"මට ඉතිං ගෑණු ළමයි විශාල ප්‍රමාණයක්‌ එක්‌ක යාළුවෙලා ඉන්න වුණා...!" - ශ්‍රියන්ත මෙන්ඩිස්

ශ්‍රී ලාංකීක රංගධරයින් අතර සුවිශේෂි රංගන ශිල්පියෙක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ. මොහු පුංචි තිරයෙනුත්, වේදිකාවෙත් මෙන්ම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක රසික හදවත් දිනූ අපූරු මිනිසෙක් කිවහොත් නිවැරදියි.

මේ අපූර්ව රංගධරයා ඔහුගේ කලා දිවියේ සොඳුරු මතකයන් වගේම
තරුණ අවධියේ සිට මේ දක්වා ආ ගමන් මඟ පිළිබඳව ජාතික පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙහෙමයි.

ඉලංදාරි කාලෙ

මගේ ගම රාගම! පාසල් අධ්‍යාපනය අවසන්වෙලා හිටපු කාලෙ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි අපි මොනවද කරන්නේ කියන කාරණාව! එතැනදී අපේ සේනක පෙරේරා යෝජනා කරා අපි නාට්‍යයක්‌ කරමු කියලා......! ඊට පස්‌සෙ අපි "ඉල්ලීස" ජාතක කතාවෙන්, නාට්‍යයක්‌ කරන්න තීරණය කෙරුවා. ඔය කාලෙ රාගම පුනරුත්ථාපන රෝහලේ හිටපු චන්ද්‍රපාල කියලා වෛද්‍යතුමෙක්‌ ළඟ තිබුණා "සතුරෝ" කියල නාට්‍යයක්‌! ඒ අනුව 1976 නොවැම්බර් මාසෙ අපි "ඉල්ලීස සහ සතුරෝ" කියලා නාට්‍ය දෙකක්‌ පෙන්නුවා. ඒ තමයි ජීවිතේ පළමු වතාවට වේදිකාවකට නැඟීම! එතැනින් තමයි අපි තාරුණ්‍ය තුළ හඹාගෙන ගිය, සොයාගෙන ගිය ජීවිතයේ හැඩය තීරණය වුණේ. ඒ විදිහට තාරුණ්‍ය පුරා, ඒ කියන්නෙ ඉලංදාරි කාලෙ පුරාවටම කලාවට යොමුවෙලා තමයි ගෙවුනෙ.

පාසල

ඩී. මැසනඩ් විද්‍යාලය තමයි මගේ පාසල! පාසලේදී මම කිසිම කලා කටයුත්තකට සහභාගි වුණේ නෑ! නමුත් මට දැනුණා මගේ ඇඟ ඇතුළේ මේ "සංස්‌කෘතික" මිනිසා ඉන්නවා කියලා. ඒ වුණාට මේ අමුතු හැඩයක්‌ තිබුණු මිනිසාව එළියට ගන්න තරම් පසුබිමක්‌ නිර්මාණය වෙලා තිබුණේ නෑ. ! හැබැයි පාසලේ කිසිම කලා කටයුත්තකට සහභාගි නොවුණාට කොල්ලො මට කිව්වේ "නළුවා" කියලා. මොකද මම පාසල ඇතුළේ බොහොම ලස්‌සනට පිළිවෙළට ඇඳලා කොණ්‌ඩෙ ලස්‌සනට පීරලා ඉන්නවා! නළුවෙක්‌ නොවීම මට නළුවා කියලා තමයි කොල්ලො කිව්වේ!

යාළුවො

අපේ කණ්‌ඩායමේ හිටියා ලක්‍ෂ්මන්, රාජා කන්නන්ගර, සේනක පෙරේරා, ජයන්ත චන්ද්‍රසිරි......! ඊළඟට රාගම අනිත් ඉවුරෙ හිටියා "ජැක්‌සන් ඇන්තනී ඇතුළු නාට්‍ය කණ්‌ඩායමක්‌. මේ කණ්‌ඩායම් දෙක විරසකයි. අපි දෙගොල්ලො කතාබහ කරන්නෙ තියා මූණවත් බලන්නෙ නෑ!

කල්ලි ගැහුණු තැන්

අපි බජාර් එක හම්බුවෙන්නෙ රම්පිටියෙ ටවුන් එකේදී තමයි! ලක්‍ෂ්මන්ගෙ ගෙදර අපි ඔක්‌කොම එකතුවෙන තැන! එහෙම නැත්නං අපේ ගෙදර! අපි අපේ කණ්‌ඩායමේ හැමෝගෙම ගෙවල්වල එකතුවෙනවා.

පටබැඳි නම්

පාසලේ කොල්ලො "නළුවා" කියලා නමක්‌ දාලා තිබුණා. මගේ ගෙදරදී මට කිව්වේ "ශාන්ති" කියලා! මොකද අපේ අම්මා බලාපොරොත්තුවෙලා ඉඳලා තියෙන්නේ මුලින්ම දුවෙක්‌ ලැබෙයි කියලා! එහෙම ලැබුණාම එයාට "ශාන්ති" කියලා නම දාන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. නමුත් හම්බ වුණේ පිරිමි දරුවෙක්‌ වුණාට ඒ නමින් තමයි මට කතා කළේ! අදත් ගමේ අය මට කියන්නේ "ශාන්ති අයියා" කියලා.

බලාපොරොත්තු

අපේ ජීවිතවල හැරවුම් ලක්‌ෂ්‍යය නාට්‍ය කලාව වුණාට මට නාට්‍යකරුවෙක්‌ වීමේ බලාපොරොත්තුවක්‌ තිබුණෙත් නෑ! නමුත් මට මොකක්‌ හරි රස්‌සාවක්‌ කිරීමේ බලාපොරොත්තුවක්‌ නම් තිබුණා. ඒ අනුව 1979 ජුලි 07 වැනිදා උප ගුරුවරයෙක්‌ හැටියට රස්‌සාවක්‌ ලැබුණා. ඒ පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් පාසලේ! ඒ රැකියාවෙන් ලැබුණු මුල්ම පඩිය රු. 365 /- යි. ඒ මුළු පඩියෙන්ම ගෙදර අයට තෑගි බෝග ගෙනාවා. මම ඒකෙන් අප්‍රමාණ සතුටක්‌ වින්දා.

විනෝදාංශ

ඒ කාලේ අපි එකතු වුණාම එල්ලෙ ගහනවා. ගම්වල ජනප්‍රියම ක්‍රීඩාව තමයි ඒක. ඊට අමතරව අපේ ගමේ තිබුණා ඉහළගම වැව කියලා වැවක්‌ ! ඕකෙ පීනනවා. ඒ වගේම පොත පත කියවනවා. ඕවා තමයි!

ගැහැනු ළමයි

පාසල් යන කාලෙ ගෑණු ළමයෙක්‌ එක්‌ක යාළුවෙලා හිටියා. ඊට පස්‌සෙ අමතර පංතියකට යනකොටත් එහෙම සම්බන්ධයක්‌ තිබුණා. මට ඉතිං ගෑණු ළමයි විශාල ප්‍රමාණයක්‌ එක්‌ක යාළුවෙලා ඉන්න වුණා...!

අත්දැකීම්

තාරුණ්‍යයේදී මම ගුරුවරයෙක්‌ සහ නාට්‍යකරුවෙක්‌. ! මේ දෙක සමබරව පවත්වාගෙන යැමේදී විශාල අත්දැකීම් සම්භාරයක්‌ මට ලැබුණා. මගේ ගුරු ජීවිතය වසර 32 ක්‌. ඔය අතරේදී මට "සාගරයක්‌ මැද" චිත්‍රපටයේ රඟපාන්න අවස්‌ථාව ලැබුණා. ඊට පස්‌සෙ මංගල තෑග්ග, සහරාවේ සිහිනය, සහරාවේ සිහිනය චිත්‍රපටය නිසා තමයි මට ජීවිතේ මුලින්ම පිටරටකට යන්න අවස්‌ථාව ලැබුණෙ. එච්. ඩී. ප්‍රේමරත්න මහත්තයා තමයි මට ඒ අවස්‌ථාව උදාකරලා දුන්නේ. ඔය විදිහට කලාකරුවෙක්‌. ගුරුවරයෙක්‌ විදිහට විශාල අත්දැකීම් ප්‍රමාණයකට මුහුණදීලා තියෙනවා.

දෙමව්පියෝ

නාට්‍යකරුවෙක්‌ වීම ගැන ඒ ගොල්ලන්ගෙ ඒ තරම්ම කැමැත්තක්‌ තිබුණේ නෑ! මගේ අම්මා ගුරුවරියක්‌! ඇය කරලයින් සොයිසා! මගේ පියා විධායක නිලධාරියෙක්‌ වරාය අධිකාරියෙ. ඔහු ලාසරස්‌ මෙන්ඩිස්‌! ඒ කාලේ අපේ වැඩකටයුතුවලට දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක්‌ වත් විරෝධයක්‌වත් ලැබුණේ නෑ. නමුත් මට රජයේ රැකියාවක්‌ ලැබීම ගැන ඔවුන් තුළ යම් සතුටක්‌ තියෙන්න ඇති.

ගුරුවරු

පබිලිස්‌ පෙරේරා ගුරුතුමා තමයි මගේ සිංහල ගුරුතුමා. එතුමා තමයි මගේ සිංහල දැනුම ලබාගන්න ගුරුහරුකම් දුන්නෙ. ඊට අමතරව, ස්‌ටැන්ලි මාස්‌ටර්, එමිනේලිස්‌ මාස්‌ටර්, ස්‌ටීවන් මාස්‌ටර් වගේ අය අදත් මට මතකයි. කතෝලික සහෝදරවරුන්ගෙ පාසලක ඉගෙනීම ලබපු හින්දා අපි බොහොම ලොකු විනයක්‌ ඇතුළෙ තමයි පාසලේදි හිටියෙ.

අහල පහල අය

මගේ අසල්වැසියෝ තමයි කිංස්‌ලි ඇන්තනි, නිමල් ඇන්තනි, ලක්‍ෂ්මන් සිල්වා, කළු රංජිත්...! ඉලංදාරිකාලෙ මම කරාටි ක්‍රීඩාව හැදෑරුවා! ඒක කරේ ශර්ලි කියලා අපේ මිත්‍රයෙක්‌ගෙ මාර්ගයෙන්! ඔහු ඉගෙන ගෙන ඇවිල්ලා අපිට ඉගැන්නුවා. ඉතිං ඒ නිසා ගමේදී පොඩි චණ්‌ඩි පාටුත් තිබුණා. වැඩිය කවුරුත් අපිත් එක්‌ක හැරෙන්න කරන්න එන්නෙත් නෑ! චණ්‌ඩියෙක්‌ නෙමෙයි. ඒ වුණාට කවුරුත් කතාවට එන්නෙ නෑ! එයා කරාටි කාරයෙක්‌ කියලා කියනවා...!