"අවුරුදු 19දී තමයි මම මුලින්ම පෙම්වතෙක් වෙන්නේ..ඒක අවුරුදු දහයක ප්‍රේම සම්බන්ධයක්..." - රොඩ්නි වර්ණකුල

වේදිකාව කිව්වා ගමන්ම මතක් වෙන්නේ රොඞ්නි වර්ණකුලව. ඔහු ඒ තරම්ම වේදිකාවට, ගීතයට සමීපයි. පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් දකින්න ලැබෙන රොඩ්නි තරුණ කාලේ ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කරලා තිබුණා.

තරුණ කාලේ ගැන මතක් කළොත් මුලින්ම සිහියට එන්නේ මොන වගේ මතකයක්ද ?
ඇත්තටම තරුණ කාලේ කියද්දී මුලින්ම මගේ මතකෙට එන්නේ ආදරය ගැන තමයි. එදා ආදරය
කරපු පෙම්වතිය අද මගේ බිරිඳ වෙලා ඉන්නවා. ඒක අවුරුදු දහයක ප්‍රේම සම්බන්ධයක්.

මුලින්ම ආදරය කරද්දී වයස කීයද ?එතකොට මට වයස අවුරුදු දහ නමයයි. එතකොට මම උසස් පෙළ කරන කාලේ. ඒ වෙද්දී ඒවාට ගෙවල්වලිනුත් පොඩි පොඩි බාධාවල් තිබුණා. හැබැයි ඉතිං ඒ බාධාවල් කාලෙත් එක්ක හෙමිහිට විසඳුණා. ඒ සියල්ල ඉතාම උපේක්ෂාවෙන් දරාගෙන අපි අපේ දේවල් සම්පූර්ණ කරගත්තා. ඒ වගේම තරුණ අය විදිහට අපෙන් ඉෂ්ට වෙන්න  ඕන යුතුකම් සියල්ලත් අපි අපිට හැකි විදිහට ඉෂ්ට කළා.

ඔබ අද වෙද්දී වේදිකා නාට්‍ය නළුවෙක්, ගායකයෙක්, සිනමා නළුවෙක් විදිහට සමාජයේ ප්‍රකට කලාකරුවෙක්. මේ වගේ තැනකට එන්න  ඕන කියලා ඔබට එදත් බලාපොරොත්තුවක් තිබුණද ?
මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් සෑහෙන කලා කටයුතු ප්‍රමාණයක් එක්ක සම්බන්ධ වී කටයුතු කළා.  ගායනය, නර්තනය, රංගනය කියන හැ
ම දේකින්ම ඉස්කෝලේ නමක් දිනාගෙන හිටියා. කොහොමහරි මගේ හැංගිච්ච බලාපොරොත්තුවක් තිබුණා මගේ තාත්තා වගේ කලාකරුවෙක් වෙන්න  ඕන කියලා. මොකද මගේ තාත්තා පැරණි ටීටර් නළුවෙක්. තාත්තා නළුවෙක් විදිහට උස් තැනකට වෙලා වේදිකාවේ ඉඳන් මිනිස්සු පිනවන විදිහට මට තිබුණේ ලොකු කැමැත්තක්. ඉතිං ඒ අභාෂය මට ආවා. ඒ නිසා නළුවෙක් වීමේ ආසාව ඒ කාලේ ඉඳන්ම මට තිබුණා.

එතකොට දෙමව්පියන්ටත්  ඕන වුණේ ඔබව කලාකරුවෙක් කරන්නද ?
මගේ අම්මට නම්  ඕන වුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. මම හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවුණා. ඒත් මට දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න තරම් සුදුසුකම් තිබුණෙත් නෑ වෙන්න වුවමනාවක් තිබුණෙත්  නෑ. තාත්තට වුවමනා වුණේ මාව නාට්‍යකරුවෙක් කරන්න. කොහොමහරි අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නෑ. තාත්තගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. මම නළුවෙක් වුණා.

අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු අතරේ දෝලනය වෙද්දී ඒක අපහසුවක් වුණාද ?
මම ඒ තරම් හිර වෙලා හිටියේ නෑ. ඒත් මට තේරුණා වෛද්‍යවරයෙක් වීම මගේ ජීවිතේ ඉරණම නෙමෙයි කියලා. තාත්තටත් ඒක තේරිලා තිබුණා. කොහොමහරි මම ආයුර්වේද වෙදකමත් අවුරුදු දෙකක් ඉගෙන ගත්තා. අපේ රටේ සමහර දෙමව්පියන්ගේ අහිංසක බලාපොරොත්තුවක් තමයි තමන්ගේ දුව පුතා කොහොමහරි වෛද්‍යවරයෙක් කිරීම.
ඒකට වටපිටාවක් තියෙනවද ? හැකියාව තියෙනවද කියන එක ඒ තරම් අදාළ නෑ ගොඩ දෙනෙක්ට  ඕන තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීම තමයි. අද වුණත් ඉස්කෝලෙකට ගිහින් පොඩි දරුවෙක්ගෙන් අනාගත බලාපොරොත්තුව ගැන ඇහුවොත් සියයට අනූවක් කියන්නේ දොස්තර කෙනෙක් වෙනවා කියලා. ඔක්කොම දොස්තරලා වුණොත් ලෙඞ්ඩු නෑනේ. ඉතිං මම තරුණ කාලෙම කලාකාරයෙක් වීම තෝරාගත්තා.

එතකොට ඔබ කලාවට අඩිය තියන්නෙත් බොහොම අඩු වයසින් ?
ඔව්. මම ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයට සම්බන්ධ වෙද්දී මට අවුරුදු විස්සයි. ඒ 1981 අවුරුද්ද. දැන් අවුරුදු තිස් හතක ගෙවිලා තියෙනවා. ඒ කාලෙ අපි ඉතාම උනන්දුවෙන් ඒ දේවල් එක්ක සහ සම්බන්ධ වුණා. ඒ වගේම ගම් පළාතේ නාට්‍ය කණ්ඩායම්වල. පල්ලියේ කලා කටයුතු එක්ක සමාජ සේවා කටයුතු එක්ක මගේ තරුණ කාලයෙන් වැඩි කොටසක් ගතවුණා. මේ විදිහේ විවිධ දේවල් එක්ක අපේ තරුණ විය සමාජ ජීවිතය එක්ක සම්බන්ධ වෙලා තිබ්බා.

මේ දේවල් එක්ක බැලූවම ඔබ ගමේ රටේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක් වෙන්න ඇති ?
ඔව් ඉස්කෝලෙත් ජනප්‍රියයි. ගමෙත් ජනප්‍රියයි. මගේ ගම ජා ඇල බෝපිටිය කියන ගම. ඉතිං  ගමේ තියෙන හැම කලා කටයුත්තක් එක්කම මම බොහෝ අවස්ථාවලදී සම්බන්ධ වුණු නිසා රොඞ්නි වර්ණකුල කියන නම හැම කෙනෙක්ම දන්නා නමක් වුණා.

ඔබ වේදිකාවේ වුණත් සිනමාවේ වුණත් දඩබ්බර වගේම හාස්‍යජනක රංගනයන්වල නියැළෙනවා. ඔබ තරුණ කාලෙත් දඩබ්බර චරිතයක්ද?  
නෑ. කොහෙත්ම නෑ. මම තරුණ කාලෙත් බොහොම සංසුන් චරිතයක්. ඒක මගේ ජීවිත ස්වභාවය වෙන්න ඇති. මේ හේතුව නිසාම වෙන්න ඇති මට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරත් අවුරුදු තුනක් එකදිගට දරන්න අවස්ථාව ලැබුණා. මම රංගනයේදී, වේදිකාවේදී දඩබ්බරයි. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මම බොහොම සංසුන් පුද්ගලයෙක් .

ඔබගේ කාලයේ තාරුණ්‍යයයි අද තාරුණ්‍යයයි  අතර වෙනසක් දකිනවද?
එදා බහුතරයක් තරුණයෝ බොහොම සමාජශීලි ජීවිත ගත කළා. නමුත් අද සාපේක්ෂව බලද්දී බොහෝ දෙනා ඉන්නේ තාක්ෂණික මෙවලම් එක්ක තනි වෙලා. ඒ අය ලෝකෙත් එක්කම ඒ දේවල්වලින් සම්බන්ධ වෙනවා. නමුත් තමන්ගේ අසල්වැසියා එක්ක ලොකු බැඳීමක් නෑ. බොහොම දුරස්ථ මානව බැඳීම් තමයි අද තියෙන්නේ. ඒ වගේම අද තාරුණ්‍යයේ සියල්ලෝම නොවුණත් වැඩි පිරිසක් ආත්මාර්ථකාමී අය. ඒ වකවානුවේ තරුණයෝ කියන්නේ ගමේ රටේ සෑහෙන වැඩ කොටසක් කරපු පිරිසක්. කුඹුරක් කොටන්න, පාරක් හදන්න, වහලයක් හෙවිලි කරන්න, අසරණ මනුස්සයකුට උදව් කරන්න එදා තරුණ පිරිස් එකතු වුණා. බොහොම දෙනෙක් පරාර්ථය මත පිහිටලා ජීවත් වුණා. අදට සාපේක්ෂව අශ්ශීල දේවල් නොතිබුණා නෙමෙයි. නමුත් අද තරම් විකෘති වුණු තත්ත්වයක් අපේ තරුණ කාලයේ තිබුණේ නෑ