අවුරුද්දට දැන් රබන් ගහන්නේ රූපවාහිනියේ විතරයි – රෝහණ බැද්දගේ

කලා කෞෂල්‍යයන් ගණනාවකින් ‍පොහොසත්   ජන සංගීතය එකතු කරගෙන නිර්මාණකරණයෙහි නියැලී සිටින මෙරට ජන සංගීතයට මහඟු මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් අතරින් වර්තමානයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිල්පියෙක් ලෙස රෝහණ බැද්දගේව හඳුන්වන්න පුළුවන්. මේ ඔහු සමඟ කළ සුහඳ පිළිසඳරයි.

අවුරුද්දක් එක්ක කාර්ය බහුල වෙලා ඇති?
විදේශ සංචාරයක් තියෙනවා ඒ නිසා මෙහෙ
වැඩවලට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. මගේ රාලහාමි නාට්‍යයේ වැඩත් තියෙනවා.

අවුරුද්දත් එක්ක තමයි ජන ගීය, ජන සංගීතය බොහෝ දෙනාට මතකයට නැගෙන්නේ?
හැමෝමට අවුරුද්දට තමයි ඔය දේවල් මතකයට එන්නෙ. අපිව මතක් වෙන්නෙත් අවුරුදු කාලෙට විතරයි. එතකන් අපිව මතකයට එන්න හේතුවකුත් නැහැ. අවුරුදු සිරිත් විරිත් එක්ක ඒ දේවල් මතකයට ඇවිත් ආපහු ඔවුන්ගෙන් ඔය දේවල් මතකයෙන් ගිලිහිලා යනවා.

රාලහාමි නාට්‍යයෙන් පසුව ඇයි නැවත නිර්මාණකරයේ නොයෙදෙන්නේ?
මට උවමනාවක් තියෙනවා ගීත නාටකයක් කරන්න ඒ ගැන කල්පනා කරමින් සූදානම් වෙනවා.

ඔබ ජන ගීතයේ ප්‍රමිතිය ගැන නිතර කතා කරපු කෙනෙක් දැන් ඒ දේවල්වලින් බැහැර වෙලාද?
එහෙම බැහැරවීමක් වෙලා නැහැ. මම මට පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යනවා.

වර්තමානයේ ජන සංගීතය විභාගය ඉලක්ක කරගෙන තමයි ළමයන්ට උගන්වන්නේ. එය වෙනස් විය යුතුයි කියලා හිතනවාද?
ඒක තමයි අද ක්‍රමය වෙලා තියෙන්නේ වෙන කරන්න දෙයකුත් නැහැ. විභාගය ඉලක්ක කරගෙන මිසක් අද එය උගන්වන්න විදියක් නැහැ. ගැමියාගේ ජන සංගීතය විධිමත්ව සකස් කරලා තමයි අධ්‍යාපනයට අරගෙන තියෙන්නේ. ඒ විධිමත් ක්‍රමය උගන්වද්දී ඉන්දියානු ස්වර අභ්‍යාස ක්‍රමයට තමයි පුහුණු වෙලා තියෙන්නේ. ජන සංගීතය ඉන්දියානුකරණයට වෙලා තියෙනවා. ඉන්දියානු රාගධාරී සංගීතය හදාරපු අය තමයි ජන සංගීතය උගන්වන්නේ.

මකුලොලුව මහත්මයත් වෙන කරන්න දෙයක් නැතිකමට ඉන්දියානු ක්‍රමවලින් තමයි ස්වර්ථාන කළේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙමවත් නොකළා නම් අද ජන සංගීතයක් නොරැකෙන්නට තිබුණා.

ඔබතුමා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර කීයක් වෙනවද?
අවුරුදු 50ක් 60ක් වෙනවා. මම කුඩා කාලයේ සිටම ගැමියන් අතරෙම හිටිය කෙනෙක් තවමත් එහෙමයි.

ගීත නිර්මාණකරණයෙන් ඈත් වෙලාද?
ළඟදි කළේ නැහැ. මම යහමින් නිර්මාණය කරන්න පෙළඹිලා නැහැ. ඉඳලා හිටලා එකක් කරනවා.

වර්තමානයේ නිර්මාණවලට ඇයි ජන ගීත, සංගීතය එකතු කර නොගන්නේ?
ඉන්දියානු ක්‍රමය වසර සියයකටත් එහා ඉඳන් අපේ රට තුළ පැළපදියම් වෙලා තියෙනවා. බොහෝ ඉන්දියානු සංගීත ක්‍රමයට තමයි නිර්මාණ බිහි කරන්නේ. ජන ගීය, සංගීතය ගැන දන්න අය ඔවුන්ගේ නිර්මාණවලට මෙය එකතු කර ගන්නවා. ඒ ගැන උනන්දුවක් නැති අය ඒ සඳහා අවධානය යොමු කරන්නේ නැහැ. ඒ අය පුළුවන් දේ තමයි කරන්නේ.

ඔබ රංගනයෙනුත් ඉවත් වෙලාද?
ආරාධනා කිහිපයක් ලැබුණා. මට ඒ දේවල් හරි නොගිය නිසා ප්‍රතික්ෂේප කරන්න වුණා. මම නිර්මාණ භාරගත්තද ටික කාලයක් යද්දී ඒක මට ගැළපෙන්නෙ නැත්නම් මම එයින් ඉවත් වෙනවා. මට එහෙම රංගනයේ රැඳී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි කෙනෙක්ට මගේ රංගනය අවශ්‍ය වුණොත් එය කරලා දෙනවා.

ඒ කා‍ලේ කොහොමද අවුරුදු සැමරුවේ?
අදත් එක්ක ගත්තහම එදා අවුරුද්දෙ ලොකු වෙනසක් තියෙනවා. මුළු ගමම එකතුවෙලා ගැමියන්ගේ උත්සවයක් ලෙස අවුරුද්ද සැමරුවේ. දෙමව්පියෝ ළමයි වෙනුවෙන් කැපවෙලා ඔන්චිලි හදලා දීලා හැමදේම කරලා දුන්නා. නමුත් අද අවුරුදු උත්සව පවත්වන්නේ ගැමියන්ගේ වුවමනාවට ‍නෙවෙයි. ගැමියන් යොදාගෙන සමාගම්වල වුවමනාවට අවුරුදු උත්සව පවත්වනවා. ඉස්සර හැම ගෙයක්ම බොහොම එකමුතුව එක අවුරුදු උත්සවයක් පැවැත්වුණා. නමුත් අද වෙද්දී ඒ දේ වෙනස්වෙලා ව්‍යාපාරික මට්ටමකට පත්වෙලා. ව්‍යාපාර ප්‍රචාරය කරමින් අවුරුදු උත්සව පවත්වනවා. ඒ ව්‍යාපාරිකයන් ගැමියන්ට ගෙවලා තමයි අවුරුදු උත්සවයට අවශ්‍ය බඩු එකතු කර ගන්නේ. නමුත් එදා මිනිස්සු පරිත්‍යාගයෙන් තමයි එදා හැමදේම කළේ. ගැමියන්ගේ වුවමනාවට. ඒ වගේමයි අද කිසිම ගමක රබානක් ගහනවා ඇහෙන්නේ නැහැ. රබන් ගහන්නේ රූපවාහිනියේ ගුවන්විදුලියේ විතරයි. ඒ තරමටම ගැමියන්ගෙන් අවුරුද්ද අද ඈත්වෙලා ගිහිල්ලා. චාරිත්‍ර වාරිත්‍ර විතරක් කරනවා. අද ඔක්කොම ව්‍යාපාරික වෙලා.

ඔබට අදහසක් නැද්ද ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

එහෙම අදහසක් තියෙනවා. මම පිටපතකුත් ලියලා තියෙනවා චිත්‍රපටයකට. චිත්‍රපටයක උපරිම කාලය පැය එකහමාරයි. ඒ පිටතට අනුව පැය එකහමාරකින් කරන්න බැරි නිසා ඒක අත්හැරලා දැම්මට ටෙලිනාට්‍යයක් කරන්න බැරිකමක් නැහැ. ඒත් ලොකු උනන්දුවකුත් නැහැ.

ක්ෂේත්‍රය ගැන ඔබට තියෙන්නේ කලකිරීමක්ද?
කලකිරීමක් නැහැ. ඒත් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නවා.

තිළිණි කරුණාරත්න