ඒ මහ­න්සි­යට මම හරි ආද­රෙයි - ධම්මික රත්නා­යක

නුවර කලාවියේ ගෙවී ගිය අතීතය අද ඔහුට ගෙන එන්නේ සැබෑම සතුටකි. අනුරාධපුර සේනපුර ගම් පියසේ ගෙවුණු ළමා විය,යෞවනය ජීවිතයේ බොහෝ දේ ඔහුට ඉගැන් වූ තක්සලාව විය. පසුකලෙක ජීවිතයේ බොහෝ දේ ඉටුකරගන්නට ඔහුට වාසනාව ගෙන ආවේ ඒ ජීවිතයෙන් ඔහු ලද අත්දැකීම්ය. නොසැලෙන අධිෂ්ඨානය,කැපවීම, ඉවසීම, ඒ අතර ප්‍රධානය. සම්මානනීය
කැමරාකරුවකු ලෙස කැමරාකරණයට නව මානයක් නව හැඩයක් ගෙන එන්නට ඔහු අද සමත්ව සිටියි. කවුරුත් ආදරය කරන ටෙලි නාට්‍ය රැසක මෙන්ම කවුරුත් කතා කරන දැන්වීම් රැසක කැමරාකරණ ශිල්පියා ලෙස කටයුතු කරන ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක ධම්මික රත්නායක නම් සොඳුරු කලාකරුවා ගැනයි මේ.

සහෝදරයා. මේ දිනවල කාගේත් කතා බහට ලක් වී තිබෙනවා.?

ඔව්. එය මගේ කැමැරාකරණයක්. තිර රචනය හා අධ්‍යක්ෂණය නාමල් ජයසිංහගේ. හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.ඒ රූපරාමුවල සජීවීකරණය තිබෙනවා කියලා හැමදෙනාම කියනවා.

ඔබ කලා ක්ෂේත්‍රයට එක් වූ අයුරු දැන ගන්නට කැමැතියි?

මම මේ ක්ෂේත්‍රයට එක් වන්නේ 1995 වසරේ දී පමණ. මම මුලින්ම RF Vedio ආයතනයේ බැටරි චාර්ජ් කරන්නෙක් විදිහටයි සේවයට එක් වුණේ. පසුව ආලෝකකරණ ශිල්පියෙක් ලෙස වැඩ කරනවා. ඉන්පසු බූම් ඔපරේටර් කෙනෙක් ලෙසත් කාලයක් කටයුතු කරනවා. මේ විදිහට පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් සහාය කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න පටන් ගන්නවා. ත්‍රිෂුල දීප තඹවිට මහතා චන්න දේශප්‍රිය මහතා, ප්‍රියන්ත සිරිකුමාර වගේම ආනන්ද අබේනායක වැනි ක්ෂ්ත්‍රයේ ප්‍රවීණයන් යටතේ මම සාහාය කැමරාශිල්පියෙක් ලෙස වසර ගණනක් කටයුතු කරනවා. ඒ අත්දැකීම් මුසුව ලැබුණු පන්නරයත් එක්ක දිගු කාලීනව ආනන්ද අබේනායක මහතා අධ්‍යක්ෂණය කළ පෝය නාට්‍ය මාලාවේ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කරත්දී සංසාරේ පියසටහන් නාට්‍ය මාලාවේ එක එපිසෝඩ් එකක් කැමරා කරන්නට මට අවස්ථාව ලැබෙනවා. එතැනින් පටන් ගැනුණු කැමරාකරණය දිගටම මට කරගෙන යන්නට අවකාශ උදා වෙනවා.

ඒ කොහොමද?

මේ අතර වාරයේ මට මාලනී ෆොන්සේකා අක්කා දැන හඳුනාගන්නට ලැබෙනවා. මගේ හැකියාවන් දකින ඇය ඇයගේ 'මිරිඟුනදිය' නාට්‍යය කැමරාකරණයට මට අවස්ථාව දෙනවා. ඉන්පසුව ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ 'අප්පච්චි', 'අහසින් වැටුණා', 'තක්සලාව' වැනි නාට්‍ය ගණනාවකට මම කැමරාකරණයෙන් දායක වුණා.

අප්පච්චි' ටෙලි නාට්‍ය කැමරාකරණය ඔබේ කලා දිවියේ සන්ධිස්ථානයක්?‍

ඔව්. 'අප්පච්චි' ටෙලි නාට්‍ය පිටපත ලිව්වේ ප්‍රවීණ තිරපිටපත් රචක නාමල් ජයසිංහ. ඔහු මට හමුවන්නේ 2000 වසරේදී. මම කැමරාකරණය කළ බොහොමයක් ටෙලි නාට්‍යවලට තිරපිටපත් ලිව්වේ නාමල්. අප්පච්චි ටෙලි නාට්‍යයේ කැමරාකරණය වෙනුවෙන් හොඳම කැමරා ශිල්පියාට හිමි සම්මාන ගණනක් මට ලැබුණා. එකම වසරේ පවත්වපු සම්මාන උළෙල සියල්ලේම හොඳම කැමරාකරණයට හිමි සම්මාන මට ලැබුණා. ලංකාවේ පළවෙනිවතාවට මේ විදිහට කැමරාශිල්පියෙක් හැම සම්මාන උළෙලකින්ම හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනා ගන්නේ. මා සම්මාන ලැබූ එය අදටත් වාර්තාවක්. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මේ වන කොට මම සම්මාන 14ක් පමණ දිනා ගෙන තිබෙනවා. එය මට ලොකු ධෛර්යයක්.

කුඩා කල දුටු හීනයක් හැබෑවීමක්ද මේ?

පුංචි කාලෙ ඉඳල කැමරාවලට මගේ ඇහැ ගියා. මොකද මගේ මාමා වෙඩින් වීඩියෝකරනවා. ඒ වගේම අපේ ගමට චිත්‍රපට ගෙනැල්ලා ඒවා පෙන්වනවා. මේ නිසා උසස් පෙළින් පසුව මමත් මාමා ළඟ හිටියා. ඉන්පසුව මම හුඟක් වෙලාවට මගේ දායකත්වය දුන්නේ වෙළෙඳ දැන්වීම් කැමරාකරණයට.

ඒ ගැනත් කතා කරමු?

මම කැමරාකරණය කළ වෙළෙඳ දැන්වීම් බොහොමයක් විකාශය වෙනවා. ඒ අතර කාර්ගිල්ස්, මොබිටෙල්, ඇන්කර් පීඩියා ප්‍රෝ කිහිපයක් පමණයි. වෙළෙඳ දැන්වීම් නිසා මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක් වුණේ තරමක් පරක්කු වෙලා. නමුත් අදවන විට ටෙලි නාට්‍ය කලාවේත් බොහෝ දුරක් මම ඇවිත් තිබෙනවා. ඒ ගැන සතුටුයි.

ටෙලි නාට්‍ය රූපයට නැගීම ද පහසු වෙළෙඳ දැන්වීම් රූපයට නැඟීමද?

මේ දෙකම අභියෝගාත්මකයි. වෙළෙඳ දැන්වීමක් අංග සම්පූර්ණව ඉදිරිපත් කළ යුතුයි. තත්පර ගණනකින් එය ප්‍රේක්ෂකයා වෙත ගෙන යා යුතුයි. ටෙලි නාට්‍ය ගත්තම එයත් හරිම අමාරුයි. කාලය වැය කරලා බොහෝ කැපවීමක් කරලා සිදු කළ යුතු කාර්යයක්.

මේ වනවිට ඔබ ක්ෂේත්‍රයට පැමිණ සෑහෙන කාලයක්?

ඔව්. වසර 20ක් පමණ වෙනවා. ඒ අතරින් වසර 15ක් කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

කැමරාශිල්පියෙක් මොන වගේ විය යුතු ද?

කැමරාශිල්පියෙක් වෙනවාය කියන එක ආවට ගියාට කරන්නට බැහැ. එයට අත්දැකීම් සමුදායක් අවශ්‍යයි. එය නිහතමානී හරි අවංක සේවයක්. කැමරා ශිල්පියා හැමදේම පිළිවෙළට පිරිසුදුව දකින කෙනෙක්. ඒ මහන්සියට මම හරි ආදරෙයි. මේ ක්ෂේත්‍රයට එක් වන නවකයින්ට මම කියන්නේ අවංකව මේ දේ ඉටුකරන්න ප්‍රථිපල ලැබෙනවා නියතයි.ඒ වගේම හොඳ සමාජ ආශ්‍රයක්, ජීවිත දැක්මක් කැමරා ශිල්පියකුට තිබිය යුතුයි. විවිධාකාර මිනිස්සු ජීවිතය ගෙන යන හැටි ජීවිතය විදින හැටි මේ හැමදේම දෙස බලා සිටින්න. ඒ හැසිරීම් කැමරාකරණයට හරිම වැදගත්.

ඔබේ අනාගත බලාපොරොත්තු?

මම ඉපදුණේ හැදී වැඩුණේ අනුරාධපුරයේ සේනපුර කියන පුංචි ගම්මානයේ. අනුරාධපුරයේ තිබෙනවා ගල්නෑව කියලා ගමක්. එහි අශෝක් කියලා චිග්‍රපට ශාලාවක් තිබෙනවා. මිනිස්සු පොදිකකා නරඹපු චිත්‍රපටයක් මමත් ඒ අතර හිද පුංචි කාලේ නරඹපු හැටි මතකයි. අන්න ඒ සිනමා හල තවමත් තිබෙනවා. ඒ සිනමා හලේ මගේම චිත්‍රපටයත් ප්‍රදර්ශනය කිරීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )