"එයා පැල්ලම් නැති රෙද්ද පෙන්නලා මම බොරු කාරියක් කියල කිව්වා" - මනාලියගේ කන්‍යාභාවය පිරික්සීමේ "නින්දිත" චාරිත්‍රය ගැන ඇනීටා කියයි

ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයේ ජීවත් වන ස්ථීර පදිංචියක් නොමැති ගෝත්‍රික ප්‍රජාවක් අතර පවතින මනමාලියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ "නින්දා සහගත" චාරිත්‍රයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබදව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එම අවස්ථාවට පැමිණ සිටි විසි දෙහැවිදිරි ඇනිටා පවසන්නේ දෙවසරකට පෙර විවාහ දිනයේදී මුහුණ දුන්
අපහසුතා සිහි ගැන්වෙන විට තවමත් දෑස් කඳුලින් තෙමී යන බවයි.

විවාහයෙන් පසුව  කන්‍යාභාවය පරීක්ෂා කිරීමේදී ඉමහත් අපහසුතාවට පත් වන බව ඇය දැන සිටි බවත් ඇය පවසන අතර ඒ හේතුවෙන් ඇය විවාහයට පෙර සිය සැමියා සමග ලිංගිකව එක්ව තිබෙනවා.  එහෙත් ඊළඟට සිදු වූයේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බවයි ඇය කියන්නේ.

"මම හිතුව මගේ සැමියා මම වෙනුවෙන් ගම්සභාව ඉදිරියේ පෙනී සිටීවි කියලා, නමුත් ඒ අය මම 'පවිත්‍ර ද, අපවිත්‍ර ද' කියල අහන විට, එයා පැල්ලම් නැති රෙද්ද පෙන්නලා මම බොරු කාරියක් කියල කිව්වා" ඇනීටා කියන්නේ එහෙමයි.

ලක්ෂ දෙකක පමණ පිරිසකගෙන් සැදුම්ලත් කන්ජාබාත් (Kanjarbhat) ගෝත්‍රයට අයත් පිරිස් බොහෝ විට දැකිය හැකි වන්නේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙහියි.එම ගෝත්‍රයට අයත් අන් සෑම කාන්තාවකට සේම ඇනිටා හට ද "කන්‍යාභාවය පරීක්ෂා" කිරීමට බල කර සිටියේ ඇයගේ "ශීලාචාර" බව සොයා දැනගැනීමට බවත් සදහන්.

කොහොම නමුත් මෙම පරීක්ෂණය ප්‍රජාව ඇතුළත සිදුවන විවාහයක අනිවාර්ය අංගයක් වන අතර, දැඩි බලපෑමක් කළ හැකි 'පංචායත්' නමින් හඳුන්වන ගම් සභාවෙන් එකී පරීක්ෂණය බලාත්මක කර තිබෙනවා.

විවාහ උත්සවයෙන් පසු සුදු රෙදි කඩක් අතට දී, ගම් සභාවෙන් හෝ පවුලේ සාමාජිකයින් විසින් කුලියට ගත් හෝටල් කාමරයකට නව යුවළ පිටත් කර හැරේන අතර  ඉන්පසු ඔවුන් ආලිංගනයේ යෙදෙන තුරු දෙදෙනාගේම ඥාතීන් සහ ගම් සභාවේ සාමාජිකයින් කාමරයෙන් පිටත රැඳී සිටිනවා. ලිංගික සංසර්ගය අතරතුර මනමාලියගේ යෝනියෙන් රුධිරය වහනය වූයේ නම් ඇය කන්‍යාවක් ලෙස පිළිගැනෙන අතර, එය එසේ සිදු නොවුවහොත් ඇයට මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බවයි සදහන් වෙන්නේ.

මෙම චාරිත්‍රයට අනුව බිරිඳ කන්‍යාභාවය "සනාථ කිරීමට" අපොහොසත් වුවහොත් එම විවාහය අවලංගු කිරීමට ස්වාමිපුරුෂයාට හැකියාව තිබෙනවා. මෙම තත්ත්වයට මුහුණ පාන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කෙරෙන අතර ඇතැම්විට ඔවුන් පවුලට කළ "ලැජ්ජාවට" පවුලේ ඥාතීන්ගෙන් පහර කෑමට ද ඇයට සිදු වෙනවා.

කන්‍යාභාවය "සනාථ කිරීමට" අපොහොසත් වූ විට එම විවාහය අවලංගු කිරීමට ස්වාමිපුරුෂයාට බලය හිමි වෙනවා.

"මාව තිගැස්සුනා. එයාගේ බල කිරීමට මම මාස හයක් විතර එයත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වුවා..ගම්සභාව මම 'අපවිත්‍ර' කෙනෙක් කියා ප්‍රකාශ කර මාව තනි කර යන්න ගියා. මම නතර කරගන්න බැරි තරමට ඇඬුවා," ඇය තවදුරටත් පැවසුවා.

ඇනීටාගේ සැමියා විවාහ ජීවිතය ගතකිරීමට සැරසී සිටියත්, ඇය පරීක්ෂණය "අසමත්" බැවින් විවාහය අවලංගු කර තිබෙනවා. නමුත් සිදුවූ අසාධාරණය පිළිබඳව දැනගත් සමාජ සේවා ක්‍රියාකාරීන් පිරිසක් මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විවාහය පවත්වාගෙන යෑමට බල කර තිබෙනවා.

නමුත් ඔහු ඇයට දිනපතා පහර දෙමින්, අපහාස කරමින් ජීවිතය 'අපායක්' බවට පත් කර ඇතැයි ඇය පවසනවා.

ගම්සභාව මෙම "බොරුකාර" යුවළට ප්‍රජා උත්සව කිසිවකට සහභාගී වීම තහනම් කිරීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරී තිබෙනවා. "මට දරුවෙකු ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. මගේ සැමියා නිතරම මගෙන් ඇහුවේ 'කාගේද මේ ළමයා?' කියලා.. ගම්සභාවේ සාමාජිකයන් තවමත් ඒ ප්‍රශ්නය අහනවා," ඇනීටා පවසනවා