"ඔහු මගෙන් ඈත් වුණාට පස්සේ මොනාද මම ඊළගට කරන්නේ කියලා තමයි හිතුවේ.." ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු - Exclusive

ඇයගේ ප්‍රතිභාපුර්ණ රංගනයෙන් සිංහල සිනමා කර්මාන්තය වර්ණවත් වුණා කිව්වොත් නිවැරදියි. 65 වර්ෂයේ රංගන ජිවිතයට ප්‍රවිෂ්ඨය ගත් නීටා ප්‍රනාන්දු  පරසතු මල් සිනමා සිත්තමට ප්‍රධාන චරිතයක් වී සිනමා කෘති රැසකට සම්බන්ධ වූ ඇය  75 වර්ෂයේ විදෙස් ගත වෙනවා. නීටා ප්‍රනාන්දු පසුව යළිත් දකින්නේ වර්ෂ ගණනකට පසුවයි. ඇය දශක දෙකකටත් අධික කාලයක් ආදරණිය සැමියා සමග විදෙස්ගත වී යළිත්
සිනමාවට එක් වෙනවා. ඇයගේ සිනමාවේ දෙවැනි ගමන සනිටුහන් වෙන්නේ පවුරු වළලු චිත්‍රපටියෙන්. රංගන ශිල්පිණියක් වගේම නිෂ්පාදිකාවක් වූ නීටා ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් නිළියක්. එදා හා අද ගැන නීටා කතා කළේ මේ අයුරිනුයි.

නීටා ප්‍රනාන්දු කියන්නේ 60, 70 දශකවල සිනමාවේ  ප්‍රභල චරිතයක්. එදා රගපෑමේදී දකින්න ලැබුණු ප්‍රමිතිය අද බිහිවෙන පිටපත් තුළ දකින්න නැති නිසාද ඔබේ රගපෑම අඩුවෙන් දකින්නේ..?
ඔව්. 60 දශකයේ වගේ නිර්මාණ බිහි වෙනවා අඩුයි. චරිත ලැබෙනවා කියලා හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න මම කැමති නැහැ. මගේ වයසත් එක්ක මට උචිත නිර්මාණ සදහා මම දායක වෙනවා.

ඔබව ළගදීම දකින්න ලැබෙන්නේ..?
ඒඩ්ස් ආසාධිත කතා තේමාවක් යටතේ වගේම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වුණු කතා තේමාවක් යටතේ සිනමා කෘති දෙකක් නිර්මාණය වුණා. මාව මේ නිර්මාණ දෙකෙන්ම දකින්න ලැබෙනවා. සමාජය දැණුවත් කිරීමේ තේමා නිසා මම බොහොම කැමැත්තෙන් සම්බන්ධ වෙන්නේ.

ඇතැම් රසිකයින් නළු නිළියන්ගේ ප්‍රතිරූපය බොහෝ දුරට සංසන්ධනාත්මක කරන්නේ දායක වෙන චරිත ඔස්සේ. ඔබ සම්බන්ධ වුණු චරිත නිසා ඔබව ප්‍රේක්ෂකයින්ගේ විවේචනයට ලක් වෙලා තිබෙනවද..?
එහෙම සිදුවීම් වලට නම් මම මුහුණ දීලා නැහැ. මම ඇතැම් නිර්මාණවල පුංචි කොටසකට පෙනී ඉදලා තිබෙන අවස්තාවක නම් ඇයි ඒ වගේ චරිතවලට ගියේ කියලා අහලා තියෙනවා. ඒ හැරෙන්න මාව ප්‍රතික්ෂේප වෙලා නැහැ.

ඒත් එදා ලැබුණු ජනතාවගේ ආදරේ ඔබ තවමත් විදිනවා ඇති..?
මම නිර්මාණවලට සම්බන්ධ වුණු මුල් කාලේ චිත්‍රපටි බොහෝමයකට රංගනයෙන් දායක වෙලා තිබුණත් ඒවා තිරගත වෙද්දී මම ලංකාවේ හිටියේ නැහැ. විවාහ වෙලා කැනඩාවට ගියා මගේ සැමියා එක්ක. මම කැනඩාවේ ඉන්න කාලේ තමයි මම සම්බන්ධ වුණු සේරම නිර්මාණ තිරගත වෙන්නේ. ඒ ඒ චරිතවලට ප්‍රතිචාර ලැබෙද්දී ඒ ප්‍රතිචාරවල සතුට මට අත්විදින්න බැරි වුණා. ඒ කාලේ පොස්ට් කාඩ් හෝ ලියුම්නේ එන්නේ. ගෙදරට ලියුම් එද්දී මම නැහැ. ඒ ගැන පොඩි දුකකුත් තිබුණා. නමුත් මම සැමියා එක්ක සතුටින් පවුල් ජිවිතේ රසවින්දා. පහු කාලේ ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වුණා. එතකොට ලැබුණු ප්‍රතිචාර අත්වින්දා. තවම ඒ ආදරේ ලැබෙනවා. ඇත්තටම සතුටක් තියෙනවා ලැබෙන ප්‍රතිචාර ගැන.

රිදී තිරයේ හිටපු ප්‍රේමාන්විත චරිතයකට හිත ගියේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
දුහුල් මලක් චිත්‍රපටයේ රෝහන්ට මම ගොඩක් ආදරේ කළා. නිර්මාණය පුරාවටම මම සැබෑවටම වගේ රොහාන්ගේ ආදරේ වින්දා. ඒ ආදරේ මට දැනුණා. රොහාන්ට රගපෑවේ රවින්ද්‍ර රන්දෙණිය. මම හිතනවා නිර්මාණය තුළදී ඒ චරිතයට සැබෑවටම ආදරේ කරන්න ඕන කියලා. එහෙම වුණොත් තමයි චරිතය සාර්ථක වෙන්නේ. තව කෙනෙකුට දැනෙන්නේ.

ඔබ ජනප්‍රිය තරුවක් වෙන යුගයේම විවාහ වෙනවා. ඔහුව මුණගැහෙන්නේ..?
ඔහුව මට මුණගැහෙන්නේ යාළුවෙක් මාර්ගයෙන් ආ විවාහ යෝජනාවක් විදිහට. ඔහු ගෙදරට මම ගැන යෝජනා කරනවා. මම දෙතුන් වතාවක් කල්පනා කරලා අම්මා කරන යෝජනාවට හරිම අකමැත්තෙන් කැමති වෙනවා. ටිකක් ආශ්‍රය කරලා බලලාම කැමැත්ත හෝ අකමැත්ත කියන්න. සුමාන දෙකක් ඔහුව ආශ්‍රය කරලා ඔහු හොද පුද්ගලයෙක් බව හැගුණ නිසා කැමති වෙලා විවාහ වෙනවා. විවාහයත් එක්ක කැනඩාවේ යනවා. මම ඔහුට ලං වෙන්නේ ටික ටික. ආශ්‍රය කරනකොට තමයි ඔහුව අවබෝධ කරගත්තේ. මම හරියට එයත් එක්ක රණ්ඩු කළා. ආදරේ කළා. ඔහු මට ලෝකයම පෙන්නුවා. 75 කැනඩාවට ගිහින් එන්නේ 95.

ඔහු නිසා ඔබේ සිනමා ගමන දශක දෙකක් නතර වෙනවා නේද..?
ඔව්. නමුත් එයා මට කිව්වේ මම මැරෙන්න කලින් ආයෙමත් පරිස්සමට ලංකාවට එක්කගෙන ගිහින් ඔයාව සිනමාවට ඇතුල් කරලා තමයි මම මැරෙන්නේ කියලා. ඒ විදිහටම ඔහු මම නිසා ලංකාවට එනවා. මගේ අම්මා ඉන්නේ ලංකාවේ. මාව පරිස්සම් කළා. මම නිසා ලංකාවට ඇවිත් මට අවස්ථාව  දුන්නා චිත්‍රපටි නිෂ්පාදනය කරන්න. එහෙම තමයි මගේ සිනමා දෙවැනි ගමන පවුරු වළලු තුළින් එලියට එන්නේ. ඔහු පොරොන්දු වූ පරිදිම මාව සිනමාවට ගෙනාවා. මාව නිෂ්පාදිකාවක් කළා. අදටත් මම ජිවත් වෙන්නේ ඔහු මම වෙනුවෙන් එකතු කරපු මුදලින්. ඒ වගේම කියන්න ඕන වර්ෂ 1981දී ඔහු මම වෙනුවෙන් සුරිය කන්ද නිෂ්පාදනය කළා කියලත්.

ලංකාවට ඇවිත් ටික කලකට පසුව ඔබට ඔහුව අහිමි වෙනවා. ඒ තනිකම වසර ගණනාවක් පුරා විදිමින් ජිවිතේ ගෙවන්න ඇසිරූ වෙන්න ඇති..?
99 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනිදා ඒ ආදරණිය හිත මාව දාලා මේ ලෝකෙන් ගියා. එයා නැති වුණේ හාර්ට් ඇටෑක් එකකින්. නින්දෙන්ම තමයි නැති වෙලා තියෙන්නේ. උදේ නැගිටලා කතා කරනකොට එයා නැගිට්ටේ නැහැ. ඒ මොහොතේ මම පුදුමාකාර විදිහට දුක් වුණා. අවසානය දක්වාම මාව බලා ගත් ඔහු මගෙන් ඈත් වුණාට පස්සේ මොනාද මම ඊළගට කරන්නේ කියලා තමයි හිතුවේ. සැහෙන කාලයක් ගියා මගේ හිත හදා ගන්න. අපි දෙන්නට දරුවොත් නැහැනේ. දැන් නම් මම අම්මා එක්ක ජිවත් වෙනවා පුළුවන් විදිහට උදව් ඉල්ලන අයට උදව් කරගෙන.

කැනඩාවේ ජිවිතේ ගැන කිව්වොත්.. දැන් කැනඩාව අමතක කරලද..?
මම අවුරුදු 18ක් එහේ Montreal General Hospital එකේ වැඩ කළා. රෝගීන් එක්ක හරිම ඉවසීමේන් වැඩ කළේ . ඒ ජීවිතෙත් සුන්දරයි. විවිධ ජාතිකයින් ඉන්නවා. ජොබ් එක නිසා මම ප්‍රංශ භාෂාවත් ඉගෙන ගත්තා. දැන් මම ඉඩහිටලා යනවා. එහෙත් අමතක කරලා නැහැ.

විවිධ කඩයිම් පසුකරමින් ආ මේ ජිවිත ගමන දෙස යළි හරි බලද්ද මොකද හිතෙන්නේ කියලත් කියමු..?
හෙට දවස අපිට අයිති නැහැ. මේ ආ ගමන ගැන මම තෘප්තිමත්. සතුටින් ජනතාවගේ ආදරේ එක්ක ජිවත් වෙන්න තමයි හිතන්නේ.

හර්ෂණී වීරරත්න