"ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ විය යුතු දේවල් තමයි දැන් සිද්ධවෙලා තියෙන්නේ "- නර්මදා යාපා අබේවර්ධන - Photos

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ නිවේදනයෙන් මෙන්ම නිරූපණයෙන්ද රසික හදවත් දිනාගත් තරුවක් කිව්වොත් වැරදි නැහැ. මේ දිනවල හිරු ටී.වී ජයපිට ජය වැඩසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය, ඇයගේ වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේදී රසමුසු තැන් කිහිපයක් ගැන
ජාතික පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.

මොනවද අලුත් තොරතුරු?

අලුත් තොරතුරු කියන්නේ ඉතින් හැමදාමත් වාගේ කාර්යබහුලවම තමයි ජීවිතේ ගෙවෙන්නේ. නිවේදන කටයුතුත් කරගෙන හොඳින් ජීවිතේ ගත කරනවා.

පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු මොනවාද?

පෞද්ගලික ජීවිතේ ඉතින් පුතත් එක්කම තමයි ගතවෙන්නේ. එයාට දැන් අවුරුදු තුනහමාරක්. දැන් පුතා ගේට්වේ කො‍ලේජ් යනවා. එන්න එන්නම එයා ලොකු වෙනකොට ඉතින් මගෙන් වැඩ වැඩිවෙනවා. ජීවිතෙත් අලුත් වෙනවා.

ඒ කියන්නේ පුතා නිසා ජීවිතේ කාර්යබහුල ඇති?

ඔව්, ඉතින් නිතරම එයාට අවධානය දෙන්න ඕනමනේ. හැම වෙ‍ලේම එයා ගැන සෙවිල්ලෙන්ම තමයි මම ඉන්නේ.

ඇයි ඔබ රංගනයට පිවිසෙන්නේ නැත්තේ?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ මිස් ශ්‍රී ලංකා හරහා. ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් ඊළඟට තෝරාගන්නේ රංගනය. නමුත් මට හිතෙනවා මං ළඟ රංගන හැකියාවක් නෑ කියලා. ඒ නිසා මම නිවේදනය තෝරාගන්නවා.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ගොඩක් හොඳ විශිෂ්ට නිර්මාණවලට පවා මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රංගනය හරහා මට ගොඩනැගෙන්න පුළුවන් කියලා විශ්වාසයක් මට නැහැ.

මොනවද මේ දවස්වල කරන නිවේදන කටයුතු?

හිරු ටීවී එකේ ජය පිට ජය වැඩසටහන මේ දවස්වල කරගෙන යනවා. ඒ වැඩසටහනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිවේදනය ඔබට පහසු කාර්යයක්ද?

නිවේදනය තුළ මම මාවම විඳිනවා. මොකද නිවේදනය කියන්නේ මට හරි නිදහස් දෙයක්. එතැන ඉන්නේ මම තමයි. ඒ නිසා නිවේදනය මට අනවශ්‍ය පීඩනයක් ‍නෙවෙයි.

මෙතෙක් ජීවිතේ මගහරුණු දේවල් තියෙනවාද?

ජීවිතේ යමක් සිද්ධ වුණා නම් වුණේ හේතුවක් ඇතුව. හැමදේම වෙන්නේ හොඳට කියනවානේ. ඒ නිසා ජීවිතේ හැම තත්ත්පරයක්ම නව ආරම්භයක්. මේ දැන් ගෙවන ජීවිතේට මම ගොඩක් කැමතියි.

හරි වෙලාවට හරි තීරණ ගත්තා කියලා හිතනවාද?

මගේ ජීවිතේ අනවශ්‍ය කිසිම දෙයක් සිද්ධවෙලා නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් වුණා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ විය යුතු දේවල් තමයි දැන් සිද්ධවෙලා තියෙන්නේ.

කොහොමද හැමදාම ඔහොම ශරීරය පවත්වාගෙන යන්නේ?

මම සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජිම් එකේම කාලය ගතකරන කෙනෙක්. පුතාව උදේට ඉස්කෝලෙට දාලා මම ඊළඟට යන්නේ ජිම් එකට. ඒක තමයි ඉතින් ශරීරය මෙහෙම පවත්වාගෙන යාමේ රහස. එහෙම නැතිව කෑමබිමෙන් නම් මට පරිස්සම් වෙන්න හරි අමාරුයි.

දැන් ඔබ තුළ හිටිය නිරූපිකාව දකින්න ලැබෙන්නේ නෑ?

නිරූපණය නතර කරලා දැන් සෑහෙන කාලයක්. පුතත් එක්ක ගෙවන මේ කාර්යබහුල ජීවිතේ ඇතුළේ නිරූපණයට වෙන් කරන්න දැන් ඉඩක් ලැබෙන්නේ නැති තරම්.

සැබෑ ජීවිතේ ඔබ සැහැල්ලු චරිතයක්ද?

සැබෑ ජීවිතේ සැහැල්ලුව අත්විඳින්න හරි අමාරුයි. නමුත් අනවශ්‍ය විදියට ජීවිතේට එන ප්‍රශ්න ළඟම නැවතිලා ඉන්න කෙනෙක් නම් ‍නෙවෙයි. මම. මට මගේ පුතා ඉන්නවා, එයා තමයි ජීවිතේ ලොකුම සම්පත.

ජීවිතේ මගහරුණු පුද්ගලයන් ගැන මොනවද කියන්න තියෙන්නේ?

එකිනෙකාගේ ඕනෑ එපාකම් විවිධාකාරයි. හැමෝටම එක හා සමාන අවශ්‍යතා හා වුවමනා ‍නෙවෙයිනේ තියෙන්නේ. එතැනදි කාලයත් එක්ක වෙනස්වීම් සිද්ධ වෙනවා. හැබැයි මට ලැබුණු දේවල් එක්ක මම නම් කවදාවත් වෙනස්වෙලා නෑ. අදටත් මගෙන් විය යුතු යුතුකම් සහ වගකීම් මම නොපිරිහෙලා ඉටු කරනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවාද?

ජීවිතේ එකම බලා‍පොරොත්තුව මගේ පුතා. එයාගේ ඉගෙනීම සාර්ථක කිරීම සහ එයාව හොඳ පුරවැසියෙක් කිරීමයි මගේ අරමුණ. ඉතින් මගේ පුතත් එක්ක වගේම නිවේදන කටයුතුත් කරගෙන ජීවිතේ ගත කිරීමයි බලා‍පොරොත්තුව.

- නඳුනි ආරිවංශ -