ගාම්භීර විදියට ඉන්න අශිකා ඇතටම කපටිද?

අශිකා මතසිංහ රංගන ශිල්පිනියක් විදියට කලා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවකට වඩා වැඩියි. නමුත් පසුගිය කාලයේ ඇය රඟපෑ කිසිම ටෙලිනාට්‍යයක් අපට දැක ගන්නට ලැබුණේ නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ඇය රංගන ක්‍ෂේත්‍රයෙන් සමු අරන් කියලයි. ඒත් අශිකා දිගු නිහැඩියාවකට පස්සේ අයෙමත් නිළියක් ලෙස කරළියට ඇවිත්.

TV 1 නාලිකාව ඔස්සේ දිග හැරෙන
“හිතුවක්කාරයෝ” ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ ගාම්භීර චරිතයක්. නමුත් ස්වර්ණවාහිනියෙන් දිග හැරෙන “සුදු අඟුරු” ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ කපටි චරිතයක්. ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත් ඔබ මොනවගේ චරිතයක්ද? 

ඇත්තම කිව්වොත් මගේ පෞද්ගලික ජීවිතේ ඔය දෙකටම වඩා වෙනස්. මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන සරල කෙනෙක්.

අශිකා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවකටත් වැඩියි. නමුත් මේ ටෙලි නාට්‍ය දෙක විකාශය වීමට කලින් ඔබව දකින්න ලැබුණේම නැහැ. ඒකට හේතුව මොකක්ද? 

පෞද්ගලික ජීවිතයේදී මම ගොඩක් කාර්යබහුල කාන්තාවක්. මොකද මම දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ හින්දා මගේ පවුලට මුල් තැන දීලා තමයි රඟපෑම කරන්නේ. ඒ නිසයි ආරාධනා ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගන්නේ. හැබැයි කලාතුරකින් නිර්මාණවලට දායක වුණත් එදා මට  ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර අදටත් ඒ විදියටම ලැබෙනවා.

ඔබ නිරූපණය කරන චරිත අනුව නරක ප්‍රතිචාරත් ඔය අතර ලැබෙනවා ඇති ?

ඔව්. වෙනස්ම චරිත දෙකකින් තමයි මම ආයෙමත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්නේ. “සුදු අඟුරු” බලලා ගොඩක් දෙනෙක් මට ‘නපුරි’ කියලා බණිනවා. ‘ඔයා එක්ක පුදුම තරහක් එන්නේ’ කියලා සමහරු කතා කරලා කියනවා. මං හිතනවා අපි කරන කළු චරිතෙකට මිනිස්සු බණිනවා නම් ඒක ගොඩක් සාර්ථකයි කියලා. හැබැයි ‘හිතුවක්කාරයා” ටෙලි නාට්‍යයේ මම කරන ‘ගාම්භීර චරිතෙ’ට විදේශ රටවලින් පවා සුබ පැතුම් එනවා.

ඔබේ රූපෙත් එක්ක කාලයක් සමහරු ඔබව හැඳින්වූයේ ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනිය විදිහටයි. ඒත් දැන් ඔබ රඟපාන චරිත දෙකම ඊට හාත්පසින්ම වෙනස්.

එදා වුණත් අහිංසක චරිත විතරක්ම නමෛයි මම රඟපෑවේ. නපුරු චරිතත් කළා. ඒත් ඒවා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වුණේ නැහැ. මට මාධ්‍යවලට ඒ ගැන ඉන්ටර්විව් දෙන්නත් වේලාවක් තිබ්බේ නැහැ. ඒ හින්දා ගොඩක් අය දන්නේ මම අහිංසක චරිත විතරක් කරන රංගන ශිල්පිනියක් විදියටයි. ඒත් ඇත්තටම මම කරලා තියෙන්නේ නපුරු චරිත.

ආයෙමත් රඟපාන්න එකතු වුණාට සැමියාගෙන් තහංචියක් නැද්ද? 

අ‍පොයි නැහැ. සැමියා නැත්නම් මට ආයෙමත් රඟපාන්න වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට මම පාන්දර ෂූටින් යනකොට හස්බන්ඩ් තමයි මගේ දරුවෝ තුන්දෙනාම බලාගන්නේ. මං පාන්දර ෂූටින් යනකොට දුවගේ කොණ්ඩෙ ගොතලා යන්න ඕන හින්දා දුවත් පාන්දරින් ඇහැරලා එයා මට ලොකු සහයෝගයක් දෙනවා.

අශිකා කියන්නේ දරුවෝ තුන්දෙනක් ඉන්න අම්මා කෙනෙක්නේ. ඒත් පසුගිය දවස්වල අපි අශිකාගේ අනුරාගී ඡායාරූප වගයක් දැක්කා.

මම ළඟදී කරපු ෆොටෝ ෂූට් එක හින්දා වෙන්න ඇති ඔය විදියට මගෙන් අහන්නේ. මම ඔය කියන ෆොටෝ ෂූට් එකට ගියෙත් හස්බන්ඩ් එක්කයි. වෙනස් දෙයක් කරන්න ඕන හින්දා තමයි මම ඒ ෆොටෝ ෂූට් එක කළේ.

සමන්මලී නැලිගම