"සාපරාධී ලෙස වදදීලා දූෂණය කරලා මරපු විද්‍යා දුව ගැන මම ගොඩක් කම්පා වුණා,පවුල ගොඩගන්න හිටියේ විද්‍යා විතරයි.."

සුවීනිතා වීරසිංහ කියන්නේ 70 දශකය තුළ රිදී තිරයට නැතුවම බැරි රුවැත්තියක්. මේ රුවැත්තිය එදා සිනමාවට ආදරණිය පෙම්වතියක් වුණා. පුංචි තිරය, රිදී තිරය, වගේම වේදිකාව තුළ මනාව රංගන හැකියාව පෙන්නු නිසා අදටත් ඇයට ආදරය කරන අය බොහෝයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
ඔබේ ළමා කාලයේ දී රංගන ශිල්පිනියක් වීමේ සිහිනයක් තිබුණද...?

නෑ.. මගේ පාසල් යන කාලයේ දී කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් ආසාවක් මගේ හිතේ කොහොමත් තිබුණේ නෑ. මම ඉපදුණේ දෙහිවල. අධ්‍යාපනය හැදෑරුවේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ. එතැනින් පස්සේ මම දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. ඇත්තටම මගේ ආසාව තිබුණේ වෛද්‍යවරියක් වෙන්නයි. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී මට කලාවට එන්න ආසාවක් ඇතිවුණා.

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් වී හිටපු ඔබට රංගනයට ආසාවක් ඇතිවීමට හේතු වුණු විශේෂ සිදුවීම් මොනවද?
අනේ මන්දා... ඒක මට මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. ඉස්කෝලෙ යන කාලවලදී නාට්‍යවලට රංගනයට මම ආසා කළා. ඒ කාලයේ දී මම ටිකක් දඟ චරිතයක්. ක්‍රීඩාවලට ලොකු නැඹුරැවක් තිබුණා. දුවන්න වගේම නෙට්බෝල් වගේ ක්‍රීඩාවන්ට සම්බන්ධ වුණා. නෙට්බෝල් කණ්ඩායමේ පන්දු දමන්නිය විදිහට මම කටයුතු කළා. ඒවා කරලා පාසලට ජයග්‍රහණ ලබලා දීලා පාසලේ දී කැපීපෙනුණු ශිෂ්‍යාවක් වුණා. මට සින්දු කියන්නත් පුළුවන්. ඉස්කෝලෙ යම් යම් උත්සවවලදී මම පද්‍ය ගායනා වගේ තරග පවා නියෝජනය කළා. නමුත් ඒවා විෂයයක් කරගෙන ඒ දේවල්වලින් මගේ අනාගතයට පාර හදාගන්නවා කියලා හිතුවේ නෑ. ජීවිතේ කිසිම දෙයක් මම ඉලක්ක කරගෙන හිටියේ නෑ. අපේ ජීවිතේ ඉලක්ක තියාගෙන ඉඳලා ඒ ඉලක්කයට යන්න බැරිවුණොත් අපිට පසුතැවිලි වෙන්න සිද්ධවෙනවනෙ. ඒ නිසා මම කිසිම දෙයක් ඉලක්ක කරගෙන හිටියේ නෑ. මම හිතාගෙන හිටියේ මගේ හැකියාව අනුව, මගේ දෛවය අනුව මාව හරි තැනට ගෙනියයි කියලා. මම හිතන්නෙ මගේ ජීවිතේ හරි තැන තමයි මේ කියලා.

ඔබ පවුලේ එකම ගෑනු ළමයා...?
ඔව්.. මට හිටියේ මල්ලිලා පස්දෙනෙක් විතරයි. ඉතින් කොහොමත් මේ රංගනය මගේ ඇඟේ තියෙන බවක් මට දැනුණා. ගීත ගායනා කරද්දී, පාසලේ දී මම කරපු දේවල් වෙනුවෙන් ඇගයීම් ලැබෙද්දී මට ඒ දේ තේරුණා. පාසලේ දී මම කරපු හොඳම රංගනයක් තමයි මනමේ නාට්‍යයේ දී මනමේ කුමරියට පාසල් වේදිකාවේදී කරපු රංගනය. එතැනදී මට බොහෝ ඇගයීම් ලැබුණා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දී කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
මුලින්ම රොබින් තම්පෝ මහත්මයාගෙන් මට ඒ අවස්ථාව ලැබුණා. එතකොට මම සිනමාව ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ වෙනකොට මම චිත්‍රපට එච්චර බලලා තිබුණේ නෑ. ඒ කාලේ අපේ අම්මලා අපිව චිත්‍රපට බලන්න එච්චර එක්කගෙන ගිහින් නෑ. පාසලෙන් පෙන්වපු චිත්‍රපට දෙක තුනක් ඇරෙන්න සිනමාහල්වලට ගිහින් චිත්‍රපට බලලා තිබුණේ නෑ. මධුමතී හින්දි චිත්‍රපටය නිසා සිනමාවට පිවිසෙන්න තිබුණු ආසාව තවත් වැඩිවුණා. ඉතින් පුවත්පතක තිබුණු දැන්වීමක් දැකලා මම ඉන්ටවිව් එකට ගිහින් එතැනින් මාව තෝරාගත්තා. එහෙම තමයි මම සිනමාවට ආවේ. මම සිනමාවට පිවිසිලා දැන් අවුරුදු පනහක් විතර වෙනවා. මගේ ජීවිතේ තරුණ හොඳම කාලයේදීම තමයි මම සිනමාවට එකතු වුණේ. ඊටපස්සෙ මම වේදිකාවෙත් රඟපෑවා.

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ඉගෙන ගන්නා අතර සිනමාවට පිවිසෙද්දී ඔබේ මව්පියන්ගේ අකමැත්තක් තිබුණේ නැද්ද...?
මව්පියන්ගෙන් බලවත් විරෝධයක් තිබුණා. විශේෂයෙන් මගේ අම්මා දැඩිලෙස විරුද්ධ වුණා. හැබැයි ඒ අයගේ දැඩි විරෝධතාවය මත මගේ හිතුවක්කාර තීරණයක් උඩ මම සිනමාවට එකතු වුණා. මම හිතුවක්කාර විදිහට සම්මුඛ පරීක්ෂණයට ගියා. හැබැයි ඒකට මගේ තාත්තා පොඩි උදව්වක් දුන්නා. මගේ තාත්තා කලාවට කැමති කෙනෙක්. ඉතින්.. සිනමා නිර්මාණ කිහිපයකම යෙදෙනකම් සිනමාව ගැන ලොකු වැටහීමක් මට තිබුණේ නෑ. ඉගෙනගන්න ආයතන තිබුණේ නෑ. හැබැයි මට උඩරට නැටුම් හොඳටම පුළුවන්. මම ඒකෙ විභාග තුනෙන්ම සමත් වුණා. ඒ හැකියාවත් මට සිනමාවට එන්න ලොකු අඩිතාලමක් වුණා.

දෙලොවක් අතර චිත්‍රපටය ඔබේ ජීවිතයේ ලොකු කඩඉම් සලකුණක් වුණා නේද...?
ඔව්... මගේ ජීවිතේ රංගනය මොකක්ද, සිනමාව මොකක්ද වගේ බොහෝ සංධිස්ථානවල එකතුවක් වුණේ දෙලොවක් අතර චිත්‍රපටයයි. එතැන ඉඳගෙන මම තීරණය කළා වාණිජ රැල්ලට ගහගෙන යන්නෙ නෑ කියලා. වාණිජ රැල්ලේ තියෙන්නෙ බොහෝම සරල, සින්දු කියන නිර්මාණයක්නෙ. මට හිතුණා මේක නෙමෙයි මම තෝරාගත යුත්තේ කියලා. චරිත නිරෑපණය කියන්නෙ අපි දකින දේ. අපිට මුණගැහෙන දේ. තාත්වික දේ. අපි යථාර්ථයට මුහුණදෙන්න ඕනෙ කියලා ඒ පාරේ යන්න මම තීරණය කළා.

ඒ කියන්නෙ ඔබ ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙ නෑ...?
නෑ. හැම එකක්ම මම බාරගන්නෙ නෑ. නියම කලාකාරියක් විදිහට මට මගේ නම ගොඩනගාගෙන, මම තෘප්තිමත් වෙන අතළොස්සක රඟපෑවත් කමක් නෑ කියන මතයේ මම හිටියා. ඒ හින්දම මට වැඩිය චිත්‍රපට ලැබුණෙත් නෑ. ඒ කාලේ මහ විශාල විදිහට වාණිජ රැල්ල තිබුණා. ඒ රැල්ලට මාත් ගියානම් මට මුදල් උපයන්නත් තිබුණා. ජනප්‍රියත්වය ලබාගන්න තිබුණා. හැබැයි මම ඒ දෙක පස්සේ ගියේම නෑ. කවදාවත් මම ජනප්‍රියත්වයයි මුදලයි පස්සෙ හඹාගෙන ගියේ නෑ. ඒ ජනප්‍රියත්වය තාත්වික ගැඹුරු චරිත නිරූපණය කරලා ලබාගන්නවා කියලා මම හිතුවා.

අද ඔබට ලැබෙන චරිත ගැන මොකද හිතෙන්නෙ..?
අපි හැමෝටම යම් යම් අවධි තියෙනවා. අතීතයේ දිහා අපි ආපහු හැරිලා බලද්දී ඒ චරිත අපිට ආපහු කරන්න බැහැනෙ. ඒක තමයි යථාර්ථය. මේ ලෝකයේ කිසිම කෙනෙක්ට ඒ දේ කරන්න බෑ. එවකට තිබුණු රූපය, හැකියාව, දක්ෂතාවය, ඒ ජවය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒකට අනුකූලව තමයි අපි රංගනය අද කළ යුත්තේ. අපි රඟපාන්න ඕනෙ එදිනෙදා ජීවිතේ අපිට මුණගැහෙන චරිතයි. ඒක කොයිතරම් දුරට සාර්ථකව නිර්මාණය කරනවාද යන්න අපේ දක්ෂතාවයි. ඒකට අපිට ආයතන නෑ.

ඔබට රංගනය හැදෑරීමට උදව් වුණේ මොනවද...?
මම බොහෝ පොතපත කියෙව්වා. ඒ වගේම චිත්‍රපට මහ විශාල ලෙස නැරඹුවා. ඒ බොහොමයක් චිත්‍රපට බටහිර චිත්‍රපට. ඒත් එක්කම වැලිකතර චිත්‍රපටයෙන් පිටරට උළෙලක් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගමනේදී පිටරට කලාකරුවන් කලාකාරියන් බොහොමයක් මට මුණගැහුණා. ඔවුන් හා කතාබහ කරලා ලොකු දැනුමක් මම එකතු කරගත්තා. ඒ කාලේ මම තරුණ නිසා මට පොඩි සබකෝලයකුත් තිබුණා. හැබැයි ඒ හැමදෙයක්ම මගේ බුද්ධිය පුළුල් කරගන්නට ඉවහල් වුණා.

සිනමා නිර්මාණවලට අමතරව ඔබ පුංචි තිරයටත් පිවිසියා...?
ඔව්.. මම පුංචි තිරයෙත් රඟපෑවා. එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ පළවෙනි සිනමා කෘතියෙත් මම රඟපෑවා. ඔහුගේ පළවෙනි ටෙලිනාට්‍ය කෘතියෙත් මම රඟපෑවා. ඒ තමයි සඳුන් ගිර ගිනිගනී ටෙලිනාට්‍යය. ඒකෙ මමයි වසන්තියි රඟපෑවා. දැන් නම් ඒ වගේ නිර්මාණ නිපදවෙනවා හරිම අඩුයි. කවදාවත් මට සිනමා තාරකාවියක් වෙන්න අවශ්‍යතාවයත් තිබුණේ නෑ. මට ඕනවුණේ චරිතාංග සිනමා නිළියක් වීමට පමණයි. ඒ තුළින් මගේ රටේ ජනතාවට යම් රසාස්වාදයක් දෙන්න මට ඕනවුණා. හැබැයි ඒක එක්තරා කාලයකදී අවසන් වෙනවා. අද වෙද්දී මම රඟපෑම නවත්වලා නෑ. කලාකරුවෝ කියන්නෙ හරියට රටේ ජාතික සම්පතක් වගේ. නමුත් ඒ සම්පත්වලින් ප්‍රයෝජන ගන්නවා වගේම අපි මේ ලෝකට කලාකරුවන් වශයෙන් එකතුවෙලා හැමදෙයක්ම මුදලට සීමා කළ යුතු වන්නේ නෑ. මුදල් ඕනෙ තමයි ජීවත් වෙන්න. නමුත් එයිනුත් අපි රට වෙනුවෙන්, නරඹන්නන් වෙනුවෙන් යමක් කළ යුතුයි. ඒ නිසා කලාකරුවන් විදිහට අපි මේ සමාජයට යමක් කළ යුතු වෙනවා.

මේ වෙනකොට ඔබ ඒ සමාජ සේවා කටයුතුවල නිරතවෙලයි ඉන්නෙ...?
ඔව්... අපිට අපේ නරඹන්නන්ගෙන් යමක් ලැබුණනම් ඔවුන් වෙනුවෙන් අපිත් යමක් කළ යුතු වෙනවා. අපි නිසා සතුටු වුණු මිනිස්සු දැන් හුඟක් වයස්ගතවෙලා ඉන්නවා. මම හිතනවා රටේ පුරවැසියන් විදිහට ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු වෙනවා. මට පුළුවන් විදිහට මම ඒ දේ කරනවා. මම මහ විශාල පොහොසත් කලාකාරියක් නෙමෙයි. නමුත් මට පුළුවන් විදිහට මම කරනවා. මගේ සැමියා නන්දලාල් මාලගොඩ. ඔහු මනෝවිද්‍යාව පිළිබඳ පොත්පත් ලියලා තියෙනවා. වරලත් ගණකාධිකාරවරයෙක්. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ කලා කටයුතුවලට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඔබ විද්‍යා දැරිය වෙනුවෙන් ඇගේ පවුලේ අයට නිහඬ සේවයක් කළ බව ආරංචියි...?
ඔව්... ඒක ඇත්ත. මගේ හදවත හුඟාක්ම රිදුණු තැන එතැනයි. මහ අමානුෂික ලෙස සාපරාධී ලෙස වදදීලා දූෂණය කරලා මරපු විද්‍යා දුව ගැන මම ගොඩක් කම්පා වුණා. ඒ පවුල යුද්ධයෙන් බැටකාපු පවුලක්. පවුල ගොඩගන්න හිටියේ විද්‍යා විතරයි. ඒ මව්පියෝ පොහොසත් පවුල්වල අය නෙමේ. මට ඕනකම තිබුණා ඒ අම්මව බලන්න. අම්මලා දරුවන් ලොකුමහත් කරන්න කොච්චරනම් දුක් විඳිනවද..? ඉතින් ඒ අම්මව බලන්න මම යාපනයට ගියා. එහේ හමුදාව මට ගොඩක් උදව් කළා. විද්‍යා පාසල් ගියේ යතුරුපැදියකින්. ඉතින්... විද්‍යාගේ පවුලේ අයට වගේම විද්‍යාගේ විසිඑක්වැනි උපන්දිනය නිමිත්තෙන් එයාගේ පාසලේ තව නංගිලා මල්ලිලා දහතුන්දෙනෙක්ට අපි බයිසිකල් අරගෙන දුන්නා. ඒ වෙනුවෙන් මගේ හිතවතුන් කිහිපදෙනෙක් උදව් කළා. මගේ මේ අත්දෙක කිළිටිවෙලා නෑ. ඒ අත්දෙකෙන් හමුදාවේ සහයෝගයෙන් මම ඒ දේ කළා. පාසලේ ළමුන් දෙසීය දෙනාටම පොත්පත්, යුනිෆෝම් දුන්නා. එදා ඒ අම්මගේ ඇස්වල කඳුළු.

දේවින්ද කෝන්ගහගේ, ඔබේ පුතා අද වෙද්දී තරුණ සිනමාවේදියෙක්...?
ඔව්... පුතා ගැන මට ගොඩක් සතුටුයි. එයා පුංචි කාලේ ඉඳන් චිත්‍ර කලාවට ගොඩක් දක්ෂයි. පුංචි කාලේ ඉඳන් එයා කලාවට හරි කැමතියි. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ සිනමා නිර්මාණයකත් එයා රඟපෑවා. පුතා මගේ කුස තුළ ඉන්නකොටත් මම රඟපෑවා. ඒ ආභාෂය එයාට දැනෙන්න ඇති. මම රඟපාද්දී හරි සතුටින් රඟපෑවේ. එයා කිරිසප්පයාව ඉන්න කාලෙදීත් එයාව එක්කගෙන තමයි මම රූගතකිරීම්වලට ගියේ. ඉතින් මම තවත් නිර්මාණවේදියෙක් මේ ලෝකෙට බිහිකරපු එක ගැන මට හරි සතුටුයි.