බොරු ආවේශයෙන් කාන්තාවන් සිපගෙන ලිංගිකව හැසිරෙන්න ආරාධනා කළ කපුවා කපෝති

වතුපිටිවල මාතලානේ දේවාල කුටියක ආවේශ වී ශාස්ත්‍ර කියන මුවාවෙන් තරුණ කාන්තාවන් නොමග යවා ඔවුන් සිපගෙන ලිංගික හැසිරීමට ආරාධනා කොට බලපෑම් කළ බව කියන කපුවෙකුට අත්තනගල්ල මහේස්ත්‍රාස් දිනේශ් ලක්මාල් පෙරේරා තරයේ අවවාද කරමින් මුදලින් රුපියල්  හත්දහස් පන්සියයක හා දැඩි කොන්දේසි සහිත රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප නියම කර තිබෙනවා.

ශාස්ත්‍ර කියන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ඇල්.පී සුජීව ශ්‍රී ලාල්
කුමාර පෙරේරා (47) නමැති සැකකාර කපුවෙකුට මෙසේ ඇප නියම කෙරුණා.

ඇප තැබිමෙන් පසුව සෑම මාසකම තුන් වන ඉරිදා  දිනයන්හි පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ  නිට්ටඹුව පොලීසියේ පෙනී සිටින ලෙසට ද සැකකාර කපුවෙකුට නියම කෙරුණා.

තරුණ කාන්තාවකගේ පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ආවේශ වී ශාස්ත්‍ර කියන මුවාවෙන් මාතලාන ගම්මානයේ මහා භද්‍රකාලී දේවාලය නමින් මධ්‍යස්ථානයක් පවත්වා යන බවත් මෙයට මුලා වී පැමිණෙන සමහර තරුණ කාන්තාවන් හට ව්‍යාජ ආවේශයන් පෙන්වා එම කාන්තාවන් සිප ගෙන ලිංගිකව හැසිරීමට බලපෑම් සිදුකොට ඇති බවද හෙළිව තිබුණා.

මොහුගෙන් පීඩාවට පත් වී ඇති එක තරුණ කාන්තාවක් පොලීසීයට පැමිණිලි කළ බවත් තවත් කාන්තාවන් කීපදෙනෙකුම පැමිණ ඔවුන්ට සිදුකොට ඇති පීඩාවන් පිළිබද කරුණු කියා සිටියත් ඔවුන් විවාහක පුරුෂයන්ට නොදන්වා මෙම ස්ථානයට පැමිණ  ඇති හෙයින්  ලිඛිතව පැමිණිලි නොකළ බවත් පොලිසිය පැවසුවා.