අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියාට ස්තූති කරමින් ලෝක වාර්තාවකට හිමිකම් කියූ ගොකරැල්ලේ ඉෂාරගේ හපන්කම -(video)

දෑත නිදහසේ තබාගෙන කිසිඳු ආධාරකයක් නොමැතිව යතුරුපැදිය මත සිටගෙන පැයට කිලෝමීටර් 60 හා 70 අතර වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 100ක දුරක් ගමන් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහුටුවීමට සමත්වුණු 23 හැවිරිදි තරුණයකු පිළිබඳ පුවතක් වාර්තාවුණා .

23 හැවිරිදි ගොකරැල්ල පොල්ගොල්ල පදිංචි ආර්.එම්. තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුර නමැති
තරුණයා මෙම වාර්තාව තැබීමට සමත්වුණා.

පසුගිය 16 වනදා පෙරවරු 10.26ට අනුරාධපුර දෙකේ කණුව හන්දියෙන් ගිනස් ගමන ආරම්භ කරනු ලැබූ ඉෂාර අකලංක කුරුණෑගල, සාරගම වැව අසලින් සාර්ථකව එම ගමන නිම කළා.

ගිනස් වාර්තාව පිහිටුවීමට පළමුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුර මෙලෙස පවසා තිබුණා , "කුඩා කාලේ සිට යතුරුපැදි ධාවනය කිරීම සඳහා මට දැඩි උනන්දුවක් තිබුණා. දවසක් මා යතුරුපැදියේ හිටගෙන ගමන් කරන විට පොලිසියෙන් අල්ලලා දිනක් පොලිස් සිර මැදිරියේ දැමුවා. සිර මැදිරියේදී මා හිතා ගත්තා මම කවදා හරි පොලිසිය නීතිය ඉටුකළා වගේ මගේ හැකියාවෙන් ඉදිරියට ගොස් ජය ගන්නවා කියලා.

එදා මාව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියාට ගොඩාක් ස්තුතියි. එම නිසා තමයි අද මෙවැනි වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණේ. කවුරුත් කියල දුන්නෙ නෑ. මම තමයි මේ සමබරතාව හොයාගත්තේ. මේ යතුරුපැදි විතරක් නෙවෙයි ඕනෑම යතුරුපැදියක් මේ විදියට මට ධාවනය කරන්න පුළුවන්.

විශේෂයෙන් මතක් කළ යුතුයි. මගේ අම්මා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු සියලුම ක්‍රීඩා නිලධාරීන්, මගේ යාළුවන් මේ වාර්තාවට මට ගොඩාක් උදවු කළා.

ඉන්දියානු ජාතිකයෙක් 2015 වසරේදී තියපු ලෝක වාර්තාවක් තමයි අද දින මා විසින් බිඳ දමන්න සූදානම් වන්නේ. රංනේශ් පාන්ඩේ කියන ඉන්දියානු ජාතිකයා කිලෝමීටර් 32 මීටර් 300ක් පමණ දුර යතුරුපැදියේ හිටගෙන ගමන්කර මෙම ලෝක වාර්තාව මීට පෙර තබා තිබුණා. කිලෝමීටර් 100ක් ගමන්කර එම වාර්තාව මා විසින් බිඳ දමනවා"

මේ අවස්ථාවට ගිනස් කමිටුවේ නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන්, ගොකරැල්ල ප්‍රදේශවාසීන්, දිවයින පුරා සිටින යතුරුපැදි ධාවනය සඳහා ඇලුම් කරන විශාල පිරිසක් එක්ව සිටි බවයි පැවසෙන්නේ.