"මිනිහෙක්‌ හදන්නත් මිනිහෙකුට වරද්දන්නත් ආදරයට පුළුවන්... ලෝකෙට පෙන්න සම්බන්ධතා තිබිලා වැඩක් නැහැ.."

පුංචි තිරයට අහිංසකයෙක් වගේම දඩබ්බරයෙක් වුණු ජනිත් වික්‍රමගේ ආදරේ ගැන පුවත්පතක් එක්ක කතා කර තිබුණා. කෝඩුකාර ආදරේ ජිවිතේට දැනුණේ කොහොමද කියලයි ඔහු සදහන් කර තිබුණේ. මේ ඔහුගේ ආදරේ ගැන තොරතුරුයි

ජනිත් ආදර හිත අවදිවෙන පළමු මතකය
මගේ හිත ආදරයකට ආකර්ෂණය වෙන්නේ වයස අවුරුදු පහළොවක්‌ විතර වෙද්දී තමයි. මගේ පාසලේ ගැහැනු ළමයි නොහිටියත් දහම් පාසලේදී, අමතර
පන්තිවලදී ගැහැනු ළමයි හමුවුණා. ඔවුන් අතරින් යුවතියන් කෙරෙහි තමයි මට ආදර හිතක්‌ ඇති වුණේ. එය කාලයක්‌ යනතුරු ඒක පාර්ශ්වීය ප්‍රේමයක්‌. නමුත් ඇය දැනගෙන හිටියා මම ඇයට ආදරය කරන වග.

ඒ ආදරය, ඇය ලියපු පෙම්පතක මතකයත් ඒ ආදරය තරමටම සොඳුරු වෙයි නේද?
පෙම් හසුන්වල අවසාන අවධිය වෙද්දී තමයි අපි ආදරය කරන වයස එළඹෙන්නේ. පෙම් හසුන් අපි අතර හුවමාරු වුණා. හැබැයි ඒ ලිපි ආදර හසුන්වලට වඩා ආදරය ගැන ලියවුන සටහන් කිව්වොත් හරි.

කුඩා වියේ ඉඳන්ම ජනප්‍රිය පවුලක දරුවෙක්‌ වූ ජනිත්ට ඒ ජනප්‍රියත්වය ආදර කතාවලදීත් පිටුබල සැපයුවාද?
කුඩා අවධියේ සිටම මට වැඩි ආදරයක්‌ අවධානයක්‌ අවට පරිසරයෙන් තිබුණා. එය මගේ පොඩි කාලෙ ඉඳන්ම මට දැනුන දෙයක්‌. මගෙත් එක්‌ක කෙනෙක්‌ යාළු වුණත් මගේ පවුලේ තිබුණ ඒ පසුබිම දැනගෙන හිටියා. නමුත් ඒ දෙය ආදර සබඳතාවකදී ඉදිරියට ආවෙවත් එය මැකී යන්න හේතුවක්‌ වුණෙත් නැහැ.

ජනිත් හෙවූ ආදරයේ හැඩරුව මොනවගේද?
අපි හැමෝම ආදරයට සංවේදියි. තමන්ගේ පෙම්වතිය තමුන් වෙනුවෙන්ම ඉන්න ඕන කියන මතයේ තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. මමත් ඒ සිතුවිල්ලෙහිම තමා ඉන්නේ. ඒ වගේම මම හැමදාමත් විශ්වාස කරනවා තමන්ගේ සහකාරිය තමන්ගේ අම්මා වගේ ආදරයෙන් කරුණාවෙන් මාව බලාගන්න කෙනක්‌ විය යුතුයි කියලා. නමුත් ආදරය ගැන ඉස්‌සර හිතුවට අද වඩා විවෘත මනසකින් මම බලන්න හුරුවෙලා ඉන්නවා. තමන්ගේ ගෙදරටම වෙලා ඉන්න ගැහැනු ළමයි හොඳයි කියල මතයක්‌නෙ ඉස්‌සර තිබුණෙ. අද එහෙම අය අඩුයි. එහෙම හිටිය කියලා ගැහැනු ළමයෙක්‌ හොඳයි කියල කියන්නත් බැහැ. අද වෙද්දී සබඳතාවකදී වඩා වැදගත් වෙන්නේ අවංකකම කියලයි මම හිතන්නේ.

ජීවිතය රිදවා පලාගිය ආදර මතක දෙස අද ඔබ බලන්නේ ආදරයෙන්ද? වේදනාවෙන්ද?
හැමෝටම ආදරයේ හොඳත් තියෙනවා, නරකත් ලැබෙනවා. මම විශ්වාස කරන්නේ ලෝකයේ තියෙන සුන්දරම දේ සහ භයානකම දේ කියන්නෙ ආදරයයි. මිනිහෙක්‌ හදන්නත් මිනිහෙකුට වරද්දන්නත් ආදරයට පුළුවන්. ඒ හැම මතකයක්‌ම පාඩමක්‌ ඉගෙන ගන්නවා. ලෝකෙට පේන්න සබඳතා තියාගෙන ඒක ෆෙස්‌බුක්‌වල දාගෙන ප්‍රසිද්ධ කරන එක නෙවෙයි ආදරය කියන්නේ.

අද ඔබ ළඟ රැඳුන ආදරය?
හැම තිස්‌සේම අපිට හැමදෙයක්‌ම කියන්න බැහැ. මම මගේ සබඳතාවක්‌ තිබුණත් ඒක ප්‍රසිද්ධියේ නොකියන කෙනෙක්‌. මොකක්‌ හරි දෙයක්‌ හරියට තහවුරු වෙනතුරු ඒ ගැන ලෝකයා දැනගත යුතු නැතැයි කියන එකයි මගේ මතය. දෙදෙනෙක්‌ සබඳතාවක්‌ ගොඩනඟාගෙන යද්දී තමයි වටහා ගන්න පුළුවන් වෙන්නේ. එකිනෙකාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. නොගැලපීම් දැනුනොත් ඒක තැනකදී ඒ සබඳතාවය නතර වෙන්නත් පුළුවන්. එහෙම ඒ සබඳතාවක්‌ ප්‍රසිද්ධියේ කියලා ඒක බිඳවැටුණොත් ඊට පස්‌සේ ලොකුවට ප්‍රසිද්ධ වෙනවා. ඒක දෙන්නටම හොඳ නැහැ. මම ආදරය කරන කෙනාටත් කියන්නේ ඒ සබඳතාව වැදගත් වෙන්නේ අපි දෙන්නාට විතරයි. ඒක ලෝකයාට දැනුම්දීගෙන පවත්වාගෙන යා යුතු දෙයක්‌ නොවන බවයි.

ආදර කතාවලදී ජනිත්ගේ දිවියට ඉතිරි කළ සැමරුම්?
එහෙම ලැබුණ දේවල් තියෙනවා. හුඟක්‌ වෙලාවට මගේ දිවියේ පෙර සිටි පෙම්වතියන් පවා ලැබුණ දේවල් විසි කරලා දාන්න බැරි බවක්‌ තියෙනවා.

ආදරය කරලා හැරගිය හිතකට පවා දෙන්න ආදරයක්‌ ඔබ ළඟ ඉතිරිවෙලා තියෙනවද?
මේ කාරණයේදී අපි තේරුම් ගන්න ඕන දෙයක්‌ තියෙනවා. සමහරු හිටපු පෙම්වතියට වෛර කරනවා කියලා කියනවනේ. මෙහෙමයි තමන්ගේ පෙම්වතිය ලොකු වරදක්‌ කරලා තමන් හැර ගියත් ඇයට වෛර කරනවා නම් කෙනෙක්‌ ඔහු ආදරය කරලා නැහැ. එතනදී අනිත් මනුස්‌සයාට නෙවෙයි තමන්ටයි ආදරය කරලා තියෙන්නේ. කෙනෙක්‌ට අපි ඇත්තට ආදරය කළා නම් වෛර කරන්න බැහැ. ඒ ඒ ආදර මතකය සදාකාලයටම මතකයේ රැඳී තියෙනවා.

තිරයේ ජනිත්ගේ පළමු පෙමවතිය වෙන්නේ?
ක්‍රිෂාන් අලංකි සංජය නිර්මාල්ගේ නාට්‍යයක තමයි අපි පෙම්වතුන් විදිහට රඟපෑවේ. ඉන් පසුව විවිධ අය පෙම්වතියන් ලෙස තිරයේදී හමුවෙලා තියෙනවා.

ජනිත්ගේ හිත නිළියක්‌ ළඟ ආදරයෙන් නතර වෙන්න ඉඩක්‌ තියෙනවද?
මගේ අම්මත් නිළියක්‌. කිසිම අවස්‌ථාවක නිළියක්‌ මගේ පෙම්වතිය හෝ බිරිය වෙන්න නුසුදුසු නෙවෙයි. නිළියකගේ ජීවිතය හැම වෙලාවටම සමාජයට විවෘතයි. ඇත්තටම එහෙම කෙනෙක්‌ සහකාරිය වෙනවා නම් හොඳයි. නමුත් ආදරයක්‌ පටන් අරන් ජීවිතයේ ඉදිරියට යන්න වැදගත් වෙන්නේ ඇය නිළියක්‌ද වෙනත් වෘත්තියක කෙනෙක්‌ද කියන එක නෙවෙයි. දෙදෙනාට එකිනෙකාගේ හැඟීම් තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්ද කියන එකයි.

ධම්මිකා සුරංජි පතිරණ