"එතැන තිබුණේ මගේ තාත්තා මාව බලාගන්නවා වගේ හරිම පරිස්සම් ආදරයක්. ඒ ආදරේ බොළඳ නෑ.." - Photos

අනුරාධා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක චරිතයක්. ලගදීම හිරු රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත අහස් මාලිගා නාට්‍යයෙනුත් ඇයව දැකගන්න පුළුවන්. ඇය ආදරණිය හිතක් ගැන හා ආදරේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

මේ දවස්වල අනුරාධා මොකද කරන්නෙ..?

මේ දවස්වල නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ළඟදීම හිරු රුපවාහිනියේ විකාශය වීමට නියමිත අහස් මාලිගා ටෙලිනාට්‍යයෙනුත් දකින්න පුළුවන්.

පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද..?
තාත්තාට ඕනවුණේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මගේ තාත්තා සේවය කළේ පොලීසියේ. මට අවුරුදු දහතුනේදී රඟපෑමට අවස්ථාව ලැබුණා. හැබැයි තාත්තා හිතුවේ මගේ අධ්‍යාපනය ඒක නිසා කඩාකප්පල් කරගනීවි කියලා. ඒ නිසා තාත්තා මාව ඒකෙන් අයින් කළා. ඊටපස්සෙ මට ඕනවුණා ලෝයර් කෙනෙක් වෙන්න. කොහොමහරි අහම්බෙන් අපේ අයියගේ වෙඩින් එකේ ෆොටෝ ගත්තු අංකල් මාර්ගයෙන් මට වෙළෙඳ දැන්වීමකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව තමයි මේ.

ජීවිතේ මුල්ම පෙම්වතිය වුණේ කොයි කාලෙදිද..?
මුල්ම පෙම්වතිය වුණේ පාසල් කාලේදී. එතකොට මම O/L පන්තියේ. හැබැයි මගේ ප්‍රේමය පටන් ගන්නේ පාසල ඇතුළෙදිනම් නෙමේ.

මුලින්ම ආදරේ කළේ කාටද...?
එයා මට වැඩිය අවුරැදු හතක් විතර වැඩිමල් කෙනෙක්. ඒ වෙනකොට මම O/L විභාගය කරලා ඉවරවුණා විතරයි. අපි අවුරුදු හයක් විතර ආදරේ කළා.

ඔහු අනුරාධාට මුලින්ම දුන්නෙ මොනවද...?
ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම හරි කෙට්ටුයි. ඉතින් එයා මට මහත් වෙන්න කිය කියා හැමදාම චීස් ගෙනත් දෙනවා. අනික මම චීස් කන්නත් හරි ආසයි. ඉතින් එයා මට මුලින්ම ගෙනත් දුන්නෙ චීස්. ඉස්සර ඉතින් හැමදාම හම්බවෙන්නෙත් නැහැ. ඉතින් හම්බවෙද්දිත් එයා මට චීස් අරගෙන එනවා.

ඔහුට ආදරේ කරන්න අනුරාධාගේ හිත මුලින්ම නැවතුණු තැන කොතැනද..?
අනේ මන්දා... එයා මා දිහා මුලින්ම බලපු විදිහට මගේ හිත ගියා. ඒ කාලේ මම පොඩියිනේ. ඒ නිසා මට ඒක එච්චර තේරුමකුත් නැහැ. ඒ දවස්වල ඉස්කෝලෙ යනකොට අපිට ෆෝන් තිබුණෙත් නැහැනෙ. අපි හිටියෙත් පොලිස් ස්කාටස්වල. ඉතින් ගෙදරට ෆෝන් තිබුණෙත් නෑ. කොහොමහරි එයා මගේ අම්මගේ නම්බර් එක හොයාගෙන තමයි මැසේජ් එකක් දාලා තිබුණේ.

මතකද ඒ දාලා තිබුණු මැසේජ් එක...?
එකපාරක් අම්මගේ ෆෝන් එකට එයා මැසේජ් එකක් දාලා තිබුණා. හැබැයි ඉතින් මම දැක්කෙ නෑ. O/L ඉවරවෙලා මම ගෙදර ඉඳිද්දී දවසක් මම රෑ අම්මගේ ෆෝන් එකේ මැසේජ් එක දැක්කා. ජීවිතේ වටිනාකමක් තියෙන මිනිසුන් මතක් කරන්න හොඳම වෙලාව මම හිතන්නෙ රාත්‍රියයි... ගුඩ් නයිට් කියලා එයා දාලා තිබුණා. ඒක මම දැකලා කවුද මේ කියලා හොයලා බලද්දියි මෙයා කියලා දැනගත්තේ. එතකොට මෙයා මාව දැකලා අවුරුද්දකටත් වැඩියි.

මතකද මුලින්ම එයත් එක්ක ඔයා ගියපු ගමන..?
මම මුලින්ම එයා එක්ක ගියේ සැලෝන් එකට. එතකොට මම A/L කරලත් ඉවරයි. මගේ අම්මා මම කොණ්ඩය කපනවාට ආසම නෑ. මම ආසත් නෑ. ඒත් මට නිකමට ආස හිතිලා එයා එක්කම ගිහින් සැලුන් එකෙන් කොණ්ඩය කපාගෙන ආවා. ඒ ආපු ගමන අම්මා දවස් දෙකක් විතර යනකම් මාත් එක්ක කතා කළෙත් නෑ.

ඒ සම්බන්ධයට මොකද වුණේ...?
ඒ සම්බන්ධය අපි දෙන්නම කතාබහ කරලා නතර කළා. අදටත් එයා මොකක්හරි දේකදී මට කතා කරනවා. මගේ තාත්තා මීට අවුරුද්දකට කලින් අනතුරකින් නැතිවුණා. ඒ වෙලාවෙත් මම මුලින්ම කතා කළේ එයාටයි. ඉස්සර එහෙම හැමදාම හම්බවෙන්න, කතා කරන්න ඉඩ ලැබුණේ නෑ. එතැන තිබුණේ මගේ තාත්තා මාව බලාගන්නවා වගේ හරිම පරිස්සම් ආදරයක්. ඒ ආදරේ බොළඳ නෑ. එයා අපේ තාත්තා වගේ හරිම හොඳ කෙනෙක්.

මතකද ආදරවන්තයන්ගේ දිනයේ දී අනුරාධාට ලැබුණු දේවල්..?
ඒ දවස්වල ආදරවන්තයන්ගේ දවසේ දී විතරක් නෙමේ, මුලින්ම හම්බවෙච්ච දවස, කතා කරපු දවස, උපන් දිනය, කෝල් එක ගත්තු දවස, මේ හැම එකක්ම අපි සැමරුවා. ඒ දවස්වල පුංචි දෙයක් හරි අපි හුමවාරු කරගත්තා. ඒවා හරිම සුන්දර මතකයන්. අද ඒ හැමදෙයක්ම අතීතයට අයිතියි.

අනුරාධා මේ වෙනකොට පෙම්වතියක්ද...?
නෑ... ඇත්තම කිව්වොත් මේ වෙනකොටනම් මම පෙම්වතියක් නෙමේ.