පුතාට අවුුරුදු දහ අට වෙද්දී එයා ගෙදරට ගෑනු ළමයෙක්ව එක්කගෙන ආවා- මාස ගානක් තිස්සේ පුතා හිරේ

අම්මා කෙනෙකුගේ සෙනෙහස කොයි තරම්ද කියලා කියා නිම කරන්න බැහැ.ඒ තරමටම අම්මා කෙනෙකුගේ ආදරය අමිලයි.
තමන්ගේ දරුවෙකු මොන වරද කළත් මොන් තරම් ප්‍රශ්න ආවත් කවමදාවත් ඒ අම්මා දරුවව ඈත් කරන්නේ නෑ.
ඒ විදිහට ජීවිතේ වැරදි පාරේ ගිහින් නාස්ති වුණු තරුණයෙකු ගැනයි මේ හෙළිදරව්ව.

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන්
දෙනාගෙන් වැඩිමලා තමයි සුපුන් පුතා. අපි හරි ලස්සනට ජීවත් වුණ පවුලක්.ඒත් ඒ ලස්සන පවුලට වුණේ මොකක්ද කියලා මට තාමත් හිතාගන්න බැහැ.

ඇයි ඒ?
“සුපුන් ලැබෙන කොට මම හිටියේ පිටරට.
මගේ මහත්තයයි මමයි දෙන්නම පිටරට සමාගමක සේවය කළා.
අපි විවාහ වුණ අලුතම තමයි මැදපෙරදිග රැකියාවකට ගියේ. අපි දෙන්නා හරිම සතුටෙන් හිටියේ.
ඒත් නන්නාඳුනන රටකදී මට දරුවෙක් ලැබෙන්න ආවම හැම වෙලේම මට අම්මව මතක් වුණා. ලංකාවේ කෑම බීම මතක් වුණා.
ඒ නිසා මම මංජුලත් එක්ක ලංකාවට ආවා. මංජුල අවුරුද්දක නිවාඩුවක් අරගෙන තමයි මාත් එක්ක ලංකාවට ආවේ. පුතා ලැබිලා මාස කිහිපයකට පස්සේ එයා රට ගියා.”

මං මාස හයෙන් හයට ඔයාවයි පුතයි බලන්න එන්නම්”
“එයා රට ගියේ මට එහෙම කියලා. මං මගේ පවුලේ එකම ගෑනු ළමයා.
මට හිටියේ අයියලා දෙන්නෙක්. ඒ දෙන්නගෙන් එක් කෙනෙක් විවාහ වෙලා දුරක පදිංචි වෙලා හිටියේ. පොඩි අයියා කවදාවත් විවාහ වුණේ නැහැ.
ඒ එයා යාළු වෙච්ච ගෑනු ළමයා අකාලයේ මැරුණ නිසා. කෙහොම හරි අයියා හොඳ රස්සාවක් කෙරුවා. අයියා මගේ දරුවටත් හරි ආදරෙයි. අම්මයි, අයියයි, මමයි, තාත්තයි මගේ දරු පැටියයි තමයි ගෙදර හිටියේ.”

මංජුල කිව්ව විදිහටම ලංකාවට ආවද?
“අපොයි ඔව්. එයා මාස හයෙන් හයට දෙපාරක් ලංකාවට ආවා.
ඒ වෙනකොට පුතාට අවුරුදු දෙකක් විතර ඇති. පුතා එයාගේ තාත්තට වඩා පොඩි අයියට තමයි බැඳිලා හිටියේ.
මේ අතර මට තවත් දරුවෙක් ලැබෙන්න ආවා. ඒත් මට ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්න බව මම මංජුලට කිව්වම මංජුල මට කිව්වේ එයා තව දරුවෙක්ට අකැමැතියි කියලා.
එත් මට ඕනෑ වුණේ ඒ දරුවව හදාගන්න. නමුත් මංජුල කිව්වෙම දරුවා නැති කරන්න කියලා.
අම්මා කෙනෙක් වෙච්ච මම කොහොමද කුසේ ඉන්න දරුවව නැතිකර ගන්නේ. මම දරුවා හදාගන්නවා කියලා ස්ථිර වශයෙන්ම තීරණයකට ආවා. මං ඒ බව මංජුලට කිව්වා.”

මංජුල කැමති වුණාද?
“නැහැ. එයා කොහොමත්ම කැමති වුණේ නැහැ. ඒ වගේම මං මගේ තීරණය වෙනස් කෙරුවෙත් නැහැ.
දරුවා නැති කරන්න කියන්නේ ඇයි කියලාවත් මං දැනගෙන හිටියේ නැහැ. මට දෙවැනි වතාවට ලැබුණේ දුවෙක්.
ඒත් ඒ දරුවා බලන්න මංජුල ලංකාවට ආවේ නැහැ. මම එයා ගැන පුළුවන් තරම් තොරතුරු හෙව්වා. තිබුණ දුරකථන අංකවලට කතා කෙරුවා.
ඒත් ඒ හැම තැනකින්ම කිව්වේ මංජුල නැහැ – වැඩ නැහැ කියලා. මම මාස ගණන් ඇඬුවා. අන්තිමට මං හිත හදා ගත්තා. දරුවෝ ගැන මට වගකීමක් තියෙන නිසා මං දරුවෝ දෙන්නා හදාගෙන ඉන්න තීරණය කෙරුවා.”

මංජුලගේ දෙමව්පියෝ මොකද කිව්වේ?
“මංජුලගේ අම්මයි, අක්කයි විතරයි ඉන්නේ. ඒගොල්ලෝ මුලින් මුලින් අපට කිව්වේ මංජුල ගැන මුකුත් දන්නේ නැහැ කියලා. ඒත් අපිට ටික කලක් යනකොට තේරුණා ඒගොල්ලෝ මොනවා හරි දන්නවා කියලා.
මංජුල මාව බැන්දේ එයාගේ ගෙදරට හිතුවක්කාර වෙලා. කොහොම වුණත් පස්සේ පවුලේ අය අපිත් එක්ක හොඳ වුණා.
මංජුල මාව අත්හැරිය බව මට තේරුණේ මේ හැමදේම වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ එයගේ ගෙදර ගියාම. මංජුලගේ අම්මටම කියවුණා මංජුල විවාහ වෙලා දැන් වෙන රටක පදිංචි වෙලා ඉන්නවා කියලා.”

ඔයාගෙන් දික්කසාද නොවී?
“අපේ රටේ ඕන තරම් අය දික්කසාද නොවී බඳින්නේ. මංජුලත් ඒ වගේ බැඳලා. මං හිත හදාගත්තා මංජුල මගේ වරදක් නැතිවයි මාව අත හැරියේ, මගේ දරුවෝ දෙන්න අතහැරියේ කියලා.”

දරුවෝ තාත්තව හෙව්වේ නැද්ද?
“පුතා පුංචි කාලේ ඉඳලම පොඩි අයියට තාත්තේ කියලා කියන්න පුරුදු වුණා.
එයාලට ඒ පුරුද්ද අත හරින්න බැරි වුණා. පොඩි අයියා තමයි මට මගේ දරුවෝ දෙන්නට අම්මට හැමෝටම බැලුවේ.
දරුවෝ ඉගෙන ගත්තා. දුව ලස්සන ගෑනු ළමයෙක්. එයාට ඒ වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන්. පුතා ටිකක් හිතුවක්කාරයි.”

එහෙම කියන්නේ ඇයි?
“පුතා ටිකක් දඟකාරයි. අයියයි මමයි හැම වෙලේම පුතාව යහමඟට ගන්න බැලුවේ.
නමුත් මට ඒක කරගන්න බැරි වුණා. පුතා මුලින්ම කරපු වරද තමයි සිගරට් බීපු එක. ඒක දැනගත්ත දවසේ අයියා පුතාට බොහෝම කාරුණිකව අවවාද කෙරුවා.
ඒත් පුතා ඒකට සවන් දුන්නේ නැහැ. ඉන් පස්සේ එක දවසක් බියර් බීලා ගෙදර ආවා.
එදා මම පුතාට ගැහුවා. ඒත් එයා ඒ පුරුද්ද දිගටම කරගෙන ගියා. එයාගේ ඉස්කෝලේ ගමන ඉබේම නතර වුණා.”

ඉන් පස්සේ?
“ඇත්තම කිව්වොත් පුතා රස්තියාදුකාරයෙක් ගානට වැටුණා. මගේ කොල්ලා හරි ලස්සනයි. එයා එක්ක බොහොම ඉක්මනට ගෑනු ළමයි යාළු වෙනවා.
පුතාට අවුුරුදු දහ අට වෙද්දී එයා ගෙදරට ගෑනු ළමයෙක්ව එක්කගෙන ආවා.
නමුත් මං එදාම ඒ ගෑනු ළමයව එයාගේ ගෙදර එක්කගෙන ගියා. මා එක්ක පොඩි අයියත් ගියා.
ඒත් ඒ දෙමවුපියෝ ආයෙම ඒ ගෑනු ළමයා බාරගන්න කැමති වුණේ නෑ. ඒගොල්ලෝ පොලීසි ගියා.
ගෑනු ළමයටත් වයස අවුරුදු දහ අටයි. අයියා මුල්වෙලා ගෑනු ළමයවයි පුතාවයි බැන්දුවා.
අපි කිව්වා පුතාට දැන් ඉතිං රස්සාවක් කරන්න කියලා. පුතා රස්සාවක් හොයා ගන්න තුරු අයියා තමයි ඒ පවුලටත් බැලුවේ.
මං හිතුවා විවාහ වුණාට පස්සේ පුතා එයගේ ජීවිතය පිළිවෙළක් කරගනීවි කියලා. පුතා එහෙම හැදෙන ළමයෙක් නෙමෙයි.
අවුරුද්දක් දෙකක් ගෙවිලා ගියා. හැමදාම පුතයි ලේලියි අතර ආරාවුල්. අපිට සිද්ධ වුණේ අපේ ගෙදරම හිරකරයෝ වගේ ජීවත් වෙන්න.
අන්තිමට පුතා බැඳපු දුව වෙන කෙනෙක් එක්ක යන්න ගියා. ඉන් පස්සේ පුතා පිස්සෙක් වගේ වුණා.
එයා කුඩු ගහන්න පුරුදු වුණා. මේ වෙනකොට දුව කැම්පස් තේරිලා හිටියේ. අයියා මුල්වෙලා දුවව පිටරටකට යැව්වා වැඩිදුර ඉගෙන ගන්න.
එයාටත් මෙහෙ එපා වෙලා තියෙන්න ඇති. එයා ඒ ගියා ගියාමයි ලංකාවට ආවේ නැහැ.
ඒත් අපිට නිතර කතා කළා. එයා ඉගෙන ගන්නවට අමතරව රස්සාවකුත් කරනවා කිව්වා. මේ ළඟදී දුව පොඩි අයියව එහෙට ගෙන්න ගත්තා. දැන් දුව රස්සාවක් කරනවා. මටත් එන්න කිව්වා. මම ගියේ නැහැ. අම්මවයි පුතාවයි දාලා යන්න බැරි නිසා.”

හිරගෙදර ආවේ මොකටද?
“දැන් මගේ පුතා ඉන්නේ හිරේ. මාස ගානක් තිස්සේ පුතා හිරේ. අයියා ලංකාවට ආවා. දුව කසාද බැඳලා හොඳ ජීවිතයක් ගෙවන බව අයියා මට කිව්වා.
මට දුව ගැන සතුටුයි. ඒත් පුතා ගැන සතුටු වෙන්න බැහැ. එයා කුඩුවලට ඇබ්බැහි වුණා. දැන් කුඩු ගහන්නේ නැහැ. ඒ හිරේ ඉන්න නිසා. ඒත් එයා එක එක දේවල් හොරකම් කරන්න ගත්තා. ගෑනු අයගේ මාල කඩන්න ගත්තා. පුතා කවදා නිදහස් වෙයි ද දන්නේ නැහැ.
ඒත් මගේ බඩින් උපන් දරුවා නිසා මම එයාව බලන්න හිර ගෙදරට එනවා. වෙලාවකට මට හිතෙනවා පුතා මැරුණ නම් ඉවරයි කියලා.
එයාගේ තාත්තා එයාලව දාලා ගියාම මං හුඟක් මානසිකව විඳෙව්වා. ඒ වේදනාවත් එක්ක තමයි මං දරුවෝ හදා ගත්තේ.
මම විතරක් නෙමෙයි මගේ අයියා, අම්මා මේ දරුවා නිසා විඳවනවා.
මං දන්නවා පුතා කවදාවත් හොඳ මඟ යන්නේ නැති බව. අම්ම කෙනෙක් මෙහෙම කියන්න හොඳ නැහැ. එයා හැමදාම හිරගෙදර ඉන්නවා නම් මං කැමතියි. එයා එලියට ආවාම වෙන හානිය ඊට වැඩියි. එයා නිසා කාන්තාවෝ කී දෙනෙක් කරදරේ වැටිලා තියෙනවද? මම ඒ හැම දෙයක්ම දන්නවා. අම්මා කෙනෙක් හැටියට මං මේ දේවල් උහුලගෙන ඉන්නේ හරි අමාරුවෙන්.”
සියල්ල කියා අවසානයේ ඒ අම්මා ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ඉන් පසු ඇය යළිත් සිරකරුවන් බැලීමේ පෝලිමට එක් වූවාය. මේ සමාජයේ ජීවත්වන තවත් එක් අම්මා කෙනෙකුගේ කතාවකි.