විවාහය කියන තැනදී මාව වටිනා කෙනෙකුට තමයි මගෙත් වටිනාකම ලැබෙන්නේ - අනුරාධා එදිරිසිංහ

‘මුලින්ම ක්ෂේත්‍රයට මම ආවේ වෙළඳ දැන්වීමකට පෙනී සිටීමෙන් පසුවයි. අපේ අයියගේ වෙඩින් එක දවසේ සරත් අංකල් තමයි ෆෝටෝග්‍රැෆි කළේ "

" එයා තමයි එදා මාව වෙළඳ දැන්වීමකට යොමු කළේ. ඉන්පසුව දිගටම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. මේ දිනවල දකින්නට ලැබෙන මෙට්ටදැන්වීමත් හරි ජනප්‍රියයි ’’

මෙහෙම කියන්නෙ රංගනය ගැන තවමත් හදාරමින්
සිටින අතරේ රංගනයේ යෙදෙන අනුරාධා පුවත්පතක කතාබහට එක්වූ මොහොතකයි .

අනුරාධා කොහොමද මේ දිනවල වැඩ කටයුතු ?

මේ දිනවල සඳපිනිවැස්සෙ ‘චංචලා’ නිසා හරිම සතුටින්. චංචලාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මම රඟපෑ තවත් අලූත් නාට්‍යයක් වන ‘අහස් මාළිගා’ දැන් විකාශය වෙනවා. ඒත් එක්කම ‘වීරපුරන්අප්පු’’ නාට්‍යයත් විකාශයට නියමිතයි. විකාශය වන පැහැසරා නාට්‍යයේ කළ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. ඒ වගේම පළමු වතාවට මට රියැලිටි ෂෝ එකකටත් දායක වීමේ අවස්ථාව ලැබුණා.

කොහොමද ජීවිතේ?

බොහොම සරලව ජීවිතය ගෙවෙනවා. මම මුලින්ම රංගනයට ආවේ චන්දන ධර්මප්‍රියගෙ ‘පාට පිහාටු’ නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ රඟපෑමට ගියාම ප්‍රවීන රංග වේදිනී අනෝජා වීරසිංහ මහත්මියගෙ ‘අභින’ රංග පාසලට මාව යොමු කළා. දැනටත් මම රංගනය ගැන බොහෝ දේ හදාරන්න අභින වැඩමුළුවට දායක වෙනවා. මේ නිසාම මට බොහෝ හොඳ නිර්මාණ රැසකටම දායක වීමේ අවස්ථාව ලැබුණා. අනෝජා මිස්ට පිං සිද්ධ වෙන්න ලංකාවේ බොහෝ ප්‍රවීනයන් එක්ක රඟපෑමේ අවස්ථා ලැබුණා. සනත් ගුණතිලක මහතා මංගල තෑග්ග චිත්‍රපටයේ දෙවැන්න ලෙස වාසනා වේවා නිර්මාණය කළා. එහි රඟපෑමට ලැබීමත් මා ලැබු ලොකු වාසනාවක්. මම හිතන්නෙ රංගනයට ආව මගේ ජීවිතය හොඳ රංගනයන් සමග ගෙවීම තමයි අරමුණ.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නළුවකු සමග විවාහ වෙන්න යනවාය කියන්නෙ?

අනේ අම්මෝ නැහැ. ඒක බොරුවක්.

ඇයි නළුවකු සමග විවාහ වෙන්න අකමැතිද?

කවදාවත් නළුවෙක් නම් කසාද බඳින්නෙ නැහැ.

හේතුව?

නළුවෙක් කියන්නෙ ප්‍රියමනාප චරිතයක් තමයි. නළුවකුට බොහෝ දෙනා ආදරය කරනවා. ඉතින් මම ඉදිරියේ බොහෝ දෙනා ආදරය කරද්දී ඒ අවස්ථාවල දී දෙදෙනාට දුක හිතෙන දේ හිත් රිදවීම් වගේ දේ ඇතිවන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙනවාට මම අකමැතියි.

දැන් එතකොට විවාහ වෙන්න ද හදන්නෙ?

ඉස්සෙල්ලා හොඳ මනාලයෙක් හොයා ගන්න එපායැ?

මොන වගේ කෙනෙක්වද හොයන්නෙ?

මම සම්ප්‍රදායිකව හිතන ගැහැණු ළමයෙක් නෙවෙයි. බොළඳ ආදරයට මම කැමති නැහැ. හැබැයි ගැහැණු ළමයෙක් බොහෝ විට කැමති තමුන්ගෙ තාත්තාගෙ ගතිගුණවලට සමාන කෙනෙකුටයි. මාත් කැමති එහෙමයි. අපේ තාත්තාට මාව බොහෝම වටිනා චරිතයක් වුණා. දැන් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ ජීවිතයේ විවාහය කියන තැනදී මාව වටිනා කෙනෙකුට තමයි මගෙත් වටිනාකම ලැබෙන්නෙත්.

නළු/නිළි විවාහ සුදුසු නැහැ කියලද ඔබ කියන්නෙ?

මම කිව්වෙ මට තේරෙන දේ ගැන විතරයි. අපේ ක්ෂේත්‍රයේ විවාහ වූ නළු නිළියන් සිටිනවා. ඒ අය ඉතා හොඳින් ජීවිත ගෙවනවා.

නිළියක් දෙස ඔබ බලන විදිය?

මිනිසුන්ගෙ ආදරය ලබන කෙනෙක්. අලූත් කෙනෙක් විදියට මට ඒක තදින්ම දැනෙනවා. ඒක ඇත්තටම ලොකු සතුටක්. ලොකු ආශීර්වාදයක්.

‘අනුරාධා’ මොන වගේ කෙනෙක්ද?

කාගෙවත් හිත් රිදවන්න කැමති නැහැ. මොකද මට එහෙම කවුරුහරි කළොත්, මගෙ හිත ඉක්මණට රිදෙන කෙනෙක්. මම හරි සංවේදී චරිතයක්.
නැති තැන තව කෙනෙක්ව විවේචනය කරන්නෙ නැහැ. කියන්න තියෙනවා නම්, මූණටම කියනවා. මගේ වැඬේ කරලා පාඩුවෙ ඉන්න කෙනෙක්.

රඟපෑමට නාවා නම්?

නීතිඥ වෘත්තිය ගැන හිතනවා. ඒ වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැනත් හිතනවා. රඟපෑමට ආ නිසා ටිකෙන් ටික ඒවා මගහැරි ගියා.

හොඳට උයන්න පුළුවන් ලූ නේද?

ගමේ කෑම ඉතා රසට හදන්න පුළුවනි. ඒත් අපේ අම්මගෙ පොළොස් ව්‍යාංජනයට කිට්ටු කරන්න මට බැහැ. සුදුළුණු පොඩි නොකර හොඳ රසට උයන්නත් පුළුවනි.

අනුරාධගෙ හොඳම යාළුවාට මොකද වුණේ?

මගේ පාසල් කාලයේ හොඳම යෙහෙළිය අද මගේ නෑනා. අයියා විවාහ වුණේ ඇය සමගයි.

පාසල් කාලයේ මතකයන් මොන වගේ ද?

ටිකක් දඟකාර සමයක්. ඉගෙනීමේ දී පොත පතටත් වඩා මම ආසා කළේ බටහිර තුර්යවාදක කණ්ඩායමේ කටයුතුවලටයි. මම එහි සාමාජිකාවක වුණා.

‘‘ආදරේ සිහිනයකි’’ කියලා කියන්නෙ ඇයි ?

ආදරේ සිහිනයකී
කිව්වෙ එදා කවුද සුදෝ’’
අඬන්නෙ ඇයි සුදු මැණිකේ ගීතවලට මම ගොඩාක්ම ආසයි.

සටහන- සඳුන් ගමගේ