ඝාතන සිදු කරමින්, මත් ද්‍රව්‍ය ජාවාරම ජයටම කල සල්ලාලයකු වූ ඩී. මංජු අවසන් ගමන් ගියේ මෙහෙමයි

දඩල්ලගේ මංජු නොහොත් ඩී.මංජු රණාලේ සමයං ගේ පාතාල කල්ලියේ සිටි ප්‍රබල සාමාජිකයෙකි. පසුගිය දින කිහිපය තිස්සේ රණාලේ සමයං කල්ලිය සහ මදුෂ් කල්ලිය එනම් අංගොඩ ලොක්කා ලඩියා කල්ලි ගහමරා ගනිද්දී පොලිස් විශේෂ කාර්යය බලකාය (STF) එල්ල කළ ප්‍රහාරයකින් ඩී.මංජු මිය ගියේය.

හෙරොයින් ඩීල් එකක් සඳහා මොහු වෑන් රථයකින් වත්තල සාන්න ආනා දෙව් මැදුර අසලට එන බවටත් මොහු සතුව ගිනි අවි ඇති බවටත් ලද තොරතුරකට
අනුව STF බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මෙහෙයුමක් දියත් කළේය. ඩී.මංජු ඝාතනය වන්නේ එම මෙහෙයුමේදීය. ඒ... යටත් වන ලෙස STF නිලධාරීන් දුන් නියෝග නොතකා ඔවුන් වෙත වෙඩි තැබීම නිසාය.

මෙම ගැටුම ඇතිවූයේ පසුගිය 23 වැනි දා දහවල් එකට පමණය. ඒ වේලාව වන විට වත්තල සාන්ත ආනා දෙව් මැදුර අවට ජනාකීර්ණ ස්ථානයක් බවට පත්ව තිබිණි. දෙව්මැදුරට පැමිණි පිරිස් මෙන්ම ඒ අසල වූ පෙර පාසලේ හා පාසලේ ළමයින් මෙන්ම ළමයින්ගේ මවුපිය වැඩිහිටියෝ ද බොහෝ පිරිසක් ඒ අසලට එක්රොක්ව සිටියහ. ඊට අමතරව මෙම පාසලට ළමයින් රැගෙන ආ බස් රථ, වෑන් රථ ඇතුලු වාහන නවතා තබන රථ ගාල ද ඒ අසල විය. පාසල අවසන් වන වේලාව බැවින් එම ප්‍රදේශය වඩාත් ජනාකීර්ණ බවට පත්ව තිබිණි.

ඒ අතර STF කණ්ඩායම ද පසෙකට වී ගිනි අවි රැගත් වෑන් රථය පැමිණෙන තුරු බලා සිටියේය. ලද තොරතුර නිවැරදිය. වෑන් රථය එම ස්ථානයට පැමිණ නතර කළේය. එවිට එක් අයකු වාහනයට ගොඩ විය. එහෙත්... වාහනය පිටත් වූයේ නැත. එන්ජිම පනගන්වාගෙන වාහනය නතර කරගෙන සිටී.

වහා ක්‍රියාත්මක වූ STF කණ්ඩායම වෑන් රථය වටලා ඉදිරිපස අසුනේ සිටි අය සහ රියදුරු ඇද එළියට ගත්තේය. එවිට පිටුපස අසුනේ සිටි අයකු සැඟවීමට උත්සාහ කරන බවක් පෙනිණි. එබැවින් මැද දොර විවර කිරීමට පෙර දැනුම් දීමක් ද කළේය. ඒ... අවි ඇත්නම් බිම දමා යටත් වන ලෙසටය. එලෙස කියමින් STF කණ්ඩායම මැද දොර විවර කිරීමට උත්සාහ කළේය.

එහෙත්... පිටුපස අසුනේ සිටි පුද්ගලයා ඒ අණ පිළිගත්තේ නැත. ඔහු එකවරම STF කණ්ඩායමට වෙඩි තබන්නට විය. එම වෙඩි පහර වෑන් රථයේ දොරට වැදිනි. ඒ සමඟම STF කණ්ඩායම ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර පිටුපස අසුනේ සිටි පුද්ගලයා බරපතල ලෙස තුවාල ලැබීය. ඔහු.. ඩී.මංජුය.

ඒ මෙහොතේම ඔහු රාගම රෝහල වෙත පිටත්කර හැරිය නමුත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මිය ගියේය. මොවුන් පැමිණි වෑන් රථයේ තිබී මිලි මීටර් නවය උණ්ඩ යොදන ර්ර්‍ථ 22 වර්ගයේ චීනයේ නිශ්පාදිත පිස්තෝලයක් හමු වූ අතර එහි මැගසිනයේ උණ්ඩ නවයක් තිබිණි.

මෙම වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කර තිබුණේ මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මුත්තු සෙල්වම් නැමැත්තාය. ඔහු වර්ථමානයේ දී වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා වුයේ කමල් රංජීත් ප්‍රනාන්දු යන අයයි. වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි ඔහු පනස් හැවිරිදි වියේ පසුවන අතර “රෙන්ට් ආ කාර්” සේවයක හිමිකරුවෙකි. එලෙසම ඩී.මංජු ගේ හොඳම ගෝලයෙකි.

මේ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ දී ඒ අසලට පැමිණි සැකකටයුතු වෑන් රථයක් එම ස්ථානයෙන් පලාගොස් ඇත. ඒ.. ඩී මංජුට ලබා දීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ වෑන් රථය විය යුතු බව STF බලකායේ සැකයයි. ඒ අනුව එම වෑන් රථය සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ද දියත් කර ඇත.

STF ප්‍රහාරයෙන් ඩී.මංජු මිය ගිය බව දැනගත් ඔහුගේ මව එම ස්ථානයට පැමිණ විලාප තබමින් හඬා වැටුණාය. වැලි උඩ දමමින් STF බලකායට සාප කළ ඇය තම පුතා කාටවත් වරදක් නැති අහිංසකයකු බව ද කියනු අසන්නට ලැබිණි.

ඩී.මංජු යනු මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුය. තවත් ඝාතනයක සැකකරුවෙකි. මොහු මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු 2014 වර්ෂයේ දී ය. ඒ... එවකට පෑලියගොඩ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වූ ශමිල සඳරුවන් යන අය වෙඩි තබා ඝාතනය කිරීම නිසාය.

මෙම වෙඩි තැබීම සිදු වන්නේ ශමිල සඳරුවන් මෝටර් රථයක ගමන් කරමින් සිටිය දීය. එම මෝටර් රථය ලුහුබැඳ ගිය ඔහු සඳරුවන්ට එක පිට එක වෙඩි පහර දහයක් පමණ එල්ල කරන අතර ඔහු එම ස්ථානයේම මිය ගියේය.

මෙම ඝාතනයට ඩී.මංජු අත් අඩංගුවට පත්වන අතර මාස කිහිපයකට පසු ඇප මත නිදහස ලබන්නේය. ඒ කාලයේ රණාලේ සමයං , මාකඳුරේ මදුෂ් , ඩී. මංජු, කලු සාගර හර්ෂ යසස් ශ්‍රී සාගර ඇතුලු අපරාධ කාරයන් එකට කල්ලි ගැසී සිටියේය. එහෙත් කල් ගත වෙද්දී කලුසාගර මදුෂ් හා විරසක වන්නේ මදුෂ් කලු සාගරගේ බිරිය රැගෙන රටින් ද පලායාම නිසාය.

ඒ අතර රණාලේ සමයං ද මදුෂ් හා විරසක වන අතර කලු සාගර ඩී.මංජු ඇතුලු කිහිප දෙනකු සමයං කල්ලියට එක්ව මදුෂ්ට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගත්තේය.

ශමිල සඳරුවන් ඝාතනයට ඇප මත එළියට ආ ඩී.මංජු රණාලේ සමයං ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම කප්පම් ජාවාරම ද කරගෙන ගියේය. ඉන් අනතුරුව මොහු යළි මනුෂ්‍ය ඝාතනයකට අත තැබීය. ඒ... රණාලේ සමයං හිර ගෙදර දී දන ගස්සවා පහර දුන් හර්ෂ යසස් ඝාතනය කිරීමය.

කලක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි ඔහු දෙදහස් දහසය වර්ෂයේ පෙබරවාරි මස 26 වැනිදා අලුත් කඩේ අධිකරණයෙන් ඇප ලබා ගත්තේය. රණාලේ සමයං ගේ සැලසුම වුයේ එදින අධිකරණයෙන් පිටතට එද්දී හර්ෂ ඝාතනය කළ යුතු බවය. ඒ වන විට රණාලේ සමයං සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය. ඔහු... ජංගම දුරකථන ඔස්සේ මෙම ඝාතනය සැලසුම් කළ අතර හර්ෂ ට වෙඩි තැබීම පැවරී තිබුණේ ඩී. මංජුටය.

එදින ඩී. මංජු තවත් අයකු සමඟ පිස්තෝලයක් ද රැගෙන අධිකරණ භූමිය අසලට ගොස් රැක සිටිය ද හර්ෂ යසස් ශ්‍රී එළියට පැමිණියේ නැත.

ඉන් අනතුරුව ඔහු අතුරුදන් වූ අතර පසුව ඔහු ඔබේසේකරපුර නිවෙසේ සිටින බවට සමයංගේ ගෝලයකු තොරතුරු ලබා දුන්නේය.

2016 වර්ෂයේ මාර්තු මස තුන් වැනිදා දහවල් වෙඩි තබා හර්ෂ යසස් ඝාතනය කරන අතර වෙඩිකරු රැගත් යතුරු පැදිය පදවන්නේ ඩී.මංජු විසිනි. හර්ෂගේ නිවෙස වෙඩික්කරුට පෙන්වන්නේ ද ඩී.මංජුය.

හර්ෂ යසස් ඝාතනයට සැකපිට ඩී.මංජු, ආමි අසිත, සංජු, බංටි ඇතුලු සමයං ගේ ගෝල බාලයන් කිහිප දෙනකුම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව මොවුන් ඇප මත නිදහස් වූ අතර වත්තල, ඔලියමුල්ල ගඟපාරේ පිහිටි සිය නිවෙසට එන ඩී.මංජු යළිත් සිය සුපුරුදු ව්‍යාපාර වලට අත ගැසීය. නිවෙසට හැරෙන මාර්ගය අසල සිට සී.සී.ටී.වී. කැමරා සවිකර ගත් මොහු දැඩි රැකවල් සහිතව, එහෙත් ප්‍රදේශය පුරා භීතියක් ද වපුරවමින් චන්ඩියකු ලෙස ජීවත් වන්නට පටන් ගත්තේය.

විවාහ කිහිපයකට හිමිකම් කියන මොහු ස්ත්‍රී දුෂණ කිහිපයක් ද සිදු කර ඇති බවට STF බලකායට තොරතුරු ලැබී තිබිණි.

වෙඩි පහරට ගොදුරු වීමෙන් අනතුරුව මොහුගේ මව වැලි උඩ දමමින් STF බලකායට සාප කරන්නට ඇත්තේ මොහු ගේ මේ ක්‍රියාදාමය නොදැන සිටි නිසා හෝ ඕනෑම අම්මෙකුට තමාගේ දරුවා නිවැරදිකාරයකු ම වන නිසා විය යුතුය.

පොලිස් හෝ STF ප්‍රහාර වලට ගොදුරුව මිය ගිය අපරාධ කාරයන්ගේ මවු වරුන් අතරින් තම පුතා අපරාධකාරයකු බවත්, එබැවින් පුතාගේ මළ සිරුරවත් තමාට අවශ්‍ය නොමැති බවත් පවසා මොහු තමාගේ පුතා වීම ගැන කනගාටු වන බවද පැවසුවේ එකම එක අම්මා කෙනකු පමණි. ඇය.... කඹුරුපිටියේ කැටයම් චින්තක ගේ අම්මාය. ඔහු මිය ගියේ ද STF ප්‍රහාරයකිනි. ඒ.. කඹුරුපිටියේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් වරයකු සහ ඔහු ගේ බිරිය වෙඩි තබා ඝාතනය කොට කැලෑවේ සැඟව සිටියදීය.

STF බලකායේ අණ දෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් බුද්ධි අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහකාර පොලිස් අධිකාරී ජී.පී. කොඩිතුවක්කු යන නිලධාරීන් ගේ උපදෙස් මත STF බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මෙම මෙහෙයුම දියත් කළේය.

තක්ෂිලා ජයසේකර