සමාධි සිදු හදිසියේම අත්හෑර ගියපු හේතුව කියයි

මලී කියන්නේ බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වුණ කෙනෙක්‌. මලී ටෙලි නාට්‍යයෙන් විසල් ජනප්‍රියත්වයක්‌ ලබන සමාධි අරුණි ඡායා පසුකලක සමාධි කියන නමට වඩා මලී කියන නමින් බොහෝ දෙනා හදුන්වන්න පටන් ගත්තා. සිදු ටෙලි නාට්‍යයේ මලී හරහා ඇය යළිත් කරළියට එනවා.

මලීට තවමත් මිනිස්‌සු ආදරෙයි නේද?

ඇත්තටම මලී කියන්නෙ ලංකාවේ විතරක්‌ නෙවෙයි
විදේශ රටවල ජීවත්වෙන අයත් ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක්‌

ඒත් ජනප්‍රිය නිළියගේ සම්මානය මලීට අහිමිවුණා ?

එතැනදී කිසියම් අසාධාරණයක්‌ වුණා කියලා මට හිතෙනවා. මේ තරම් ජනප්‍රිය වුණ ප්‍රේක්‌ෂකයන් ආදරයෙන් වැළදගත්ත චරිතයක්‌ වෙනුවෙන් අඩුම තරමින් කුසලතා සම්මානයක්‌වත් හිමිවුණේ නැහැ. මට ඒ අවස්‌ථාව ගිලිහිලා ගියා. ආයේ කවදාවත් එවැනි අවස්‌ථාවක්‌ ලැබෙන්නෙ නැහැ.

ඒ ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?

ඔව් යම්කිසි කලකිරීමක්‌ තියෙනවා සම්මානයක්‌ ලැබෙන්න තිබිය යුතුම අවස්‌ථාවක එය නොලැබී ගියාට පස්‌සේ ආයේ කවදාවත් මට එවැනි බලාපොරොත්තුවක්‌ නැහැ.

සිදු ටෙලිනාට්‍යයෙන් හිටි හැටියේම නොපෙනී ගියේ ?

හදිසියේම නෙමෙයි. නමුත් එය එසේ සිදුවුණා. සිදු ටෙලි නාට්‍යයේ තව කොටස්‌ ඉදිරියට රූගත කිරීමටත් විකාශය වීමටත් තිබුණත් මම මලීගේ චරිතය අවසන් කළා.

එහෙම කරන්න හේතුව?

මේ වෙනකොට මම මගේ දෙවෙනි දරු ප්‍රසූතියට සූදානම් වෙනවා. මේ තත්ත්වය මත ඉදිරියේ රගපෑම් කරගෙන යන්න අපහසු නිසයි මම සිදු ටෙලිනාට්‍යයේ මලීගේ චරිතයට සමුදුන්නේ.

වෛෂ්ණාවී නිසාත් සමාධි ගැන කතාබහ වෙනවා නේද?

මගේ පළමු හා මේ වනවිට මා රංගනයෙන් දායක වුණ එකම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.

වෛෂ්ණාවී හි රුචිරා වෙන්න ලැබුණේ කොහොමද?

මලී ටෙලිනාට්‍ය විකාශනය වෙන කාළේ තමයි මට මේ සිනමා නිර්මාණයට ඇරයුම ලැබුණේ. ඒ කියන්නේ 2012 වර්ෂයේදී. ඒ වෙද්දි ගොඩක්‌ රංගන ශිල්පිණියන් තිර පරීක්‌ෂණයට ලක්‌කරමින් රුචිරාගේ චරිතයට ගැළපෙන කෙනෙක්‌ සොයලා තියෙනවා. ප්‍රසිද්ධ කැමරා ශිල්පියෙකු වන ඩොනල්ඩ් කරුණාරත්න මහත්මය තමයි කියල තියෙන්නේ මේ දවස්‌වල මලී කියල ටෙලි නාට්‍යයක්‌ විකාශය වෙනවා ඒ ටෙලි නාට්‍යයේ මලීගේ චරිතය රගපාන ගැහැණු ළමය මේ චරිතයට හරියයි කියලා. ඒ අනුව තමයි සුමිත්‍රා මැඩම් මට එන්න කියල මාව මේ චරිතයට තෝරගත්තේ.

සුමිත්‍රා පීරිස්‌ වැනි ප්‍රවීණ නිර්මාණකාරිනියකගේ අධ්‍යක්‌ෂණය නවකයකු වූ සමාධිට මොනවගේ බලපෑමක්‌ද ඇතිකළේ ?

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ හා සුමිත්‍රා පීරිස්‌ කියන නම් කියූ සැනින්ම මෙම නිර්මාණය විශිෂ්ට එකක්‌ බව මම දැනගෙන හිටියා. විශේෂයෙන්ම පළමු සිනමා නිර්මාණයම එවන් එකක්‌ වීම අතිශය වාසනාවක්‌ විදිහටයි මට දැනුනේ. ගොඩක්‌ ආසාවෙන් තමයි රෑගත කිරීම්වලට සහභාගි වුණේ. මේ දෙපළ සිනමාවේ පුරෝගාමීන් වුණත් බොහොම නිහතමානී අය. කිසිම අපහසුතාවයක්‌ නැහැ ඒ අය එක්‌ක වැඩ කිරීම.

වෛෂ්ණාවී නිසා ඔබට ප්‍රවීණයන් රැසක්‌ මුණගැසෙනවා ?

පැහැදිලිවම. විශේෂයෙන්ම ප්‍රවිණ නළුනිළියන් විතරයි මේ නිර්මාණය පුරාම හිටියේ. ඔවුන්ගෙන් හොද සහයෝගයක්‌ ලැබුණා. හොදට රගපාන අය එක්‌ක රගපාන එක ලේසියි. ඒක තමයි ඒ ශිල්පීන් සමඟ වැඩ කරල මම ලද විසල් අත්දැකීම.

වෛෂ්ණාවී රූගත කරලා වසර ගණනාවකට පසුවයි තිරයට එන්නේ ?

මේ චිත්‍රපටය තිරගතවීම යම් යම් කරණා මත ප්‍රමාද වුණා. අපි ගොඩක්‌ ආසාවෙන් බලාගෙන හිටියා මේ චිත්‍රපටය එනතුරු. මේක මොන විදිහට ප්‍රේක්‌ෂකයන් වැළඳ ගනීවිද කියන කාරණය අපට වැදගත් වුණා. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ අධීක්‌ෂණය යටතේ කරන අවසන් සිනමා නිර්මාණය මෙය වෙන්නත් පුළුවන්. එතුමාගේ 99 වන ජන්ම දිනය නිමිති කරගෙනයි මෙහි තිරගතවීම ඇරඹෙන්නෙ.

ආපහු අම්මා කෙනෙක්‌ වෙන්න යන හින්දා රඟපෑමට සමුදෙනවාද?

නැහැ. මම තාවකාලිකව රගපෑමෙන් ඈත් වුණත් මමත් මගේ සැමියාත් ද මීඩියා හෝම් නමින් ප්‍රඩක්‌ෂන් හවුස්‌ එකක්‌ පවත්වාගෙන යනවා. ඒකෙන් කරපු නිර්මාණ කිහිපයක්‌ තියෙනවා. ඉදිරියේ දී ඒවා විකාශය වීමට නියමිතයි. එම ටෙලි නාට්‍යවල කොටස්‌ 25 ක්‌ රූගත කරල තියෙන්නේ. ඒ නිසා මම තාවකාලික රංගනයෙන් ඈත් වුණත් මගේ නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුළුවන්.

ඔබ බොහොම අඩුවෙන් නිර්මාණ භාරගන්නා නිළියක්‌ නේද ?

2010 මලී කරන කාලේ ඉදන්ම ගොඩක්‌ නිර්මාණ ලැබුණත් මම බොහොම පරිස්‌සමෙන් තමයි මම නිර්මාණවලට දායක වුණේ. නවකයෙක්‌ විදිහට ක්‌ෂේත්‍රයට එද්දි ලැබෙන හැම එකක්‌ම බදාගැනීමේ පෙරේතකමක්‌ මට තිබුණේ නැහැ. කරන එක දෙක හෝ හොද දෙයක්‌ කරල නිහඩව ඉන්න තමයි මගේ කැමැත්ත තිබුණේ. කොහොමටත් මල් ගස්‌ වටේ දුවන ළද බොළඳ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවල රගපාන්න කොහොමටත් අදහසක්‌ නැහැ. ගුණාත්මක යමක්‌ සමාජගත කරන්න පුළුවන් නම් මම ඒ දේ කරනවා.

සමාධි හිතනවද ඔබගේ එම අරමුණ මේ වෙද්දී ඉටුවෙලා කියලා ?

මට සතුටු වියහැකි යමක්‌ මගේ අතින් වෙලා තියෙනව කියල මම හිතනවා. දැන් රගපෑමෙන් අයින් වෙන්න වුණත් මගේ හිතේ දුකක්‌ නැහැ. සම්මාන බලාගෙන මම රගපාලා නැහැ. මෙහෙම වෙන්න ඔන කියල ලොකු අපේක්‌ෂතාත් නැහැ මම භාරගන්න නිර්මාණයකට මගේ උපරිම දායකත්වය ලබාදෙනව ඒ විදිහට නිහඩ ගමනක්‌ යනවා.

ධම්මිකා සුරංජි පතිරණ