"සර් කොටි දෙන්නෙක් අල්ලලා, එකෙක් පණ පිටිං ලූ" හතරවන ඊළාම් යුද්ධයේ වෛද්‍යවරයකුගේ පළමු අත්දැකීම - Photos

යුද සමය අප කාටත් අමතකව නැත. ඒ වගේම 30 වසරක රුදුරු යුද්ධය නිසා පීඩා වීඳි පුද්ගලයන්ද අපමණ පිරිසක් ඇත.

යුද්ධය නිමා කිරීමට දිවි පිදූ රණවිරුවන්වද අපට අමතක කරන්නට බැරිය. ඒ වගේම ඔවුන්ගේ කාර්යය ලේසි පහසු දෙයක් නොව ඔවුන් යුද්ධය අවසන් නොකළානම් අදටත් යුද්ධය නිසා අප පීඩා විඳින්නේය.

මේ සම්බන්ධව අපට වඩා තතු දන්නේ එයට මැදි වූ ඒ
සෙබළුන්මයි.

කෙසේ වෙතත් යුද්ධය ගැන වෛද්‍ය පැතුම් කර්නර් විසින් ලබන මැයි 18 වන දින ග්‍රන්ථයක් එළිදැක්වීමට නියමිතයි.

එය නම් කර ඇත්තේ "යුදබිමක වෙද මහිම....දේශප්‍රේමය එන්නත් කරනු පිණිස...." යනුවෙනුයි. එම ග්‍රන්ථයේ එන කොටසක් පහතින් දැක්වේ

" කර්නර්, මාසෙකට පලාලි යන්න තියෙනවා ලෑස්ති වෙන්න." පලමු වෛද්‍ය බලකා දෙවැනි අණදෙන නිලධාරීයාගෙන් මා හ⁣ට ඇමතුමක් ලැබුනේ මා අනුරාධපුරයේ සිටියදීය. "පලාලි?" එකවරම මා සිතට නැගුනේ යාපන අර්ධද්වීපයයි. උපන්තේකට නොදුටු ලංකාවේ විශේෂ ප්‍රදේශයක් ලෙස යාපනය මා සිතට වැදුනේ එහි වූ යුද්ධය නිසා සැඟවුනු ගුප්ත භාවය නිසාමදෝ විය හැකිය. " දැන් ගෙදර යන්න, අදාල දිනයට ඩිෆෙන්ඩර් එක එවන්නම් ගෙදරට. ඒකෙන් එක්ක යයි රත්මලානට එතනින් flight එකෙන් පලාලි යන්න" මට උපදෙස් ලැබින. මේ සැප්තැම්බරයයි. මාගේ උපන් දිනයද මේ මස යෙදී ඇත්තේය. එය මෙහිදී ආදාල නැත. " හරි සර්" මම එය එක සිතින් භාර ගතිමි.

ගමනට දිනය උදාවූයේය. උදෑසනම මා ලෑස්ති පිට වාහනය බලා පොරොත්තුවෙන් පාර බලාගෙනය. පැයක් ප්‍රමාදය. කිසිවක් සිදු නොවෙයි. ඉවසුවෙහි. බට්ටා වෑන් රථයක් කොටමින් පැමිණ අප නිවස ඉදිරියේ නතර කෙරිණ. " සර්, ඩිෆෙන්ඩරේ ස්ටාර්ට් වෙන්නේ නෑ, බැරිම තැන මේක අරං ආවා" එයින් බැස ගත් කෝප්‍රල් වරයා කියා සිටියේය. එහි නැගී මා රත්මලානට පැමිණියේ ප්‍රමාද වීය. එහෙත් ගැටලුවක් නැත්තේය. ගුවන් යානය තවමත් පිටත් වී නැත.

ගුවන් හමුදාවට අයත් කුඩා ගුවන් යානා දෙකකින් සෙබලුන් හා භාණ්ඩ යාපනයත් කොළඹත් අතර ප්‍රවාහනය කරයි. ඉන් එක් යානයක් වූ C130 යානය ගමනට සූදානම් වූයෙන් එයට ගොඩ වීමට සංඤාාව නිකුත් වූයේය.

මෙම යුධ ගුවන් යානා සාමාන්‍ය ගුවන් යානා වලට බෙහෙවින් වෙනස් වූයේය. ඒවායේ අභ්‍යන්තරය පරණ ලොරියක බොඩිය හා සමාන වූයේය. ඉඳ ගැනීමට පහසු ආසන නැත්තේය. එහි ඉඳගත යුත්තේ දික් අතට අයින දිගේ වු බංකු ආකාර දිග ආසන පේලියේය. එක් පුද්ගලයෙකුට එක බැගීන් වූ ආසන පටි එහි වූවේය. එම බංකු ආසන ඉතා පටු ඒවා වූයෙන් පස්ස සම්පූර්ණයෙන් එහි තබා පහසුවෙන් සිටිය නොහැක. අල්ලා ගැනීමට බංකුවට උඩින් දිවෙන යකඩ කේබලයකි. බඳ දෙබිත්තිය දිගේ වූ අාසන පේලි දේකට මැද්දෙන් ප්‍රවාහනය කරන බඩුය. හමුදාවේ ඕනෑ එපා කම්ය. ඉස්කොලේ යන කාලේ බස් එකේ ෆුට් බෝඩ් එකේදෙ, වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ලැබීමට පෙර කොච්චියේ වහලට නැගීමට ඇති ඉනිමගේද එල්ලී ගියාට පසු ගුවන් යානයකද ⁣එසේම එල්ලී යාමට වනු ඇතැයි මා කෙදිනකවත් නොසිතුවේය. කම්බියේ එල්ලි, පස්ස අර පටු ආසනයට බර කරගත් අප යාපනය ගමන ඇරඹුවේය.

එන්ජින් සද්දය ගුවන් යානය ඇතුලත මහා ගෝසාවක් ඇති කරයි. කනට ආවරණ දමා ගත් ගුවන් නියමුවන් සිය සුපුරැදු ගමනේය. මගී කාටවත් කතා බහ කල නොහැක්කේ එවා ඇසීමට කන් සූදානම් වූ නැති නිසාය. ඒවා ඝෝෂාවෙන් පිරී තිබුනේය.

යන්තම් පිටු පස හැරී ජනේලයකින් පහල බැලූවෙමි. අප ලංකාවේ මන්නාරමට උඩිනි. මුහුදු වෙරලද, සුදෝ සුදු වැල්ලෙන් පිරැනු උතුරැකරයේ ඇති දූපත්ද දැකුම් කලු රටා මවයි. එහෙත් ඒ කිසිවක් රස විඳීමට මනස ඒකාග්‍ර නොවූයේ මෙම ගුවන් යානය බාන තුරැ ජීවිත ආසාව අතහැර සිටීම නිසාය. එය මා හට පමණක් නොව එහි ගමන් කල කාටත් පොදු වන්නට ඇත.

රත්වූ ලේ සිසිල් කරමින් ගුවන්යානය නිරැපද්‍රිතව පලාලි ගුවන් තොටේ ගොඩ බෑවේය. පැය භාගයකට ආසන්න වූ ඒ ගමන අප කාටත් ජීවිතාශාව නැති කරගන්නා අයුරැ උගන්නන්නට ඇත.

යාපනයේ ඉහල කෙලවර සීමාසහිත බිමක පිහිටි පලාලි අධි ආරක්ෂිත කලාපය තුල යුධ හමුදා රෝහල පිහිටා තිබුනේය. ඒ ආසන්නයේම වෛද්‍යවරැන් සිටී නිලධාරී නිවස්නයද වූයේය. යාපනය අර්ධද්වීපය ආරක්ෂා කල සේනාංක මූලික කරගත් යාපනය අරක්ෂක සේනා මූලස්ථානය මෙහි පිහිටියේය. එහිදී අපූරැ අත්දැනීම් කීහිපයකට මුහුණ දුන්නේය.

මේ වන විට යුද්ධය යාපනය පැත්තේන් ඉදිරියට නෑදුනු නිසා පලාලි හී තුවාල කරැවන් එතරම් නොවූවේය. බොහෝවිට දහවල් වන විට රෝගී වූ සෙබලුන් බලා අවසන් වන බැවින් හවස් භාගය නිදහස්ය. හවස හතරේ පමණ පටන් ආසන්නයේ වූ හිස් භූමියේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෙබලුන් සමඟ මාද එක්වූයේ බොහෝ කැමැත්තෙනි. එම හිස් භූමිය අසල එක පෙලට නැවැත්වූ කාල තුවක්කු කීපයකි. ඊට ඔබ්බෙන් කාල තුවක්කු දිශාවටම සිය උණ්ඩ විදින එල්ල කරගත් මල්ටි බැරල් රොකට් විදිනයන් දෙකකි. මීට පෙර මේවා මෙලෙස දැක නැති මා , නොදැක්ක වඳුරා අත පත ගානවා මෙන් මේ නවතා ඇති අවි අතපත හා සිත් සේ බලා ගත්තේය.

දැඩි ආරක්ෂාව නිසා මෙම ආරක්ෂක මූළස්ථානය ඇතුලත ලගින් ලඟ රැකවල් ලා තිබුනෙන් හා ඉහල නිලධාරීන් ලබා දුන් උපදෙස් මත මා හට වටා පිටාවේ ඇවිද යාමට අවසර නොලැබුනේය. එබැවින් මෙහි හතර කොන නොදත් මා බොහෝවිට නිලධාරී නිවස්නය තුල කොටු වී සිටියේය. පසු දිනක මා හට මතක් වූයේ මාගේ වෛද්‍ය පීඨයේ මිතුරැ යාපනයෙන් පැමිණි ප්‍රශාන්ත් නිවාඩුවට යාපනයට ඇවිත් සිටිනා බවයි. මාගේ දුරකතනයෙන් ඔහුට ඇමතුමක් ගත්තේ කතා බස් කරන අටියෙනි. " ප්‍රශාන්ත් , ඉතිං කොහොමද? මම පලාලි ඉන්නේ. මම ඔයාගේ ගෙදර එන්නම් කිව්වට එන්න බෑ. මෙහෙන් එලියට බැහැගන්න බෑ" මා ප්‍රශාන්ත්ට කීවේ පලාලි ගිය විටක එහි පැමිනෙන්මියි පොරොන්දු වූ බැවිනි. එදා ඊට වැඩි යමක් නොවූවේය.

දින දෙකක් පමණ ගත වුනි. මාගේ දුරකතනයට පනාගොඩින් ඇමතුමකි. " කර්නර්, ඔයා යාපනේ කාට හරි කෝල් කලාද? " ඒ පනාගොඩ මා අයත් පලමු වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී තුමාය. " හ්ම්, ඔව් සර්" මොහොතක් සිතා මතක් කරගත් මම තරමක තැතිගැනීමකින් එසේ කීවේය. " ඔයාගේ ෆෝන් එකෙන් යාපනේට කෝල් එකක් ගිහින් තියෙනවා පලාලි කුළුණ හරහා. ඒක රේකෝර්ඩ් වෙලා. එතකොට ඔයා ආටිලරි රේන්ජ් එකේ ඇවිදලා තියෙනවා. ඒවා ලයින් එකට ටාගට් කරලා තියෙන්නේ, ඒවගේ පොශිෂන්ස් කොටින්ට දුන්නොත් උන් ගහනවා. ඒක හින්දා ඉන්ට් එකෙන්( හමුදා බුද්ධි අංශය) දැන් ඔයාව ෆලෝ කරනවා, ඒ ගොල්ලෝ අපිට ඉන්ෆෝම් කලා, දැන් පොඩ්ඩක් සද්ද නැතුව යට ගිහිං ඉන්න. වැඩිය එලියට බහින්න එපා සම්පූර්ණයෙන් ක්ලියර් කරනකං" . මේ කුමක් සිදුවන්නේදැයි වටහා ගැනීමට මට පොඩි කාලයක් ගත වූයේය.

ක්‍රිකට් ගැසීමද එලි පහලියට යෑමද එතනින් නතර වූයේය. ඊට පසුව නැවත් කිසිදිනක එවන් දෙයක් අසන්නට ලැබුනේ බුද්ධි අංශය මා පිලිබඳව සත්‍යය තොරතුරැ සොයා තෘප්තිමත් වූ බැවින් විය යුතුය.

සැප්තැම්බර් 11 මාගේ උපන්දිනය වූයෙන් එදවස පලාලි හී මා වඩා කැමති අයුරින් කවුරැන් හෝ නොදැන නිහඬව ගෙවා දැමීමට සැලසුම් කලේමි.
" සර්ට කොළඹින් පාර්සලයක් ඇවිත්. සර්ගේ ටේබල් එක උඩ" සුපුරැදු පරිදි රෝහලට යමින් සිටි මා හට ගේට්ටුවෙ වූ සෙබලාගේන් දැනගන්නට ලැබුනේය. " මට? " මා විමතියට පත්වීමි. ඒ සැරේ මොකක්ද මේ, හිතට කියා ගත් මම කෙලින්ම පාර්සලය සොයා ගියේය. එය උපන් දින තෑග්ගකි. කොළඹින් යාපනයට පැමිණෙන හමුදා නිලධාරීයෙකු සොයා ඔහු අතේ විශාඛා මා වෙත උපන් දින තෑග්ගක් එවා ඇත්තේය. එය විවෘත කල බැලීමි. ලස්සන සුදු ඉරි වැටුනු නිල් පාට අත්දිග කමිසයක් , සුදු රවුම් කර ටීෂර්ටයක් හා තවත් දෑ කීපයක් එහි වූයේය. උපන් දින රහස එලිවූවෙන් සියල්ලෝ සුභපැතූවේය. ඒ කමිසය මා කාලයක් සතුටෙන් ඇඳී අද වෙනතුරැත් මා හට ලැබී තිබූ ලස්සනම කමිසය වෙයි. පලාලියෙන් මා පිටත් වුයේ බොහෝ අත්දැකීම් සහිතවය.

ඊළඟ මාසය මා සුපුරැදු 58 සේනාංකයේය. පුනරීන් කිට්ටුව අප කඳවුරැලා සිටියේය. කෝප්‍රල් විජේ මා වෙත හති දමමින් දුවගෙන ආවේය. "සර් කොටි දෙන්නෙක් අල්ලලා, එකෙක් පණ පිටිං ලූ. දැන් මෙහෙට ගේනවා කිව්වා". මීට පෙර පණපිටිං කොටි දැක තිබුනේ රෑපවාහිනීයෙන් පමණි. පණ ඇති කොටි බැලීමට කවුරැත් කුතුහලයෙන් මිදුලට රැස්වූවෝය. ගස් කොලන් අස්සෙන් ඈතින් ඇදෙන ට්‍රැක්ටරය දිහා ඇස් දහසකි.

සෙමෙන් ඇදෙන ට්‍රැක්ටරයේ ඇත්තේ රියදුරා හා තවත් එක සෙබලෙක් පමණි. එහි බිම වාඩිවී එන තවෙකෙකුගේ සේයාවක් පෙනෙයි. ට්‍රැක්ටරය තවත් ලංවත්ම ඉතා කෙසඟ බිම හිඳගත් පුද්ගයාගේ හැඩහුරැකම් තරමක් පැහැදිලිව පෙනෙයි. කොණ්ඩය ඉදී ගොස්ය.

එදෙස බලාහුන් එවුනගේ දෙනෙතේ විමතියකි. ඒ ඇස් යදමින් බැඳි යටත් කරගත් භයානක කොටියෙකුගේ පැමිණීම අපේක්ෂාවෙනි. එහෙත් මේ දකින්නේ වෙනස් වූ යමකි. ට්‍රැක්ටරය වඩාත් ලංවූයෙන් එහි සිටින්නේ දිරායන මහල්ලකු බව කාටත් වැටහුනේය. කොටි බලන උද්යෝගය ක්‍රමයෙන් අනුකම්පාවට හැරී ගියේ මාගේ පමණක් නොවීය. ට්‍රැක්ටරය ක්‍රමයෙන් අවුත් මිදුලේ නතර කෙරිණ.

හිඳගෙන පණ පිටින් උන් පුද්ගලයා වයස 70 ක පමණ දිරා ගිය මහල්ලෙකි. ඔහු ඉතා කෙසඟ වූයෙන් ඇට මතුවී තිබින. ඉරී ගිය හපුටූ වූ සරමක් පමණක් ඇඳ සිටි ඔහුගේ දණිස් ඉදිමී ඇත. කකුල් වැහැරීගොස්ය. ඔහුට ඇවිදීමට නොහැකිය. දණිස්සේ වූ ආතරයිටීස් තතවයක් නිසා ඇවිදීමට නොහැකිව එක්තැන් වී සිටිය නිසා නිවසේ තනි කර මොහුව දමා යන්නට ඇත. සිය බඩු මුට්ටු හා දුවා දරැවන් සමඟ පිටවී ගිය පවුලකට බරක් වූ මොහු රැගෙන යාමට අපහසු හෙයින් දමා යන්නට ඇත. නැතහොත් ඔහු විසින් මා දමායන්නැයි කැමැත්තෙන් මරණය භාර ගන්නට ඇත.

අනෙක් පුද්ගලයා මිය ගොස්ය. වයස 50ක 60ක පෙනුමක් ඇති ඔහු නිරෝගී ශරීරයකින් යුක්ත වූයේය. ට්‍රැක්ටරයේ පැමිණි සෙබලා මාගේ කුතුහලය බිඳිමින් සිදුවූදේ පැහැදුවේය.

"සර්, අපි ඉස්සරහට ක්ලියර් කරං යනකොට ⁣මේ දෙන්නා ගේක හිටියේ. මේ මැරිච්ච කෙනාට ඇවිදින්න පුලුවන්. එය දුවලා ගිහිං ලිඳට පැන්නා. අපි ගොඩ ගන්නකොට මැරිලා. මේ සීයා ගෙදර හිටියේ, ඇවිදගන්න බෑ. හැබැයි එයා ලඟ ග්‍රේනේඩ්(අත් බෝම්බ) කිපයක් තිබ්බා. ඒත් අපිට ගැහැව්වේ නෑ".

මට විස්තරය ප්‍රමාණවත්ය. මිය ගිය පුද්ගලයා ඉටිකොලයේ ඔතා අයින් කෙරැවේය. කොටි සීයාව කිහිප දෙනෙක් එකතුව උස්සා ගෙනවිත් අප සිටි නිවසට බෑවේය.

මේ පුද්ගලයා දැක්මෙන් ප්‍රියමනාපය. මුහුණේ බියක් නැත. එහි වූයේ හිනාවකි. ඔහුට කතා කල හැක්කේය. එහෙත් අපිට දෙමල බැරිය. ඔහුට සිංහල බැරිය. හඬ රහිත මාධ්‍යයෙන් අප අදහස් හුවමාරැ කරගත්තේය.

"බොයිස්, සීයාව නාවලා සුද්ද කරලා ගන්න ඉක්මනට", සෙබලුන් දෙතුන් දෙනෙකු අහල වූ ලිඳෙන් සීයාට ඉතා අගනා නෑමක් ලබා දුන්නේය. දත් මැද්දේය. පිරිසිදු වූ සීයා තුවායක් ඇඳ උස්සන් ඇවිත් පුටුවක වාඩි කලේ ගසක් යට සෙවණේය. කවුරැත් නොකියාම තව සෙබලෙක් තේ හදන් ඇවිත් ඔහුට සංග්‍රහ කලේය. තවෙකෙක් කොහෙන් හෝ සඟවා තිබූ බිස්කට් වගයක් දුන්නේය. සීයා සනීපෙන් ඒ සියල්ල වින්දේය. ඔහුට කලෙකින් ලැබුන හොඳම සැලකිල්ල මෙය වූවාට මට කිසිඳු සැකයක් නැත්තේය.

දැන් ඔහුට ඇඳීමට යමක් දිය යුතුය. කවුරැන් හෝ විසින් සරමක් ගෙනැවිත් දුන්නේය. යුධ හමුදාව තුල සේවයේ සිටියදී සරම් ඇඳීම තහනම් වූවත් හදිසියකට මඟතොටදී අවශ්‍ය වේයැයි සරමක් ඔහු ලඟ තබා ගන්නට ඇත්තේ පුරැද්දට වාගේ වියයුතුය. අඩු උඩු කය වැස්මක් පමණි. මාගේ බෑගය අවුස්සා දීමට යමක් බැලුවෙමි. ගෙනා සියල්ල ඇඳලාය. ඉතිරිව ඇත්තේ ගෙදර යන විට අඳින්නට ඉතිරි කර ගත් සුදු රවුම් කර ටී ෂර්ටයක් පමණි. එය විශාඛා විසින් මීට පෙර මා වෙත දුන් තෑග්ගක් වූයේය. " මම මේක දෙනවා. ඇය සතුටුවෙයි" දෙවරක් නොසිතූ මම එය ගෙනැවිත් සීයාට ඇන්දුවේය. සීයා ඒ කිසිවක් නොදත්තේය. එහෙත් ඔහුගේ ගතද සිතද මුහුණද සතුටින් පිරීලාය. ඒ සතුට අප සියල්ලෝද සතුටින් විඳගත්තෝය.

සංඥා බාසාවෙන් මේ ප්‍රදේශයට කියන්නේ කුමක්දැයි මා ඔහුගෙන් විමසුවෙමි. " පූනකැරි" සීයා කට ඇර උත්තර දුන්නේය. "හහ් හහ් හහ්" අප සියල්ලෝ බඩ අල්ලං සිනා වුයේමු. පුනරීන් යැයි අප කීවත් දෙමල ජාතිකයන් එය හඳුන්වන්නේ පූනකැරි ලෙස බව අප දැනගත්තේ පසුවය.

මිය ගිය ඔහුගේ සඟයාද කොටි සීයාද නැවත ට්‍රැක්ටරයට පැටවූ අප ඔවුනට සමු දුන්නේ පසු පසට වූ සේනාංක මූලස්ථානයට යෑමටය. මිය ගිය සගයා ලිඳට පනින්නට ඇත්තේ ඔවුන්ට සිංහල හමුදාව වද දී මරණවායි සිතූ නිසා විය යුතුය. මේ මරණයට ඔබ්බෙන් වූ මහල්ලා අත අත් බොම්බ තබා ගියේ සිංහල හමුදාවට හසුවනවාට වඩා මරාගෙන මැරීම හොඳයැයි සිතු නිසා විය යුතුය. එහෙත් සීයා සත්‍ය අත්දැකීමට ජීවත් වූයේය. අහෝ ඔහුගේ මිතුරා වෛරයෙන් පරාජිතව මිය යන්නට ඇත. එහෙත් මේ මහල්ලා ජීවිතයේ අවසාන කාලය හොඳින් ගෙවන්නට පින්කර තිබුනේය. යුද්ධයෙන් මිදී මෙපිට දැකීමට ඔහු වාසානාවන්ත වූයේය. ට්‍රැක්ටරය නොපෙනී යන කල් අප ඒ දෙසම බලා උන්නෙමු.

පැතුම් කර්නර් ගේ "යුදබිමක වෙද මහිම" කෘතියෙන්