නිවේදිකාවක් ‍ලේඛිකාවක් කලාකාරිනියක් – කවුද මේ යශෝදරා සොලමන්ස්

නිවේදනය, නිරූපණය, ‍ලේඛනය, ව්‍යාපාර යන ක්ෂේත්‍ර කිහිපයම ස්පර්ශ කරන ඇය නමින් යශෝදරා සොලමන්ස්. ඉතින් ඇගේ මේ හැකියාවන් ගැනත් ඇය ගැනත් දැනගන්න කැමති ඔබ සඳහාම මෙසේ හැඩවුණා.

මේ දවස්වල තොරතුරු මොනවාද?

මම චැනල් ‘සී’ නිවේදිකාවක් හැටියට වැඩ කරන්නේ. ඉතින් ඒ කටයුතුත් එක්ක මගේ හතරවැනි ‍පොත පරිවර්තනයටත් දැන් සූදානම්. ඊට අමතරව මගේ ව්‍යාපාරයත් එක්ක අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙමින් තමයි ඉන්නේ.

ඔබේ වෘත්තිය වෙන්නේ නිවේදනයද?
ඔව්, මම නිවේදන වෘත්තියෙත් නියැළෙමින් ‍ලේඛිකාවක් සහ ව්‍යාපාරික කාන්තාවක් හැටියටත් කටයුතු කරනවා.

ඔබ කොහොමද නිවේදනයට පිවිසුණේ?
මුලින්ම Paper Covers වලට පෙනී ඉන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි දැනට අවුරුදු හයක කාලයක් පුරාම චැනල් ‘සී’ ආයතනයේ මම නිවේදිකාවක් හැටියට කටයුතු කරන්නේ.

හීන දැක්කේ මාධ්‍යයට සම්බන්ධ වෙන්නද?
මාධ්‍යයට පමණක් ‍නෙවෙයි, මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම කලාවට ආදරෙයි. ඉතින් ඒ ආදරයම තමයි මාව නිවේදිකාවක් වගේම ‍ලේඛිකාවක් කළෙත්.

‍ලේඛිකාවක් ලෙස මතෛක් ආ ගමන ගැනත් කියමු?
මම මේ වෙනකොට මගේ හතරවැනි පරිවර්තනය සඳහා සූදානමින් ඉන්නේ. අයියලා, නංගිලා නමින් The Four Cousins පොතත් The Book of Fairies  සුරඟන කතා නමිනුත්, The Fly-Cottage පියඹන පුංචි ගෙදර නමිනුත් මගේ පරිවර්තන එකතුවට ඇතුළත්.

ඔබේම නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
අනිවාර්යයෙන්ම, මගේම ‍පොතක් පාඨකයන්ට රස විඳින්න දෙන්න ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා.

නිවේදනයට පිවිසුණේ හැදෑරීමකින් පසුවද?
මගේ පාසල බෞද්ධ කාන්තා විද්‍යාලය. ඒ කා‍ලේ ඉඳන්ම ගොඩක් ආසාවෙන් හැම කලා මාධ්‍යයක්ම නියෝජනය කරපු කෙනෙක් මම. ඉතින් නිවේදනයෙත් ආරම්භය මගේ පාසලම තමයි.

නිවේදනය ඔබට පහසු කාර්යයක්ද?
හැදෑරීම සහ හැකියාව තමන් සතුව තියෙනවා නම් කිසිම වෘත්තියක් අපහසු වෙන්නේ නැහැ.

ඔබ ක්ෂේත්‍රයන් කිහිපයක්ම නියෝජනය කරනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඔව්, මම මාධ්‍ය, නිරූපණය, ‍ලේඛන, ව්‍යාපාර කියන වෘත්තීන් හතරෙහිම නියැළෙනවා. ඉතින් හරි ආසාවෙන් මේ හැම දෙයක්ම කරන නිසා මට මම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්.

ඔබේ ව්‍යාපාර ගැනත් කියමු?
මගේ ව්‍යාපාරය තියෙන්නේ මැණික් සහ රිදී ආභරණ සම්බන්ධව. මේ වෙනකොට මම අධ්‍යාපන කටයුතු කරන්නෙත් මැණික් සම්බන්ධව.

ඔබ නිරූපණයටත් සම්බන්ධයි නේද?
ඔව්, මම නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. මම Advertisments, Music Videos වලටත් සම්බන්ධවෙලා තියෙනවා.

ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
මට ලැබෙන ප්‍රතිචාරවලට වඩා මාව අගය කරන පිරිස වැඩියි. ඉතින් ඒ අගය කිරීම මට ලොකු ශක්තියක් තව දුර ගමනක් යන්න.

පවු‍ලේ විස්තර ගැනත් කියමු?
මගේ අම්මයි, තාත්තයි දෙන්නම මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධයි. ඒ නිසාම වෙන්න ඇති මටත් ‍ලේඛන කලාව ගැන හුරුවක් තියෙන්නේ. තව මට අයියා කෙනෙක් ඉන්නවා. ඔහු අයි.ටී. ඉංජිනියර් කෙනෙක් හැටියට කටයුතු කරනවා.

ඔබ ආපු ගමනේදි ස්තුති කරන්න පිරිසකුත් ඔබට ඇති?
මුලින්ම මම මගේ අම්මා, තාත්තා ඇතුළු පවු‍ලේ හැමෝටමත් මගේ අනාගත සහකරු වගේම ඔහුගේ පවු‍ලේ හැමෝටමත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම චැනල් ‘සී’ හි ප්‍රසංග සර් සහ තුසිත් සර්ටත්, පහන් ප්‍රකාශන අධිපති ඉන්දීවර මහතාටත් මේ තාක් මාත් එක්කම ළඟින් හිටපු හැමෝටමත් ස්තුති කරන්න කැමතියි.

නඳුනි ආරියවංශ
ජායාරූප- චමිල කරුණාරත්න