන්නේ මගේ නර්තන කණ්ඩායමේ වැඩයි, ගෙදර අයයි, මට ආදරය කරන අයයි එක්ක සතුටින් ඉන්න.

නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යෑමට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද? 
මගේ ලොකුම ශක්තිය මගේ අම්මා. අම්මා නිසා තමයි මේ නර්තන කණ්ඩායම මෙතැන තියෙන්නේ සහ රැඳිලා තියෙන්නේ. ඇත්තටම මගේ නර්තන කණ්ඩායමේ සැබෑ අයිතිකාරිය මගේ අම්මා. එයාගේ දායකත්වය සහ මගේ සහෝදරයො මට හැමදාම උදවු කරනවා.

ප්‍රසංග වේදිකාව කියන තැනට ගොඩක් මිනිස්සු එක්රොක් වෙනවා. ඉස්සරට වඩා අද රසිකයන්ගේ වෙනසක් තියෙනවාද? 
නැහැ. කිසි වෙනසක් නැහැ. අපට කවදාවත් ප්‍රසංගයකදී ප්‍රතිචාර එහෙම අඩුවෙලා නැහැ. හැම ප්‍රසංගයකදීම වගේ අපට ප්‍රතිචාර අඩුවෙලත් නැහැ, පැමිණෙන පිරිසගෙන් අඩුවක් වෙලත් නැහැ.

හැම ක්‍ෂේත්‍රයකම වගේ නර්තන ක්‍ෂේත්‍රය තුළත් ගැටලු තියෙනවාද? 
අනිවාර්යයෙන්ම තියෙනවා. ඕනෑම ක්‍ෂේත්‍රයක කැපිලි කෙටිලි තියෙනවා. මට නම් ඒවා ටිකක් අඩුයි. එහෙම ප්‍රශ්න ගොඩක්ම තියෙන්නේ නැගීගෙන එන නර්තන කණ්ඩායම්වලට. මොකද එයාලා දැනුවත් වීම අඩුයි. මිනිස්සු ගැන දැනගෙන වැඩ කළාම ගැටලු අඩුයි.

ප්‍රවීණ නර්තන කණ්ඩායම්වලින් නවකයන්ට ලැබෙන සහාය කොහොමද?
ප්‍රවීණයන්ට වෙලාව අඩුයි ඇත්තටම තව අයට සහායක් දෙන්න. අපටත් වෙලාව අඩුයි. නවකයො දැනගන්න ඕන ප්‍රවීණයන්ට කතා කරලා උපදෙස් ගන්න. මට කතා කරන හැමෝටම මම උදවු කරනවා. ප්‍රවීණයන්ට ඇඟිල්ල දික් කරන එක වැරදියි. මටත් ඇහිලා තියෙනවා සමහර තැන්වලදී ප්‍රවීණයන්ට බණිනවා. ඇත්තටම නවකයො දැනගන්න ඕන ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න.

අපි කතා කළොත් ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩ ගැන?
මගේ බලාපොරොත්තුවක් තියෙනවා නර්තන කණ්ඩායම් කිහිපයක් එකතු කරගෙන හොඳ වැඩක් කරන්න. මගේ හොඳ යාළුවෙක් තමයි නිරෝෂා තලගල කියන්නේ. එයාලාත් එකතු කරගෙන හොඳ වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා

අවසාන වශයෙන් කිව්වොත් මේ ගමන එන්න උදවු කරපු අය ගැන? 
නම් වශයෙන් මතක් කරන්න අමාරුයි, ගොඩක් අය ඉන්නවා. මුලින්ම මගේ අම්මා සහ පවුලේ අය. මම ගොඩක්ම ළඟින් ඇසුරු කරන්නේ ‘ෆ්ලෑෂ් බෑක්’ නායක රොෂාන් ප්‍රනාන්දු අයියා සහ මගේ මස්සිනා නිලංග සිල්වා.සේනක අයියා, ඩෙන්සිල් නුගේගොඩ අයියා, ජගත් නාත්තණ්ඩිගේ අයියා. එයාලා හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.