රඟපාපු පළමු ටෙලි නාට්‍යයෙන්ම මට රඟපාන්න බැරි බව තේරුණා

පසුගියදා ඔබ අලුත්ම ගීතයක් රසික රසිකාවියන් වෙත තිළිණ කළා. ඒ ගැන අපි මුලින්ම කතා කරමු?

මගේ නොවනා ඔය ඇස් ආයේ 
දැක ගන්නත් දැන් තහනම්නේ 
හමු නොවනා අපි මතු ආයේ 
අතීතයේම හිත ඇඬුවාවේ...... 
මතකය ගේනා රිදුමක් පාසා 
දරාගන්නම් ඉවසා 
ඉකිබිඳ යදිනා සෙනෙහස 
උතුරා ඔබත් ගියා දාලා. 

රාජාංගනයේ හාමුදුරුවෝ ලියපු මේ ගීතයට ලස්සන
තනුවක් යොදලා සංගීතවත් කළේ සඳරුවන් ජයසිංහයි. මේ ගීතය මීට ටික දිනකට කලින් තමයි එළිදැක්වූයේ. අන්තර්ජාලයේ හා විද්‍යුත් නාලිකාවල දැන් මේ ගීතය ප්‍රචාරය වෙනවා.

ඔබ දැන් විදෙස් ගායන තරගයක විනිසුරුවරයකු විදියට කටයුතු කරන්න සැරසෙන බවක් ආරංචියි? 

ඔව්. ඔක්තෝබර් 14 ප්‍රංශයේ පැවැත්වෙන ආධුනික ගායනා තරගයකට විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන්න මටත් ආරාධනාවක් ලැබුණා. ප්‍රංශ කාන්තා සංගමයේ මරණාධාර ඒකකය මගිනුයි මෙය සංවිධානය කරන්නේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම ගායනා තරගයේදී ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝත් ගී ගයනවා.

ප්‍රංශය කියන්නේ ඔබේ ජීවිතයේ තවත් එක් නවාතැන්‍පොළක් නේද?

ඔව්. මම ප්‍රංශයට ගියේ අවුරුදු 16දී. ජීවිතේ වැඩිම කාලයක් ගත වුණෙත් ඒ රටේ. ආයෙම ලංකාවට ඇවිල්ලා තමයි “මං අහන්නෙ නම් නෑ රත්තරනේ” කියන ගීතය ගායනා කළේ.

මේ දවස්වල ඔබ මොකද කරන්නේ? 

අවුරුදු කා‍ලේ ලංකාවේ ඉන්න කොට ප්‍රසංග වේදිකාවෙන් වැඩිපුර ආරාධනා ලැබෙනවා. ඒ කියන්නේ දැන් ටික ටික කාර්ය බහුල වෙන කා‍ලේ.

ගායනයට ඇවිත් ඉන් පස්සේ නළුකමට පිවිසි අයත් ඉන්නවා. ලක්ෂ්මනුත් ඒ අතර ඉන්න බව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ? 

ඒක නම් දැන ගත යුතු දෙයක් නමෛයි. මොකද මගේ පළමු රංගනයේ මංගල දර්ශනය දාම තමයි මගේ රඟපෑම් ජීවිතය නතර වුණෙත්.

ඒ කියන්නේ? 

මම රඟ පෑ පළමු සහ අවසන් ටෙලි නාට්‍ය තමයි. “සසල සිත” කියන ඒකාංගික ටෙලි නාට්‍යය. ඒක අධ්‍යක්ෂණය කළේ මංජුල සේනාරත්න. ප්‍රංශයේදී තමයි ටෙලි නාට්‍ය රූපගත කළේ. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මම. හැබැයි. මටම තේරුණා මට රඟපාන්න බැරි බව (හිනා).

ඊට පස්සේ රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද? 

ලංකාවට ඇවිත් “මං අහන්නේ නම් නෑ රත්තරනේ” ගීතය ගයපු කා‍ලේ ටෙලි නාට්‍යය කීපයකට ආරාධනා ලැබුණා. ඒත් ඒ වෙද්දී පළමු ගීතයෙන් මට ලොකු ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබෙමිනුයි තිබුණේ. රඟපාන්න ගිහින් ඒ ප්‍රසාදය නැති කරගන්න වෙයි කියලා හිතුණ හින්දා මම රඟපාන්න ලැබුණු හැම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කළා. අනිත් එක මට රඟපාන්නත් බැරිබව දැනගෙන හිටියානේ (සිනා).

එදා වගේම අදත් ඔබට රසිකාවියන්ගේ ප්‍රේමණීය ප්‍රතිචාර ඇති? කැමතිද ඒවායින් අමතක නොවන ටිකක් මතක් කරන්න? 

මම කොළඹ එක්තරා හෝටලයක ගයද්දී ඒ හෝටලයට ඇවිත් හිටපු විදෙස් ජාතික කාන්තාවක් මගේ ළඟට ඇවිල්ලා මට කතා කළා. ඇය මාව ගොඩක් අගය කළා. දැනටත් අපි හොඳ යාළුවෝ. ඒ හමුවීම ඇයට කොයි තරම් ලොකු බලපෑමක් කළාද කියලා කියනවා නම් ඇය දැන් සිංහල ගීත අහන රසිකාවියක් බවට පත් වෙලා. මගේ ගීත විතරක් නමෛයි වෙනත් ගායක ගායිකාවන්ගේ ගීතත් ඇය දැන් අහනවා.

ඒ මිත්‍රශීලි ප්‍රතිචාර ප්‍රේම ප්‍රතිචාර දක්වා දුර දිග ගිහින් නැද්ද? 

(හිනැහී) මට ඇය රසිකාවියක්. මිතුරියක්. ඇගේ ප්‍රතිචාර ඔයා ඔය කියන තැන දක්වා දුර ගියොත් ඊළඟ ආටිකල් එකේදී ඒ ගැන කියන්නම්.

ආරියවංශ කුලතිලක