" මේ හැමදේම කරන්නේ මිනිස්සු සතුටු කරන්නනේ , මමත් ජොලියේ ඉන්නවා" කාලෙකට පස්සේ පේෂලගෙන් අලුත් වැඩක් ගැන අපූරු කතාවක් .!

ගායන ශිල්පි පේෂල මනෝජ් සිය නව කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින් ,

 පේෂල ඉතින් කොහොමද ?

වරදක්‌ නෑ. ජොලියෙන් හොඳින් ඉන්නවා.

මේ දවස්‌වල මොකද කරන්නේ ?

මේ දවස්‌වල වැඩ ඉතින්. මගේ ඇකඩමි එකේ වැඩ
කරගෙන යනවා. ඒත් එක්‌කම මගේ බෑන්ඩ් එක පේෂ්කාර. ඒකෙත් වැඩ කරගෙන යනවා. තව චැම්පියන් ස්‌ටාර්, ස්‌ටාර් සිට්‌ ඒ වගේ වැඩත් එක්‌ක තමයි ඉතින් මේ දවස්‌වල බිසී වෙලා ඉන්නේ.

බෑන්ඩ් එක ගැන යමක්‌ කිව්වොත් ?

බෑන්ඩ් එක පේෂ්කාර. දක්‌ෂ සංගීත කණ්‌ඩායම් ගණනාවක්‌ ලංකාවේ ඉන්නවා. ඒ අතරින් අපිත් එක බෑන්ඩ් එකක්‌ විතරයි. අපි ඉතින් හැම වෙලාවෙම හිතන්නෙ අපි ඉගෙනගත්ත දෙයින් වැඩක්‌ ගන්න තමයි. ඒ හින්දා වෙස්‌ටර්න් සහ ක්‌ලැසිකල් දෙකම මික්‌ස්‌ කරගෙන දැනට අපි යනවා. අනිත් බැන්ඩ් එක්‌ක වෙනස්‌ විදියට යන්න තමයි අපි බලන්නෙ.

කොහොමද බෑන්ඩ් එකට ලැබෙන ප්‍රතිචාර ?

ඇත්තටම මිනිස්‌සුන්ගෙන් ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්‌සු අපෙන් ලොකු වෙනසක්‌ බලාපොරොත්තු වෙනවා. මේකේ ඔක්‌කොම ඉන්නේ ලංකාවේ සහ පිටරට යුනිවසිටිවල සංගීතය ඉගෙනගත්ත සහ ඉගෙනගන්න අය.

රඟපාන්න තිබුණ අදහස අයින් කරගත්තද ?

රඟපෑව කියන්නේ මම දේවින්ද්ගේ බලවත් ඉල්ලීම නිසයි ඒක කළේ. ඔහු මගේ හොඳම යාළුවෙක්‌. ඔහුගේ වචනෙ නිසා මං එහෙම කළා. රඟපාන්න අදහසක්‌ නැහැ. මට වඩා දක්‌ෂ කලා ශිල්පීන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් ඒ වැඩේ කරගෙන යයි. අපි මොනවටද ඒවා කරන්න යන්නේ.

කොහොමද ඒ චරිතෙට ලැබුණු ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඊට පස්‌සෙ රගපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා ඉතින්. ඒ මගෙන් බලාපොරොත්තු වෙන දේ මම වෙනත් විදි වලින් ප්‍රේක්‌ෂකයාට දෙනවා. මම හැම වෙලාවෙම බලන්නේ සාමාන්‍ය ජීවිතේ ඉන්න විදියටම මිනිස්‌සුත් එක්‌ක ඉන්න. ලංකාවෙ මිනිස්‌සුත් කැමැති එහෙම. ගම් වලට එහෙම ගියාම මිනිස්‌සු කියනවා මම තමන්ගෙම කෙනෙක්‌ වගේ කියලා. ඒක තමයි මිනිස්‌සු බලාපොරොත්තු වෙන්නේ. ඒ අය කැමැති එහෙම. අපි මේ හැමදේම කරන්නෙ මේ අහිංසක මිනිස්‌සු සතුටු කරන්නනේ. ඒක කුමන විදියකින් කරත් එකයි. මම ඒ දේවල් මිනිස්‌සුන්ට නිවේදනයෙන්, ගායනයෙන් වගේ දේවල් වලින් දෙන නිසා ඒකෙ අඩුවක්‌ මම දකින්නේ නැහැ.

පේෂල කියන්නෙ මිනිස්‌සුත් එක්‌ක ජීවත්වෙන කෙනෙක්‌ද කියල කෙනෙක්‌ ප්‍රශ්න කළොත් ?

ඔව් මම පොළොවෙ පය ගහල ජීවත්වෙන කෙනෙක්‌. මිනිස්‌සුන්ගේ දුක දන්න කෙනෙක්‌. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්‌. මිනිස්‌සුත් එක්‌ක හොඳ සම්බන්ධතාවක්‌ තියාගෙන ගියාම ප්‍රශ්න නෑ. මොකද අපේ ජනප්‍රියත්වය තියෙන නැතිවෙන දෙයක්‌නේ. ඒ හින්ද ඒක දැනගෙන මිනිස්‌සුත් එක්‌ක ඉන්න ඕන. නැත්නම් අපි පරාදයි. අපි ඉන්න සාමාන්‍ය විදියටම හිටියම හරි. එතකොට ප්‍රශ්න නෑනෙ. ඒ නිසානේ චැම්පියන් ස්‌ටාර් අවුරුදු පහක්‌ විතරම දුවන්නේ. මිනිස්‌සු කැමැති ඒ සාමාන්‍ය මනුස්‌සයට.

ළඟදි අලුත් සිංදුවක්‌ කරන්න අදහසක්‌ නැද්ද ?

මේ දවස්‌වල කරගෙන යනවා සිංදු කිහිපයක්‌. මම උත්සාහ කරන්නේ මේක ඇතුළේ අලුත් දෙයක්‌ කරන්න. ඉගෙනගෙන ආපු දේවල් වලින් වැඩක්‌ ගන්න ඕනනේ. ඒකෙ වටිනාකම අදට නැතත් අනාගතේට හරි වටිනාකමක්‌ අරන් ඒවි.

මොනවද අනාගත බලාපොරොත්තු ?

බලාපොරොත්තු කියන්නෙ ඉතිං මේ රටට කලාව පැත්තෙන් මොනව හරි හොඳ දෙයක්‌ කරන්න තමයි. ගිය අවුරුද්දෙ බැලේ එකකුත් කළා. බලමු ඉතිං.

විවාහ වෙන්න අදහසක්‌ නැද්ද මේ අවුරුද්දෙවත් ?

තාම නෑ. බලමු ඉතිං ඉස්‌සරහට.

ඒ කෙනා කලාවෙන්ම වේවිද ?

එහෙම කියන්න බෑ. නිදහසේ වැඩ ටික කරගෙන යන්න වාතාවරණයක්‌ හදල දෙන කෙනෙක්‌ නම් ඕකේ. බලන් ඉමු ඒ වෙලාව එනකන්.