“හිතපු නැති වෙලාවක එයා මගෙ කාමරයට ආවා, මට දරුවෙක් ලැබෙන්න ආවා, මං ඌට ඇසිඩ් ගැහුවා. ඇස් දෙකම පිච්චිලා යන්න ගැහුවේ”

කාන්ති, ජීවිතයේ මහමෙරක් උසට හීන දුටුව අහිංසක ගැහැනියක්.
ඒ වගේම ආදරේකට රැවටිලා අන්තිමට ජිවිතෙන් භාගයක්ම හිරගෙදර ගත කළ ගැහැනියක්.
කාන්තිට වයස අවුරුදු පනහක් විතර ඇති. අපට ඈ ගැන කියන්න පුළුවන් එපමණයි. ඒ ඇගේ කතාව ඇය විසින්ම ඔබට කියන්නට අවසර ඉල්ලු නිසයි.
“මං කාන්ති, පුංචි කාලේ ඉඳලම කවුරුත් මට කිව්වේ කළු කියලා. ඒ මම කළු නිසා. ගෙදර අනිත් අය මට වඩා සුදුයි.

සමහරු මට කළු නංගි කිව්වා. තව සමහරු කළු අක්කා කිව්වා. තවත් අය මට කළු චුටි කිව්වා.
මං ඒ කා එක්කවත් අමනාප වුණේ නැහැ. පුංචිම දවස්වල නම් මගේ හිතේ පොඩි තරහක් තිබුණා.
ඇයි මං මේ තරම් කළු වුණේ කියලා. කොණ්ඩය උකුල දක්වා දිගට තිබුණ නිසා මං මගේ පාට ගැන වද වුණේ නැහැ. ඒ වුණත් හැමෝම මට ආදරය කළා. අපේ අම්මා රස්සාවක් කළේ නැහැ. හැමදේම කළේ තාත්තා. තාත්තා අපිට පුදුම විදිහට ආදරෙයි.
අක්කලා දෙන්නා ඉගෙන ගෙන ඉවරවෙලා විවාහ වුණා. මම දිගටම ඉගෙන ගත්තා. ඒත් මට විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා.
“නංගී බාහිරව විභාගය කරපුදෙන්. එයා උපාධිය ලබා ගන්න තුරු අපි වියදම් කරන්නම්.”
“ලොකු අක්කා අම්මට පොරොන්දු වුණා. මං ඉගෙන ගන්න ගමන් පුංචි රස්සාවකුත් කළා. ඔය අතරේ තමයි මට හිරන්තව හමුවුණේ. එයත් මා එක්කම උපාධිය කරන්න ආවා.”
“අපි අතර මුලින්ම තිබුණේ යාළුකමක්. ටිකක් කල් යනකොට අපිටත් නොදැනීම අපි ආදරේ කරන්නට පටන් අරගෙන. ඒ ආදරේට ලොකු අක්කා ඇරෙන්න වෙන කවුරුත්ම විරුද්ධ වුණේ නැහැ.
“උඹ මොකා එක්ක යාළු වුණාත් දැන්ම බඳින්නේ නැහැ. ඉගෙන ගෙන ගුරු පත්වීමක්වත් ලබා ගත්තට පස්සේ තමයි කරන ඕන මඟුලක් කරන්නේ.”
අක්කා මට සැර කරලා කිවිවා.
අපේ ගෙදර අම්මටත් වඩා බලය තිබුණේ ලොකු අක්කට. කවුරුවත් එයාගේ වචනයට පිටින් ගියේ නැහැ.
ශිරන්තගෙයි මගෙයි ආදරේ බොහෝම දියාරු විදිහට තිබුණේ. මට එයත් එක්ක එහෙ මෙහෙ යන්න තහනම්. හමුවෙන්න තහනම්.
අපි හමුවුණේ පන්තියේදී විතරයි. ඔහොම ඉන්න අතරේ තමයි පොඩි අක්කට බබා ලැබුණේ. අම්මා මාව යැව්වා පොඩි අක්කගෙ ගෙදර. මට මතකයි ලොකු අක්කා නම් ඒකට ඒතරම් කැමති වුණේ නැහැ.
මං පොඩි අක්කගෙ ගෙදර ගිහිල්ලා එයාට උදව් කළා.
ටික දවසක් යනකොට මස්සිනා ටිකක් එක විදිහක් කියලා මට තේරුණා. මුලදී හිතුණේ නැහැ එයා මට කරදර කරාවි කියලා. ඒත් හිතපු නැති වෙලාවක එයා මගෙ කාමරයට ආවා. අතේ පිහියකුත් තිබුණා. මාව මරනවා කියලා බය කළා. ඉන් පස්සේ මට ගෙදර යන්න ලැබුණේ නැහැ. කිහිප විටක්ම මට කරදර කළා. අන්තිමට හැමෝටම හොරෙන් මං ගෙදර ආවා. මාසයක් දෙකක් ගෙවිලා ගියා. මට දරුවෙක් ලැබෙන්න ආවා. අම්මා ලොකු අක්කා හැමෝම අල්ලගෙන මට ගැහුවා.”
“කවුද ඔය දරුවගේ තාත්තා”
“මං කාටවත්ම කිව්වේ නැහැ. මට බය හිතුණා මස්සිනා මාව මරයි කියලා. අපේ ගෙදර මළ ගෙයක් වගෙයි. ලොකු අක්කා හැමෝටම බැනලා යන්න ගියා. තාත්තා අසනීප වුණා. අම්මා බලාගත්ත අතේ බලාගෙන ඉන්න ගත්තා. හැමදේම වුණේ මං හින්දා. ඒ නිසා මං ගෙදරින් පැනලා ආවා. කවදාවත්ම ගෙදර යන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ගෙදරින් එළියට බැස්සේ.“
“යන්න එන්න තැනක් තිබුණේ නැහැ. පාරක් පාරක් ගානේ ඇවිද්දා.
වෙලාවකට හිතුණා බඩේ ඉන්න දරුවා නැති වෙනවා නම් හොඳයි කියලා. මගේ දරුවගේ වාසනාවට මැදිවියේ ජෝඩුවකට මාව හම්බ වුණා. ඒ ගොල්ලෝ මාව ගෙදර එක්කරගෙන ගියා. එතකොට බඩට මාස පහ සම්පුර්ණ වෙලා තිබුණේ. ඒ අයගේ දුවට දරුවෝ නැහැ. මගෙ දරුවව හදාගන්න ඒ ගොල්ලෝ කැමති වුණා. කාලය ගෙවිලා ගියා. මං සැප පහසුවට ජීවත් වුණා. දරුවා ලැබුණම මට දෙන්න ලෝබකමක් දැණුනා. ඒත් ගෙයක් දොරක් නැතිව තාත්තෙක් නැතිව දරුවෙක් හදන්නේ කොහොමද? මං දරුවව ඒ අයට දුන්නා. ඒ ගොල්ලෝ දරුවත් අරගෙන රට ගියා. මට සල්ලි දුන්නා. මං සතපහක් ගත්තේ නැහැ.”
“ලොකු නෝනා මාව රට යැව්වා. මං අවුරුදු දහයක් රට හිටියා. මම මගේ දරුවා බලන්න ආස හිතුණා.
ඒත් මං ඒ මතකය අමතක කෙරුවා. ඔය අතරේදී තමයි මට තවත් පෙම්වතෙක් මුණ ගැහුණේ. එයා මාව විවාහ කරගන්න පොරොන්දු වුණා. එයාව මුණගැහුණේ මැද පෙරදිගදී. මං හිතුවා මං ජිවිතේ දිනුවා කියලා.“
“නමුත් මට ආයෙත් වැරදුණා. මං හම්බකරපු හැම සතේම අරගෙන ඒ මිනිහා පැනලා ගියා. ලංකාවට ආවට පස්සේ හැමවෙලේම මගේ හිතේ වෛරය මතුවෙන්න ගත්තා. මස්සිනා ගැන තිබුණු තරහ නිසාම මං පිරිමි සංහතියටම වෛර කරන්න පටන් ගත්තා. මං හිතා ගත්තා මට ජිවිතේ වරද්දපු එකාගේ ඉඳලා මට වින කරපු හැම එකාගෙන්ම පළිගන්නවා කියලා. “
“ඒත් මගෙ මස්සිනා ඒ වෙනකොට ඇක්සිටන්ඩ් එකකින් මැරිලා.
ඒ මිනිහ මැරුණා කියලා දැනගත්තම මට ලොකු සතුටක් දැනුණා. ඊළඟට මං හෙව්වේ මගේ හැමදේම අරගෙන පැනලා ගිය මිනිහව.
අවුරුදු දෙකක් තිස්සේ මං ඌව හෙව්වා. අන්තිමට ඌ මට හම්බවුණා. මම දවස් ගානක් රැකගෙන හිටියා. මම හිතුවේ නැහැ ඒ මිනිහව අල්ල ගන්න පුළුවන් වේවි කියලා.
අන්තිමට මං උගෙන් පළිගත්තා. මං ඌට ඇසිඩ් ගැහුවා. ඇස්දෙකම පිච්චිලා යන්න ගැහුවේ. ඒක ඒ විදිහටම වුණා. ඉන් පස්සේ මිනිහා ළිඳේ පැනලා මැරුණා. මාව පොලිසියට අහුවුණා. හිරේ ආවේ නඩුවෙන් අච්චු ලැබුණු නිසයි. අවුරුදු ගාණක් ඉඳලා මම අද නිදහස් වෙලා යනවා.
මගේ හිතේ තිබුණු කතාව ඔයාලට කියපු එකත් මගේ හිතට සැහැල්ලුවක්. මම දුක් වෙන්නේ නැහැ. මොකද මං ඒ තරම් දරුණු වුණේ කියලා මට හිතාගන්න බැහැ.”
“ඒත් මගේ ජීවිතේ විනාශ කරපු උන්ගෙන් මං පළිගත්තා.“
ඇය සැනසුම් සුසුමක් හෙළන්නීය.
වසර ගණනාවක් හිරගෙදර සිටි ඇය ඉන් නිදහස් ව පිටව ගියාය. මේ වන විට ඇය කොහේ ඉන්නවාදැයි කියන්න දන්නා කෙනෙක් නැත.