තෙව­රක්ම සම්මාන ලැබුවේ දුව රංග­න­යට දක්ෂ නිසයි

වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයෙහි දශක හතරක් පමණ නොනවත්වා රංගනයෙහි නිරතවන රංගන ශිල්පීන් සිටිනුයේ අතළොස්සකි. එම අතළොස්ස අතර ගාමිණී හෙට්ටිආරච්චි නමැති කලාකරුවා ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙයි

 ඔබ මේ දිනවල පුංචි තිරයෙන් ඈත් වෙලාද?

රංගනයෙන් ඈත් වෙන එක හිතන්නවත් බැහැ‍.ඒ
තරමටම රංගනය ජීවිතයට බද්ධ වෙලා. සුපුරුදු පරිදි ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රංගනයෙහි යෙදෙනවා. මේ දිනවල විකාශය කෙරෙන සිඳූ, සඳ පිනි වැස්ස, ටෙලි නාට්‍ය සහ රැජිණියෝ චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් චිත්‍රපටයක රූගත කිරීම් සඳහාත් සහභාගිවෙනවා.

ඔබේ දියණිය ප්‍රතිභා රංගනයෙන් ඉවත් වෙලාද?

ප්‍රතිභා මේ දිනවල රඟපාන්නේ ම නැති තරම්. ඒ ඇයගේ දරුවාට තවම අවුරුදු දෙකයි මාස අටක් වන නිසා. දුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සේවය කරනවා. මේ නිසා ඇය තරමක් කාර්ය බහුලයි. පුතා ටිකක් ලොකුවූ විට දුව නැවතත් රංගනයේ යෙදෙයි.

ඔබ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ප්‍රතිභාගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නේ?

ප්‍රතිභා පසුගිය වසරවල පැවැත්වූ සම්මාන උළෙල තුනකදීම සම්මාන ලැබුවා. දක්ෂ නැත්නම් එහෙම සම්මාන ලැබෙන්නෙ නැහැනේ. එයාගේ රංගනයේ වෙනස්ම ශෛලියක් දකින්න ලැබෙන්නේ. එයට රසිකයන් කැමැතියි. විශේෂයෙන්ම දුව නර්ථනය, ගීත ගායනය වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිධාරිනියක්.

මෙරට ටෙලි නාට්‍ය කලාවේ දශක හතරක පමණ කාලයක සිට ඔබ අඛණ්ඩව රංගනයෙහි යෙදෙනවා. ඒ අතර'දඩබිම' ටෙලිනාට්‍ය මෙරට සමස්ථ ටෙලිනාට්‍ය කලාවම වෙනස්ම මාවතකට යොමුකළ ටෙලි නාට්‍යයක්.මතකයිද ඒ අතීතය.

දඩබිම ටෙලිනාට්‍ය මගේ රංගන හැකියාව මනාවට පෙන්වීමට හැකි වූ ටෙලිනාට්‍යයක්. මයිකල් නැමැති මන්ද බුද්ධික පුද්ගලයකුගේ චරිතයක් එහි නිරූපණය කළේ. එම රංගනයට 1991 දි හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුණා. ඉන් පසුව

යශෝරාවය, සිහින පුරය, මිල්ලෑව වලව්ව, නිසල අරණ, පියපත් අරණ, උඩුගං බලා ආදි ටෙලි නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වුණා. චිත්‍රපට පහළොවක පමණ රඟපෑවා. 1985 සිට මෙරට වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන කලා මාධ්‍යයන් තුනෙහිම අඛණ්ඩව රංගනයෙහි නිරතවන රංගන ශිල්පියෙක් මම.

කලක් වේදිකාව ඔබේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණා. මේ දිනවල වේදිකා නාට්‍ය රංගනයෙහි නිරතවන්නේ නැද්ද?

වේදිකාව තමයි මගේ ජීවිතය. මගේ පාසල කොළඹ නාලන්දා විද්‍යාලය. එතනින් තමයි මගේ වේදිකා නාට්‍ය රඟපෑම ආරම්භවුණේ. සෝමලතා සුබසිංහ මහත්මිය අපේ පාසලේ ගුරුවරියක්. ඇයගේ මගපෙන්වීම මත වේදිකා නාට්‍ය රංගනයට යොමුවුණා. ඔය කාලයේදි ලයනල් වෙන්ට්ඩ් එකේ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රංගනය පිළිබඳව හැදෑරුවා. ඒ කාලයේ සෙක්කුව, විනිශ්චය, වෙඩික්කාරයා, දෑවැද්ද, ඇසල සඳ අවන්හල, සුපිරි සැණකෙළි, මී පුර වැසියෝ ඇතුළු වේදිකා නාට්‍ය 100 ක පමණ රඟපෑවා. 1995 බවලතා නාට්‍ය නිෂ්පාදනය කළා.මේ වනවිට ඔටුනු හොරා වේදිකා නාට්‍ය එක්ක රට වටේ යනවා.

ඔබ රංගනයෙහි යෙදෙන බොහෝ චරිත බොහොමත් තාත්විකයි. එතරම් තාත්වික රංගනයක නියැළෙන්න විශේෂ හැකියාවක් ලැබුණේ කොහොමද?

මම රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියකු ලෙස. එහිදී නිතරම අපිට මුණගැසෙන්නේ සාමාන්‍ය මිනිසුන්. එම මිනිසුන්ගේ ගති ලක්ෂණ මට හොඳට හුරුයි. එවැනි අත්දැකීම් තමයි මගේ රංගනය සාර්ථක කර ගැනීමට ඉවහල් කරගන්නේ.