හතුරු හරිම මිත්‍රශීලීයි , ඒ වුනාට හොද විනයක් තියා ගන්නවා " අලුතෙන් ඇවිත් ලෝක වාර්තා තැබු සුපිරි පිතිකරුවා රොෂේන් සිල්වා හතුරු ගැන කියූ කතාව .!

ප්‍රමාද වී හෝ තමන්ට ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතෙන්ම එක්වූ තරුව රොෂේන් සිල්වා පිළිබදව පසුගිය දිනවල ක්‍රිකට් ‍රසිකයන් අතර කතාබහට ලක්වුණා. පසුගිය බංග්ලාදේශ සංචාරයේදීද ටෙස්ට් තරගාවලියේ වීරයා වූ රොෂේන් සිය ක්‍රිඩා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින් ,



බංග්ලාදේශ සංචාරය සාර්ථකව අවසන් කළා?

බලාපොරොත්තු වුණාට වඩා දෙයක්‌ කරන්න ලැබුණා.

තරගාවලියේ වීරයා වෙන්නත් පුළුවන් වුණා?

උපරිමය කණ්‌ඩායමට දෙන එක තමයි මගේ වගකීම.

ලෝක පිතිකරු ලැයිස්‌තුවේත් 50 අතරට ඇවිත් මේ වෙද්දි?

50 අතරට එන්න බලාපොරොත්තුවක්‌ තිබුණා. ඒත් මෙච්චර ඉක්‌මනට එයි කියලා හිතුවේ නෑ. ඒ ගැන සතුටුයි.

තාම ටෙස්‌ට්‌ මැච් තුනයි. ලෝකයේ හොඳම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය අතින් පළමු පිතිකරුවන් 5 දෙනා අතර ඉන්නවා?

පෙළක්‌ අය කියනවා ඩොන් බ්‍රැඩ්මන්ව පාස්‌ කළා කියලා. ඒත් තාම මං ක්‍රීඩා කරලා තියෙන්නේ මැච් තුනයි. ඒ වගේ ක්‍රීඩකයින් අභිබවා ගියා කියලා කියන එක හරි නෑ. ඔවුන් ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ.

කොයි කාලෙද ක්‍රිකට්‌ පටන් ගත්තේ?

රාගම බැසිලිකා විදුහලෙන් ක්‍රිකට්‌ පටන් ගත්තේ. එතකොට අවුරුදු 8 ක්‌ විතර ඇති.

ඒ කාලේ හිතුවද මේ තත්ත්වෙට එන්න ලැබෙයි කියලා?

ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ. ඒත් අවු. 19 න් පහළ ක්‍රීඩා කරද්දී ආසාවක්‌ ආවා ජාතික පිලට ක්‍රීඩා කරන්න.

රොෂේන් වැඩියෙන් කැමති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ද?

ඔව්.

එතකොට එක්‌දින තරග?

බලාපොරොත්තුවක්‌ තියෙනවා. බලමු ඉදිරියේදී

පළමු පෙළ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌වල සිව්වැනි කඩුල්ල සඳහා තියෙන ලකුණු සබඳතාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන එක්‌ අයෙක්‌ ඔබ?

ඩකා ලීග් එකේදී මමයි මොමිනුල් හක්‌ එකතුවෙලා ලකුණු 276 ක සබඳතාවක්‌ පැවැත්වුවා. ඒක ලෝක වාර්තාවක්‌. මං 144 ක්‌ සහ මොමිනුල් 126 ක්‌ ඒ තරගයේදී ගැහුවා.

රොෂේන්ට පන්දු යවන්නත් පුළුවන්?

ඔව්. පිටදඟ පන්දු යවන්න පුළුවන්.

දැන් අවුරුදු 29 යි. ශ්‍රී ලංකා පිලට අවස්‌ථාව ලැබුණේ හොඳම කාලයේද?

මං හිතනවා මට අවස්‌ථාව ලැබුණේ හොඳම කාලේ කියලා.

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ නොවුණානම්?

එහෙනම් මේ වෙද්දී බැංකු අංශයේ රැකියාවක්‌ කරයි.

විවාහකයි?

ඔව්. මට අවුරුදු එකහමාරක පුතෙක්‌ ඉන්නවා.

කොහොමද බිරිඳගෙන් ලැබෙන සහය?

බිරිඳ නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. හැමදේම බැලන්ස්‌ කරගෙන එයා තමයි මගේ වැඩයි පුතාගේ වැඩයි සේරම හොයලා කරන්නේ. ඒක ලොකු හයියක්‌.

බිරිඳ ක්‍රිකට්‌ වලට ආසයිද?

එයා මං නිසා තමයි ක්‍රිකට්‌ බලන්න පටන් ගත්තේ. ඒත් ග්‍රවුන්ඩ් එකට ඇවිත් මැච් බලන්න කැමති නෑ. එයා බයයි මං අවුට්‌ වෙයි කියලා.

ක්‍රිකට්‌ හැර කැමති වෙනත් ක්‍රීඩා?

රග්බි වලට කැමතියි.

විවේකයක්‌ ලැබුණාම?

විවේකයක්‌ ලැබෙනවා හරි අඩුයි. එහෙම ලැබෙන හැමවෙලේම බිරිඳයි පුතයි එක්‌ක ඉන්නේ.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්‌ක වැඩ කරන්න පහසුද?

ගොඩක්‌ පහසුයි වැඩ කරන්න. අපේ රටේ ක්‍රිකට්‌වලට ඔහුත් සමග ලොකු ගමනක්‌ ඉදිරියේදී තියෙයි.

හතුරුසිංහ සැරයිද?

නෑ. ඔහු හරිම මිත්‍රශීලීයි. හොඳ විනයක්‌ එක්‌ක තමයි අපිව මෙහෙයවන්නේ. ඔහුට හොඳ ඉදිරි දැක්‌මක්‌ තියෙනවා.