"දරුවා එක්ක ජීවිතේ තනිවෙද්දී මම ජීවිතේ ගෙව්වේ පුදුමාකාර දුකකින්. ඒ දවස්වල මහන්නත් පටන් ගත්තා.."

පුංචි තිරයේ ඉන්න නපුරු අම්මා වගේම තවත් විටෙක පුංචි තිරයට ආදරණිය අම්මා කෙනෙක් වුණු ඇය ප්‍රියා රණසිංහ. පුංචි තිරය වගේම වේදිකාවත් රිදී තිරයත් ඇයට සමීපයි. එනිසාම ඒ ආදරණිය අම්මාට
ආදරේ කරන අය බොහෝයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


මේ දවස්වල වැඩිය දකින්න එහෙම ලැබෙන්නෙ නැහැනෙ. මොකද මේ දවස්වල කරන්නෙ...?
පහුගිය දවස්වල මම ටිකක් නිහඬව හිටියා. ඒ නිහඬකමත් මඟහැරෙන්න කියලා හිතාගෙන මම අලුත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ දවස්වල කරන ලොකුම වැඩේ ඒකට සූදානම් වෙන එකයි.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කියන දේ ඔබට ආගන්තුක නැහැනෙ. මේ වෙනකොට ඔබ ටෙලිනාට්‍ය කීපයක්ම අධ්‍යක්ෂණය කරලා තියෙනවා නේද...?
ඔව්.. මේ මගේ පස්වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි. කලින් කරපු නිර්මාණ හතරටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම ආසයි ඒ මුල් කාලයේදී කරපු නිර්මාණ වගේ තව හොඳ අලුත් නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න. ඒ නිර්මාණයට දායකවෙන කලාකරුවන්ට කලාකාරියන්ට හොඳට සලකලා හොඳ නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම හැමවෙලේම උත්සාහ කළේ ස්වභාව සුන්දරත්වය අපූරුවට පෙනෙන නිර්මාණ කරන්නයි.

සොබාදහමට ආදරය කරන ඔබේ ළමා කාලය ගෙවුණේ කොහේද..?
මගේ ගම ගම්පහ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ දෙන්නම වැඩ කළේ අනුරාධපුර පැත්තෙ. ඉතින් ඒ ගමේ වැව් එක්ක, ඒ සෞන්දර්යත් එක්ක මොකක්දෝ නෑදෑකමක් මට තියෙනවා. ඒ වැව්වල පුංචි කාලේ මම ඇති තරම් නාලා තියෙනවා. වැව් ඉස්මත්තේ දුවපු අපූරු සෙල්ලම්කාර අතීතයක් මට තියෙනවා. ඉතින් පුංචි කාලේ එහෙම ගෙවිච්ච මගේ ජීවිතේ පාසල් කාලය ගෙවුණේ කොළඹ සුජාතා විද්‍යාලයේ. පාසල් කාලයෙන් පස්සෙ මගේ ජීවිතේ කොළඹටම සින්න වුණාට මම ගමට, ගමේකමට හරි ආදරෙයි. කවියක් අහද්දී, චිත්‍රපටයක් දකිද්දී ඒ ගැමි සුන්දරත්වයට මම අදටත් හරි ආදරෙයි. අපේ ආච්චිලා සීයලා හොඳ ගැමියෝ.

සුජාතාවේ ඔබ මොනවගේ ශිෂ්‍යාවක්ද..?
මම ඉගෙන ගන්නෙ විද්‍යා අංශයෙන්. හැබැයි මම කලාවට හරියට ආදරේ කළා. පැසලේ දී කළ කලා වැඩකටයුතුත් එක්ක මම කැපීපෙනුණු ශිෂ්‍යාවක් වුණා. පාසල් නාට්‍යවල රඟපෑවා. ඒ නිසාම පාසලේ දී මම ක්‍රියාශීලී චරිතයක් වුණා.

ප්‍රියාගේ පවුලේ කාටවත් කලාවට සම්බන්ධකමක් නෑදෑකමක් තිබුණද...?
නැහැනේ... කිසිම කෙනෙක් ප්‍රසිද්ධ කලාවට සම්බන්ධ නැහැ. අපේ දන්න කියන කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. මටත් වෙලාවකට පුදුමයි කොහොමද මම කලාවට සම්බන්ධ වුණේ කියලා.

එහෙමනම් කොහොමද කලාවට සම්බන්ධ වුණේ...?
ඉස්කෝලෙ යන කාලේ දී මම විද්‍යා විෂය හැදෑරුවාට ආසාවටම නර්තනයත් ඉගෙන ගත්තා. හැබැයි අපේ අම්මලා ගුරුවරු වුණාට නර්තනය ගැන එයාලට තිබුණේ අඩු පැහැදීමක්. අපේ අම්මලා තාත්තලා පාරම්පරික ගුරුවරු. ඒ නිසා අම්මට ඕන වුණෙත් මාව ගුරුවරියක් කරන්නයි. ඉතින් මම උසස් පෙළ කරන අවදියේ දී ටීචර්ස් ට්‍රේනින් කියන විභාගයක් තිබුණා. ඒකට යන්න මම උත්සාහ කළා. ඒ යන අතරේදී මම අමතර පන්ති ගිහින් ඉගෙන ගත්තා. අන්තිමට ඒ උගන්වපු ගුරුවරයාම මාව විවාහ කරගත්තා. එයා තමයි සරත් රණසිංහ. මේ වෙනකොට එයා ජීවතුන් අතර නැහැ. සරත්ට මගේ මව්පියෝ අකමැති වුණා. අන්තිමට ගෙවල්වලට අකමැත්තෙන් මම සරත් එක්ක විවාහ වුණා. එතනින් පස්සෙ මගේ ඉගෙනීමත් නතර වුණා. ඇත්තම කිව්වොත් මම විවාහ වෙද්දී මගේ වයස අවුරුදු දහනමයයි.

ඒ කියන්නෙ ඔබ ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ විවාහ වුණාට පස්සෙ...?
ඔව්.. එයා හරි ආසයි කලාවට. සින්දු අහන්න එයා හරි ආසයි. ඒ දවස්වල ලංකාවේ හැමෝම ගාව නැති කාලේ එයා ළඟ Akai ටේප් රෙකෝඩරයක් තිබුණා. ඉතින් ඒ දවස්වල එයා හින්දි සින්දු දාගෙන ඒවා ගායනා කළා. ඒ කාලේ මගේ පුතා සුමුදු රණසිංහට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ සරත්ගේ නිමල් සිල්වා කියන යාළුවා මාර්ගයෙනුයි. ඉතින් අපේ පුතාව චිත්‍රපටයකට මාලනී ෆොන්සේකාගේ අන්ධ දුවෙක්ට රඟපාන්න තෝරාගත්තා. එතකොට පුතාගේ වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ දවස්වල කෙල්ලෙක් වගේ හරි ලස්සනයි. ඉතින් පුතාව එක්කගෙන අපි යාපනයේ ෂූටිං ගියා. එතනදී මට විමල් කුමාර ද කොස්තා, ජයසේකර අපොන්සු වගේ අයව මුණගැහුණා. ඒ මුණගැහීමේ දී ඒ අය අපිට කිව්වා අපි නාට්‍යයක් කරමු කියලා. ඊටපස්සෙ අපොන්සු අයියා සීමා බන්ධන කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒකෙ මම රඟපෑවා වගේම නාට්‍ය නිෂ්පාදනයත් කළා. ඒක තමයි මගේ පළවෙනි වේදිකා නාට්‍ය. ඊටපස්සෙ වේදිකා නාට්‍ය කිහිපයකට පස්සෙ චිත්‍රපට වගේම පළමු ටෙලිනාට්‍ය වුණු දිමුතු මුතු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමන තමයි මේ අදත් යන්නෙ.

අධ්‍යක්ෂණයට යොමුවුණේ කොයි කාලෙදිද...?
කාලයක් මම රඟපෑමේ කටයුතුවල නිරතවුණාට පස්සෙ මටම හිතුණා අධ්‍යක්ෂණය කළොත් හොඳයි කියලා. ඉතින් දැන් අවුරුදු හත අටකට කලින් මට ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හරි ආසාවක් ආවා. ඒ වෙනකොට මගේ සැමියාත් මියගිහින්. ඊටපස්සෙ මම බොහොම අමාරුවෙන් මගේ යාළුවෙක්ව නිෂ්පාදනයට කතා කරගෙන මගේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ.

අද වෙනකොට ඔබ ප්‍රවීණ මැහුම් උපදේශිකාවක් විදිහටත් කටයුතු කරනවා. කොහොමද මේ අඩිතාලම දැම්මෙ...?
මගේ අම්මා ගුරුවරියක්නෙ. මම අවුරුදු දහයේ ඉඳන් මගේ අම්මා කවදාවත් මට ඇඳුමක් මහලා දුන්නෙ නෑ. අම්මා රෙදි කපලා දෙනවා. මම තමයි මගේ ඇඳුම් මහගන්නෙ. ගෙදර තිබුණු මැෂිමෙන් පුටුව උඩට කොට්ටයක් දාගෙන මම ඇඳුම් මැහුවා. ඒ තරමට මම මැෂිමට පවා උස මදි. අවුරුදු කාලෙට අපේ ගෙදර ගොඩක් ඇඳුම් මැහුවා. ඒ හැම ඇඳුමක්ම අම්මා මා ලවා මස්සන්න පටන් ගත්තා. අපේ පවුලේ පිරිමි ළමයි තුනයි, එක ගෑනු ළමයයි. ඉතින් හැමදෙයක්ම තනියම මම ඉගෙන ගත්තා. ඉතින් ටිකින් ටික මම මගේ යාළුවන්ට පවා ඇඳුම් මහලා දුන්නා. හැබැයි සල්ලි ගන්නෙ නෑ. ඔහොම ඉඳිද්දී මම විද්‍යානුකූලව ඇඳුම් මැසීම පිළිබඳව ඉගෙන ගත්තා. මගේ හොඳම යාළුවෙක් තමයි දීපිකා ගුණසේකර කියන්නෙ. දීපිකා තමයි මට කිව්වේ එයාගේ මනමාලියන්ගෙ ඇඳුම් මහන්න කියලා. මම මුලින්ම මල් කුමාරියකගේ ගවුමක් මහලා රුපියල් පනහක් ගත්තා. ඒ ආපු ගමන තමයි මේ. අද මම විද්‍යානුකූලව ලබාගත් දැනුම උගන්වන මැහුම් පාසලක් පවත්වාගෙන යනවා.

ඔබට හිටපු එකම දරුවා අද ඉන්නෙ විදෙස්ගතවෙලා...?
ඔව්.. අපිට හිටියෙ එක පුතෙක්. දැන් පුතත් විවාහකයි. එයාට එක පුතෙක් ඉන්නවා. ඒ කට්ටියම ඉන්නෙ එංගලන්තයේ. අද මම ජීවිතේ ගෙනියන්නෙ තනියම. මට යාළුවෝ උදවු කරනවා. විශේෂයෙන් දීපිකා ගුණසේකර මා ගැන හොයලා බලනවා. දීපිකා කියන්නෙ හරිම ආදරණීය යාළුවෙක්. මම මගේ දරුවාට හොඳට ඉගැන්නුවා. ඉතින් ඒ හැමදෙයක්ම මම කළේ තනි ධෛර්යයෙන්. එයා රටවල් කිහිපයකටම ගිහින් තියෙනවා. පුතා අද ඉන්න තත්ත්වය ගැන ඇත්තටම මට තියෙන්නෙ ලොකු සතුටක්.

ඒ කියන්නෙ මේ හැම ජයග්‍රහණයක් පිටුපසම ලොකු මහන්සියක් කැපකිරීමක් දුක් විඳීමක් තියෙනවා නේද...?
ඔව්... අම්මෝ ඒ කාලය ඇත්තටම දුකක්. දරුවා එක්ක මම ජීවිතේ තනිවෙද්දී මම ජීවිතේ ගෙව්වේ පුදුමාකාර දුකකින්. ඒ දවස්වල ෂූටිං තියෙන කාලෙදීම තමයි මම මේ මහන්නත් පටන් ගත්තේ. රඟපෑම්වලින් ලැබෙන මුදල් ඒ කාලේ ප්‍රමාණවත් වුණේ නෑ. ඉතින්... දූ දරුවෝ කරන කාලෙදී මම තව ළමයෙකුත් තියාගෙන මෙහෙ මහනවා. මට තාම මතකයි ඒ කාලේ මට තිබුණේ එක මැෂිමක් විතරයි. මම උදේ පාන්දරම නැඟිටලා ඇඳුම් ටික කපනවා. එහෙම කපලා මම වෙනවෙනම ලියලා තියලා ෂූටිංවලට යනවා. අර ගෑනු ළමයා ඇවිත් මැහුම් ටික මහනවා. හැබැයි එයාට ඇඳුම්වල අත් අල්ලන්න බෑ.

ඒ නිසා ඇඳුම්වල අත් අල්ලන්නෙ මම හැමදාම රූට ෂූටිං ඉවරවෙලා ගෙදර ඇවිත්. මම අර ඇඳුම්වල අත් මහනවා විතරක් නෙමේ, මහ රෑ වෙනකම් තව අලුත් ඩිසයින් මහනවා. ඇත්තටම ඒ දවස්වල මට නිදාගන්න වෙලාවක් නෑ. ඒ දවස්වල මට මගේ මැහුම්වලට උදවු කරන ළමයාව මුණගැහෙන්නෙ කලාතුරකින්. ලියුම් ලියලා තියලා තමයි ෂූටිංවලට යන්නෙ. එයා මහන්න එද්දී මම නෑ... මම රෑවෙලා ගෙදර එද්දී එයා නෑ. ගෙදරින් අකමැතිවෙලා හිතුවක්කාරකමට කසාද බැඳපු මට මගේ දරුවා උස්මහත් කරන්න උදවු කරන්න කවුරුත් ඒ දවස්වල හිටියේ නෑ. හැබැයි මගේ ජීවිතේ වැඩිපුරම ගෙවුණේ තනියම තමයි. මගේ සැමියා මියයද්දී මගේ පුතාගේ වයස අවුරුදු දොළහක් විතර ඇති.

මේ වෙනකොට තනියම ගෙවන මේ ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ...?
වැඩ කරන නිසා තනිකම ලොකුවට දැනෙන්නෙ නෑ. හැබැයි වෙලාවකට මහරෑට මහ පාළුවක් තනිකමක් දැනෙනවා. ඒ වෙලාවට මගේ තනිකම මකන්නෙ මගේ රූපවාහිනිය තමයි. මම හැමවෙලේම වැඩ කරනවා. කතාවක් ලියනවා. පොත් කියවනවා. චිත්‍රපට බලනවා. හැබැයි තනියම ගෙවන මේ ජීවිතේ දැන් මට හොඳට හුරුයි.