කනත්තක මිහිදන් කරන මිනී පෙට්ටි නැවතත් මල් ශාලාවල විකිණෙනවාද?

මළ සිරුරක් මිහිදන් කළ පසු එදින රාත්‍රියේ හෝ ඊට ආසන්නතම දින රාත්‍රියක එම මළ සිරුර ගොඩගෙන එය එම වළෙහිම බහා පස් වලින් වසා දමා එම මිනී පෙට්ටිය රහසිගතවම මල් ශාලාවකට විකුණන පුද්ගලයන් පිළිබඳව තවමත් සමාජයේ කට කතා පැතිරෙමින් තිබේ.

මෙබඳු සිදුවීම් සිනමා කෘති ආදියෙන්ද ඉඳ හිට දක්නට ලැබේ. මගේ විශ්වාසයේ හැටියට මෙම කතා බහ
සමාජ කරළියට පැමිණෙනුයේ මීට දශක කිහිපයකට කලිනි. එහෙත් කියන්නන් කෙසේ කීවත් මෙවන් කතා වල ප්‍රායෝගික සත්‍යතාවයක් තිබිය හැකිද?

මිහිදන් කරන ලද මළ සිරුරක් නැවත මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය සහ අධීක්ෂණයකින් තොරව නැවත ගොඩගැනීමට කිසිවෙකුටත් නීත්‍යානුකූල බලයක් නොමැත. එසේ ගොඩගනු ලබන තැනැත්තා අධිකරණය හමුවට පත් කිරීමට පොලිසියට බලය තිබේ. ඒ අනුව එසේ ගොඩ ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. දෙවැන්න මිහිදන් කළ මළ සිරුරක් නැවත ගොඩ ගැනීම කිසිසේත්ම ප්‍රසන්න දායක අත්දැකීමක් ද නොවේ. තුන්වන කරුණ අමනුෂ්‍යයන් පිළිබඳව සමාජය පුරා පැතිර ඇති විශ්වාස මත අප සමාජයේ බොහෝ දෙනෙක් එවන් කටයුත්තකට යොමුවීමට මැළි බවක් දක්වති. ඒ සියළුම ප්‍රශ්න ප‍සෙක තිබියදී මෙලෙස මිහිදන් කළ මිනී පෙට්ටියක් නැවත ගොඩ ගැනීම පැහැදිළිවම සොරකම් ගණයට අයත්වන්නක් නිසා මෙය දවාලක ප්‍රසිද්ධියේ කිරීමට තබා සිතීමටවත් නොහැක. ඒ අනුව මෙය කිසිවෙකුගේත් ඇසට නොපෙනෙන සේ රාත්‍රී කාලයක රහසිගතවම කළ යුතුය. යම් හෙයකින් එසේ මිහිදන් කළ මළ සිරුරක් ගොඩගෙන එම මළ සිරුර එම වළෙහිම දමා මිනී පෙට්ටිය පැහැරගනු ලැබුවද එය නැවත කරපිටින් මල්ශාලාවකට ගෙනයා නොහැක. එසේ ගෙනයාම සඳහා වාහනයක් වැනි දෙයක්ද අවශ්‍යම වෙයි. ඒ හැරුණුකොට එවැනි දෙයක් මල්ශාලාවකට ගෙනයාමද අතිශය රහසිගත ලෙස කළ යුතුය. මේ සියළු කරුණු සලකා බලන විට ඒ සඳහා දැරිය යුතු අවදානම ශ්‍රමය සහ කාලය අනුව එම කටයුත්තක් සඳහා තක්සේරු කළ හැකි මුදල කොපමණ දැයි ඔබම සිතා බැලිය යුතුය.

මෙකී සියළු අවදානම් සහ තත්ත්වයන්, කාලය, ශ්‍රමය වැය කොට කිසියම් කෙනෙකු ගොඩගත් මිනී පෙට්ටියක් තවත් මුදලක් ද වැය කොට මල් ශාලාවකට ගෙන ගිය හොත් ඔහුට එම මල්ශාලා හිමියාගෙන් කොපමණ මුදලක් ලබාගත හැකිද? සැබැවින්ම එහිදී එවන් නීති විරෝධී පහත් ක්‍රියාවක් හෙවත් සොරකම කළ මිනී පෙට්ටියක් නැවත මිලදී ගැනීමට වඩා තමන්ගේ නිති සැපයුම් කරුවන්ගෙන්ම අලුත් මිනී පෙට්ටි ලබා ගැනීම මල්ශාලා හිමියන්ට දහස් ගුණයකින් වාසි සහගත වනු ඇත.. තවද එලෙස කනත්තකින් හොර රහසින් පිටමංකරන මිනී පෙට්ටි පස්සාදො‍රින් මල්ශාලාවට රැගෙන එන බව සැලවීමෙන් එම මල්ශාලාවට ඇතිවිය හැකි අපකීර්තිය කොතෙක් ද? ඇතැම් විට එවන්නක් දැනගන්නා මිය ගිය තැනැත්තාගේ ඥාතීන්ගෙන් සහ සෙසු ජනතාවගෙන් ඊට ප්‍රහාර එල්ලවීමට ද පුළුවන. එසේ නොමැති වුවද හොර බඩු ළඟ තබා ගැනීමේ වරදට එම මල්ශාලා හිමියාට ද පොලිසි උසාවි ගාණේ යාමට සිදුවීම වැළැක්විය නොහැක. අනෙක එවන් පුවතක් වාර්තා වුවහොත් එය ජනමාධ්‍යකරුවන්ටද කදිම ‘කටගැස්මක්’ වනු ඇත.

අවමංගල සේවාවක් සඳහා ඇතැම්විටෙක ලක්‍ෂ ගණනින් ගාස්තු අයකරනුයේ එහි සමස්ත කටයුතු සහ සංවිධාන සැලැස්ම උදෙසාය. අවමගල්‍ය අධ්‍යක්ෂණය (Funeral Undertaking) යනු එම සමස්ත ක්‍රියාවලියයි. මිනී පෙට්ටියේ ඇති ද්‍රව්‍යමය වටිනාකම එම සමස්ත ගාස්තුවෙන් ඉතා සුළු කොටසක් පමණි. එමෙන්ම අපරටෙහි නිශ්පාදනය කෙරෙන මිනී පෙට්ටි වලින් 90% කටත් වඩා නිමවා ඇත්තේ ඇල්බීසියා නම් මෘදු දැවයෙනි. ඉන් අදහස් වන්නේ ඊට වඩා වටිනා දැවයෙන් නිපදවන මිනී පෙට්ටි නොමැති බවක් නොවේ. ගැඹුරු කැටයම් සහිත වටිනා දැවයෙන් තැනූ මිනී පෙට්ටිද සීමිතව නිශ්පාදනය කෙරේ. ඒ කෙසේ හෝ සියළු මිනී පෙට්ටි සඳහා එක් එක් දැවයන්ට ආවේනික වර්ණ ගන්වා පොලිෂ් කළ පසු බාහිර පෙනුමින් එය තනන ලද දැවය යමෙකුට හඳුනාගැනීමට නොහැකි වේ. ඒ කවර මිනී පෙට්ටියක් වුවද සුවිසල් වටිනාකමකින් යුතු නොවනුයේ ඒ සඳහා ඉතා ඝණ දැව භාවිතා නොකරන බැවිනි. ඒ අනුව එවන් ඇල්බීසියා නොවන දැව‍යකින් තැනූ මිනී පෙට්ටියක් වුව නැවත ගොඩගෙන මල්ශාලාවකට දී කීයක් හරි ගත හැකි වෙතැයි සිටීම කෙසේවත් සාධාරණ නොවේ.

මල් ශාලා හිමියන්ගේ පැත්තෙන් බැලුවහොත් එය හැඳින්විය හැක්කේ ෆිල්ටරයකින් පිරිසිදු වතුර බීමට ඇති හැකියාව පසෙක දමා අපද්‍රව්‍ය සහිත ජලය ගලා යන කානුවකින් වතුර බීමට යමෙකු තුළ ඇති පෙළඹීමක් ලෙසිනි.

උපුටා ගැනීමකි.