වෛද්‍ය “ආරි” බුලත් කොළයෙන් ලෙඩ දැනගත් අපුරු විදිහ !

රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව මීට වසර තුන හතරකට පෙර මට අසන්නට ලැබිණ.

රෝගීන්ට නේවාසික ප්‍රතිකාර පවා ලබාදෙන ඔහුගේ රෝහල පිහිටියේ රඹුක්කන ආසන්නයේ බවද මට වැඩිදුරටත් දැනගත හැකිවිය.

දුරකතනය මඟින් අපගේ පාඨකයෙකු හෙළි කළ එම වෙදමහතා පිළිබඳ විස්මිත පුවත සවන් වැකුණු සැනින් මට සිහිපත් වූයේ මගේ හිතවත් විශේෂඥ
ප්‍රජාවෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාය. ඔහු සතු ගමගේ රෝහල පිහිටි මාවනැල්ලට රඹුක්කන සිට වැඩි දුරක් නැත.

‘ඩොක්ටර් ළඟදිම හොස්පිට්ල් එක වහන්න ලෑස්ති වෙලා ඉන්න.’ එක්තරා දිනයෙක මම වෛද්‍ය ගමගේට දුරකතනයෙන් කියා සිටියෙමි.

‘ඒ මොකද?’ ඔහු විමසන ලද්දේ තරමක කුතුහලයෙන් බව මට වැටහුණි. එවිට මම එක්ස්රේ, ස්කෑන්, රුධිර සහ මුත්‍රා පරීක්ෂණ ආදී වෛද්‍ය පරීක්ෂණ වලින් ලබා ගන්නා නිගමනයන් රෝගියා දෙන බුලත්කොළයක් දෙස බලා ඉතා නිවැරදිව ලබා ගන්නා බව පැවසෙන එම වෙද මහතා පිළිබඳව ඔහුට කීවෙමි.

‘ඉතින් ඔයා යනවද ඔතනට’

මගේ කතාව අසා මහ හඬින් සිනාසුණු වෛද්‍ය ගමගේ ඉන්පසුව කීය.

‘යන්න තමයි මම හිතාගෙන ඉන්නේ’

මම කීවෙමි.

‘අනේ එහෙනම් මාත් එන්නද?’

ඔහු අසන ලද්දේ වැඩිහිටියන් විනෝද ගමනක් සංවිධානය කළ විට ඊට සහභාගිවෙන්නදැයි අසන දඟකාර දරුවෙකු මෙනැයි මට සිතිණ.

‘ආවටනම් කමක් නෑ; හැබැයි මෙහෙම දේකුත් තියෙනවා’ මම කීවෙමි.

‘මාවනැල්ලෙ ඉදලා රඹුක්කනට වැඩි දුරක් නැහැනේ. අනික මාව වගේ නෙමෙයි ඩොක්ටව ඔය පැත්තෙ හැමෝම වගේ දන්නවා. ඉතින් අපි යන්නෙ ඇත්තටම බෙහෙත් ගන්න නෙවෙයි කියන එක නොතේරෙන්න තරමටම ඒ මිනිස්සු මෝඩ නැතුව ඇතිනේ.’ මම කීවෙමි.

‘එහෙමනං අපි මෙහෙම කරමු’ වෛද්‍ය ගමගේ කීය.

‘අපි දෙන්නා එකම වෙලාවට ඔතනට යමු; හැබැයි වෙන වෙනම. එතනදිත් අපි දෙන්නා වෙන වෙනම ගිහින් ඒ වෙදමහත්තයා මුණ ගැහෙමු. එතකොට පස්සේ ඒ වෙදකම ගැන ඔයාගෙ නිගමනෙයි මගේ නිගමනෙයි ගැන අපිට පස්සෙ කථාකරන්නත් පුළුවන්නේ.’

ප්‍රජාවෛද්‍ය විශේෂඥයෙකු වූ ඔහුගේ එම උපාය මාර්ගය ඉතා ඵලදායක විය හැකි යැයි මට එසැනින්ම වැටහිණ.

නියමිත දිනයේ අප කථාකරගත් වේලාවට මා එහි යන විට එම ‍වෙදමහතාගේ රෝහල ඉදිරිපිට වාහන හත අටක් නතරකොට තිබිණ. මා ගමන්ගත් වාහනය රථ ගාලේ නතර කරත්ම අසල තිබූ ත්‍රිරෝද රථයකින් සුදු සරමක් සහ කමිසයක් හැඳගත් ආරෝහ පරිණාහ දේහයකින් යුත් පුද්ගලයෙකු එළියට බසිනු මට පෙනිණ. ඒ පුද්ගලයා දුටු සැනින් මට නෙත් අදහාගත නොහැකිවිය. ඒ මගේ හිතවත් වෛද්‍ය ගමගේය. ඔහු එවර පැමිණ සිටියේ කැලිස්ටර් නම් ඔහුගේ සමීප‍තම හිතවතෙකුද සමඟය. ‍

‘දැන්නම් නියම මුදලාලි’ වෛද්‍ය ගමගේ ගේ බාහිර ස්වරූපය දුටු සැනින් මම රහසින් තොල් මැරුවෙමි.

‘එහෙම මුදලාලිලා අපි අතරත් ඉන්නවා තමයි. හැබැයි මං නම් එහෙම කෙනෙක් නෙවෙයි.’ ඔහුද රහසින් තොල් මැතිරීය.

ඉන්පසු අප දෙදෙනා එකි’නෙකා ‍නොහඳුනන්නවුන් මෙන් එම වෙදහලේ බාහිර රෝග අංශයේ අසුන්වල වාඩිවිමු. එවිට එම රෝහලේ සිටි නේවාසික රෝගීන් කීපදෙනා වරින්වර අප සිටි තැන පසුකොට එහාමෙහා යනු අපට පෙනිණි. එහිදී මට පෙනෙන මානයක සිටි වෛද්‍ය ගමගේ හිටි හැටියේ තදබල හිසේ රුදාවකින් පෙළෙන්නකු මෙන් සිය නළලත සුරතේ ඇඟිළිතුඩු වලින් මිරිකා ගනු ලදුව හිස පහළට නවා ගන්නා අයුරු මම දුටුවෙමි.

‘මේ මනුස්සයට හිටි හැටියේ හැඳුණු අසනීපය කුමක්දැ’යි මට සිතුණු මුත් අවස්ථාවේ හැටියට ඒ පිළිබඳ යමක් ඔහුගෙන් ඇසීමට මම මැළිවීමි. අනෙක එම රෝහලේ අපට රහසින් සීසීටීවී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේය යන සැකයද මගේ සිත තුළ ක්‍රියාත්මක වීම ඊට හේතුවන්නට ඇත.

කෙසේ හෝ අපවෙත ලැබුණු අංක පිළිවෙල අනුව පළමුව ඇතුලට ගැණුනේ වෛද්‍ය ගමගේවය. විනාඩි දහයකට පමණ පසු කරබාගත් හිසිත් යුතු ඔහු අප සිටි තැන පසුකොට රෝහලින් පිටවිණි. ඉන්පසු මගේ වාරය පැමිණි පසු මම ද එම වෛද්‍යවරයා හමුවට ගියෙමි. ඔහු වසර තිහක් පමණ විය හැකි පැහැපත් තරුණයෙකි. මා දුන් බුලත් කිහිපය අතට ගත් ඔහු මගේ මුහුණ දෙස බලා කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත්රුදාව, ආදී රෝග වට්ටෝරුවක්ම කියාගෙන ගියේය. මගේ අවාසනාවට සහ ඔහුගේ වාසනාවට ඒ රෝගවලින් 75% කටත් වඩා මට තිබිණ. අනතුරුව ඔහු ප්‍රතිකාර නියම කිරීමට පෙර මා තරුණ වියේදී රැකියාව අහිමිව සිට කලක් අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා දැන් නිවසට පැමිණ තනිව ජීවත්වන බවත් මේ වන විට මා සමඟ ජීවත්විය නොහැකි බවක් පවසා මගේ බිරිය සහ දරුවන් මා අතැර ගොස් ඇති බවත් කීයේ මගේ ආත්ම ගෞරවය කෙසේ වෙතත් පොකැට්ටුව ඒ වෙදමහතාගෙන් රැක ගැනීම පිණිසය. එවිට ඔහු මගේ මුහුණ දෙස මඳක් බලා සිට අප ජීවත්වන පරිසරයෙන් සපයා ගත හැකි ගස්වැල් වලින් සිදුකරගත හැකි ගොඩවෙදකම් කීපයක් කියා මට එතැනින් නික්මීමට අවසර දුන්නේය. නැතහොත් මා පන්නා ගත්තේය.

මා නැවත වාහනයට නැගීමට බලන විට වෛද්‍ය ගමගේ පැමිණි ත්‍රි‍රෝද රථය එතන නැත. එබැවින් ඉන් මදක් විස්මයට පත් වූ මම ඒ මොහොතේම ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.

හිටි හැටියේ හටගත් හිස රුදාවෙන් ඔහුට කිසියම් කරදරයක්වත් විණි ද? මට එසැනින් සිතුනි.

‘හරි හරි අපි මේ ඉස්සරහට ඇවිත් ඉන්නවා; ඔයා ඔහොම එන්න’ ඔහු කීය.

මා හා කී ලෙසම ඉන් කිලෝ මීටර් බාගයක් පමණ දුර පාර අයිනේ ත්‍රිරෝද රථය නතර කර තිබූ අතර ඔහුගේ මිතුරු කැලිස්ටර් සහ ඔහු ඒ වන විට ඉන් බැස මා එන පෙරමඟ බලා සිටියේය.

‘මොකද එකපාරටම අතනදි නළල මිරිකගෙන ඔලුව පාත් කරගත්තේ?’ මම සියල්ලට පළමු ඔහුගෙන් ඇසීමි.

‘මාර වැඩක්නෙ වුණේ; අපේ හොස්පිට්ල් එකෙන් බේත් ගත්ත අම්ම කෙනෙක් එතනින් ගියානේ; ඒ මනුස්සයා මාව දැක්කනම් කම්මුතුයි.’ ඔහු කීය.

ඉන් පසුව මම වෙද මහතා ලෙඩ හඳුනාගත් අයුරු විමසීමි.

‘ඒ හාදයා මගේ බුලත් අත දිහා බලලා; ලෙඩ කීපයක් කිව්වා. ඒ සමහර ලෙඩ මට තිබුණා. ඒත් මට හොඳටම තේරුණා ඒ මනුස්සයා කරන්නේ කණාපල්ලන් ගැහීමක් බව. ඒ හින්දා මම කිව්වා මට ඒ මොකුත් නෑ කියලා. ඊට පස්සේ මිනිහා මගේ උරහිස අල්ලලා මෙන්න මෙහෙම තද කරලා රිදෙනවද ඇහුවා.’

කියූ වෛද්‍ය ගමගේ මගේ උරහිස අල්ලා එලෙසින්ම තද කරත්ම මට ‘ඌයි අම්මෝ’ යනුවෙන් කියැවිණි.

‘මිනිහා කියනවානේ එතන තද කළාම රිදෙන්නේ මොකක්ද ලෙඩක් තියෙනව නම්ලු; ඒත් මට කියන්න හිතුණා එතැන මිරිකනකොට රිදෙන්නේ ලෙඩ තියෙන හින්දා නෙමෙයි පණ තියෙන හින්දා කියලා.’ ඔහුගේ කීමට අපි තිදෙනාම හිතේ හැටියට සිනාසුනෙමු.

ප්‍රජාවෛද්‍ය නිලධාරියෙකු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු සහ විශ්ව විද්‍යාල වෛද්‍යපීඨ කථිකාචාර්යවරයෙකු ආදී වැදගත් වෘත්තීන් ගණනාවක යෙදී ඇති සේම ප්‍රජාවෛද්‍ය විද්‍යාව පිළිබඳ වැදගත් විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදුකොට ඇති ලොව රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක සංචාරය කර ඇති මෙම විද්වතා තුළ වූ ලේඛන සහ සන්නිවේදන කුසලතාව සේම කලා රසඥතාවය මෙන්ම පරිකල්පන ශක්තිය, නිදහස් චින්තනය ආදී සියල්ල ‘වෘත්තීය පත්තරකාරයෙකු’ වන මට වඩා ඉතා ඉහළ මට්ටමක පැවති බව මා මේ මොහොතේ ඉතා නිහතමානීව සටහන් කරමි.

එමෙන්ම ජාත්‍යන්තර වෛද්‍ය සම්මන්ත්‍රණ වලට සම්බන්ධවීමේ සිට රාජ රාජ මහාමාත්‍යවරුන් හා සම අසුන් ගැනීමේ සිට සාමාන්‍ය ජනතාව සමඟ හන්දියේ ‘බෝක්කුවක් උඩ වාඩිවීමට’ තරම් විස්මිත අනතිමානී බවක්; නිරහංකාර බවක් මේ විද්වත් රසවතා තුළ තිබිණ. එනිසා ඔහු මීට වසර විස්සකට පමණ පෙර ඔහු මට හදුන්වාදුන් ඔහුගේ සුමිතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි මෙල් සහෘදයානන්ටද මෙහිදී මා තුති පුදකළ යුතුය.

තමන් සතු වාහන කිහිපයට අමතරව ත්‍රි‍රෝද රථයක්ද මිලට ගත යුතු යැයි වෛද්‍ය ගමගේට වරක් සිතුණි. ඒ රෝද හතරේ වාහනයකට කළ නොහැකි ලෙසින් මහපාරේ වෙට්ටු දැමීමට ත්‍රිරෝද රථයකට ඇති හැකියාව මුල්කරගනිමිනි. මාවනැල්ලේ සිංහල සේම මුස්ලිම් පිරිස් අතරේ අතිශය ජනප්‍රියත්වයට පත් වෛද්‍ය ගමගේ ගේ ප්‍රබුද්ධ චින්තනයේ අගුපිළකවත් ජාති ආගම් ‍ආදී බේද වලට වාසය කිරීමට කිසිදු ඉඩක් හිමි නොවීය. එනිසාම සියළු ආගමිකයෝත්, සිය‍ළු ජාතිකයෝත් ඔහුට එකසේ ආදරය කළහ.

මේ අතර වෛද්‍ය ගමගේ සමීපව ඇසුරු කළ මාවනැල්ලේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සිටී. ඔහු වෛද්‍ය ගමගේ වැනි විද්වතෙකුගේ ඇසුර තමන් හට මහත් අභිමානයක් ගෙන දෙන්නක් සේ සැලකූ අයෙකි. එනිසාම සිය ප්‍රජාව අතරින් එම ව්‍යාපාරිකයාද කිසියම් සුවිශේෂ ගෞරවයක් හිමිවන්නට ඇත.

වරක් එම ත්‍රිරෝද රථය මිලදී ගත් අලුතම වෛද්‍ය ගමගේ එම ත්‍රිරෝද රථය පදවාගෙන තම හිතවත් මුස්ලිම් මුදලාලි බැලීමට මාවනැල්ල නගරයට ගියේය. වෛද්‍ය ගමගේ තම වෙළඳසල ඉදිරියේ ත්‍රිරෝද රථය නවත්වා එහි රියැදුරු අසුනින් බසිනු දුටු මුස්ලිම් මුදලාලිට නෙත් අදහාගත නොහැකි විය. ඒ සමඟම ඔහුට ඇති වූයේ නිම්හිම් නැති කෝපයකි.

‘සර්….’‍

මුදලාලි කෑ ගසාගෙන වෛද්‍ය ගමගේ ළඟට ආවේය.

ඉන්පසුව ඔහු වෛද්‍ය ගමගේ ගේ කනට මුව ළං කළේය.

‘සර්.. ඔයිට වැඩිය හොඳයි සර්.. බූරුවෙක්ගේ පිටේ නැගලා ආවනම්’

මේ කතාව වෙනත් ක්‍රමයකින් දැන ගත් මම ඉළ ඇදෙන තෙක් සිනාසුණෙමි. ඉන්පසුව වෛද්‍ය ගමගේ ගෙන් ඒ පිළිබඳව විමසූවිට ඔහු දුන් පිළිතුරු වූයේ. ‘මිනිහත් මාර බඩුවක් තමයි’ යනුවෙනි.

කෙසේ හෝ ජීවිතයේ බර හිසමත දරාගෙන ජීවිතය විඳවන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ තමන්ගේ දැන උගත්කම්, වත්පොහොසත්කම් සහ ඉහළ සමාජ තත්ත්වයන් කිසිවක් ඉහ මතට නොගෙන ඉතා සොඳුරු සහනශීලී සහ සැනසිලිදායි දිවිපෙවෙතක් ගත කළ මේ නිදහස් චින්තකයාගේ, සොඳුරු කලා කරුවාගේ අභාවය වෙනුවෙන් ඔහුට පරලොව සුගතියක් ප්‍රාර්ථනා කිරීමට මට නොපුළුවන.

ඒ අද සමාජයේ බොහෝ දෙනෙකුට ‘ඇලජික්’ විය හැකි මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව මෙහි සටහන් කළ නොහැකි රහසක් සහ එකඟතාවක් අප දෙදෙනා අතර පැවැති බැවිනි. එබැවින් මෙහිදී ඔහු සම්බන්ධයෙන් මට කිව හැක්කේ මෙපමණකි.

‘මම ඔබ සම්බන්ධයෙන් මේ මොහොතේ ප්‍රතිඥාවක් දෙමි; එනම් ඔබ පිළිබඳ ගෞරවනීය සහ සොඳුරු මතකය මා මියයන මොහොත දක්වාම මගේ මතකයේ මස්තකප්‍රාප්ත කොට සුරැකිව තබා ගන්නා බවටය.’

– තිලක් සේනාසිංහ