මොන දේට සහභාගිවෙලා ගියත් එතනින් එහාට SMS ගහන Chat කරන්න තරම් මිතුරු සමාගම්වල මම නැහැ. - තිසුරි යුවනිකා

ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලීගේ දියණිය වන තිසුරි යුවනිකා කියන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය දක්ෂ නිළියක්. ඉතාමත් කෙටි කළකින් ජනප්‍රිය වුණු ඇය මේ දිනවල හිරු ටීවී තුළින් විකාශය වන  ‘‘උරුමයක අරගලය‘‘ ටෙලිනාට්‍යයෙන්ද ඔබ හමුවට එනවා.

ඇයගේ අපූර්ව රංගනය වගේම මේ දවස්වල තිසුරිගේ ජීවිතයේ අලුත්ම විස්තර ගැනත් ඇය පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණේ මෙහෙමයි.

කාලෙකට පස්‌සේ තිසුරිව ප්‍රධාන චාරිතයක්‌ හරහා
දකින්න ලැබෙනවා

කාලෙකට පස්‌සේ දකින්න ලැබෙනවා කියන කතාව එක පැත්තකින් හරි. මොකද මම එක දිගට වැඩ කරලා මාස දෙක තුනක්‌ විතර විවේකයක්‌ ගත්තා. ඒත් අනිත් පැත්තෙන් ගත්තම මම ගොඩක්‌ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. විකාශය වීමේ ප්‍රමාදය තමයි තියෙන්නේ.

අද වෙන කොට තිසුරි අම්මට වඩා ජනප්‍රියයි කිව්වොත්.

ඒ කතාවට මම කොහෙත්ම එඟක වෙන්නෙ නෑ. රංගන ශිල්පිනියක්‌ විදියට මම ජනප්‍රිය ඇති. ඒත් මගේ අම්ම සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ මේ ක්‍ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය චරිතයක්‌ වගේම බොහෝ දක්‍ෂතා තියෙන ශිල්පිනියක්‌. විවාදයක්‌ නෑ අම්ම මට වඩා ජනප්‍රියයි.

අම්මා මොනවද දුව ගැන කියන්නේ?

මම අම්මගේ අස්‌සෙම හැදුණ දරුවෙක්‌. මොකද රැකියාව නිසා මගේ තාත්තා බොහෝ වෙලාවට හිටියේ පිටරට. කොටින්ම මම බාත්රූම් එකට යන්නෙත් අම්මේ මම බාත් රූම් යන්නද කියල අහලයි. අද වෙනකොට මම විවාහ වෙන්න ලෑස්‌ති වෙන වයසක හිටියත් මගේ ගති පැවතුම් තාමත් ඒ විදියමයි. පවුලේ එකම දරුවා වගේම ගැහැනු ළමයෙක්‌ වීම නිසා අම්ම තාත්තා කියන දේට පිටින් දෙයක්‌ කරල මා ගැන නරකක්‌ අහන්න මම එදා වගේම අදත් අකමැතියි. අම්ම විතරක්‌ නොවෙයි තාත්තත් කියන්නේ මට හොඳ දරුවෙක්‌ කියල. ඒක දරුවෙක්‌ විදියට මම ලබන ලොකුම සතුටයි.

තිසුරි නිසා අම්මට තිබුණු තැන නැති වුණා කියල හිතෙන්නෙ නැද්ද?

කොහෙත්ම නෑ. ඒක කවදාවත් වෙන දේකුත් නෙමෙයි. කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ගමකින් නගරෙට ඇවිත් මගේ අම්ම මේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ වුණේ ඇය තුළ තිබුණු දක්‍ෂතා නිසා. ඇය ගිය ගමනෙන් කාලක්‌වත් මම තාම ගිහින් නෑ. ඒ නිසා මම නිසා මගේ අම්මගෙ තැන කවදාවත් නැතිවෙලා නෑ. ඇය නිසා තමයි අද මම බැබළෙන්නේ.

ක්‍ෂේත්‍රයේ වැඩිය යාළුවො නෑ කියන කතාව ඇත්තද?

ඔව්. ඒක ඇත්තක්‌. මොන දේට සහභාගිවෙලා ගියත් එතනින් එහාට Call කරන SMS ගහන Chat කරන්න තරම් මිතුරු සමාගම්වල මම නැහැ. හොඳම යාළුවේ අම්මයි තාත්තයි ඒ දෙන්න එක්‌ක තමයි හැමදේම කරන්නෙ කියන්නේ.

කට කතාවලින් බේරිලා ඉන්නේ කොහොමද?

එහෙම විශේෂ ක්‍රමයක්‌ අනුගමනය කරන්නවත් ආරක්‍ෂා වෙන්නවත් දෙයියනේ කියල මට තාම කට කතාවක්‌ හැදිලා නෑ. හැදුනත් මට ඒව ලොකුවට ගන්න තරම් දෙයක්‌ වෙන එකකුත් නෑ. මොකද වැරදි නොකරන අයටත් ඕන තරම් කට කතා හැදෙනවානේ.

ළඟදී විවාහ වෙනව කියලත් ආරංචියි.

ඔව්. මේ අවුරුද්දේ මම විවාහ වෙනවා. එහි වැඩ කටයුතු මේ වෙද්දී සැලසුම් කරගෙන යනවා.

අනාගත සැමියා ගැන දැන්ම විස්‌තර කියන්න අකමැතිද?

එහෙම අකමැත්තක්‌ නෑ. ඔහු නමින් සුරාඡ්. අපේ පවුලේ හිතවතෙක්‌. වෙළෙඳ නාවික නිලධාරියෙක්‌ ලෙස සේවය කරනවා.

පවුලේ එකම දරුවා විදියට අම්ම තාත්ත තනි කරල දීග යන්න හිත හදා ගත්තෙ කොහොමද?

ඔය කාරණේදී මම විතරක්‌ නෙමෙයි අම්මයි තාත්තයි හිත හදාගත්තෙත් මම විවාහ වුණාට වෙනම පදිංචියට යන්නෙ නැති නිසා. මොකද සුරා-ට රැකියාව නිසා නිතර විදේශ ගත වෙන්න වෙනවා. ඒ නිසා අපි දෙන්න මගේ ගෙදරම පදිංචි වෙනවා.

තෝරාගත් අධ්‍යක්‍ෂවරුන්ගේ වැඩවලට පමණක්‌ සහභාගී වෙන බවට චෝදනාවක්‌ තියෙනවා.

එහෙම තේරීමක්‌ නෑ. මට කරදරයක්‌ අපහසුවක්‌ නැතුව හිතේ සතුටින් වැඩකරන්න පුළුවන් අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න තමයි මම කැමති. සමහර වෙලාවට අපි මහන්සි වෙලා කැපවෙලා වැඩ කරල ඉවරවෙලා අපේ ගාස්‌තුව ගන්න ගියාම ණයක්‌ ඉල්ලන්න ගියා වගේ හෑල්ලු වෙන්න වෙනවා. ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න නැත්නම් තමයි කවුරු වුණත් ඕනෑම කෙනෙක්‌ එක්‌ක වැඩ කරන්න කැමති.

ඉදිරියේදී කලා කටයුතුවලින් ඈත්වෙන්න වෙයිද?

නෑ. මගේ විවාහය කලා කටයුතුවලට බාධාවක්‌ වෙන එකක්‌ නෑ. සුරාඡ් මාව තෝරා ගත්තේ මම රංගන ශිල්පිනියක්‌ බව දැනගෙන නේ. ඔහුත් නිතරම කියන්නේ රැල්ලට යන නිර්මාණ නැතුව හොඳ නිර්මාණවලට දායකවන්න කියලා.

රංගනයත් පවුල් ජීවිතෙත් අවුල් කරගන්නෙ නැතුව ගෙනියන එක පහසුයි කියල හිතනවද?

ඔව්. ඒකට හොඳම උදාහරණය මගේ අම්මා. ඇය ඒ දෙකම සමබරව ගෙන යන රංගන ශිල්පිනියක්‌. ඇයව අනුගමනය කරමින් ඇය ගිය මග යනවා. කියන තැන තමයි මමත් ඉන්නේ.

-ධම්මික හේවාවසම්-