නිරූපිකාවක් වීමේ සිහිනය නිසා මැරුම්කන්න වුණු සුරූපී යුවතියගේ සංවේදී කථාව - (Video & Photos)

ඒ 2015 වසරේ ජනවාරි මස 13 වනදාය. පාකිස්තානයේ ලාහෝර් නගරය එදා වෙනදාටත් වඩා මහත් කලබලකාරී තත්ත්වයකට පත්ව තිබිණි. ඊට හේතුව වූයේ නගරයේ බස් නැවතුම්පළේ තිබූ පෙට්ටියක් තුළ තිබී තරුණ කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමයි.

ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රානා අයාස් සලීම්
පවසා සිටියේ මෙම මළ සිරුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යාවක් වූ 22 හැවිරිදි අබීරා ඉක්බාල් නොහොත් අරිබා නමැත්තියගේ බවය.


සියල්කොට් නගරයේ සිට ලාහෝරයේ පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ඉගෙනීම සඳහා පැමිණි අරීබා වැඩි කැමැත්තක් දැක්වූයේ මෝස්තර නිරූපිකාවක් වීමටය. එහෙත් අබීරා ගේ ඒ අනාගත සිහිනය ඉෂ්ට වූයේ නැත. අබීරාගේ ඒ සිහිනය බොඳ වූයේ ටූබා (Tooba) නොහොත් උස්මා රාවෝ හමුවීම බව පොලිස් අධිකාරිවරයාගේ පරීක්ෂණවලින් හෙළි විය. ටූබා නොහොත් උස්මා ද රූපලාවන්‍ය කටයුතු පිළිබඳ විශේෂඥවරියක් වූවා පමණක් නොව රැඟුම් සංවිධානය කිරිමේ හැකියාවක් සහිත තැනැත්තියක් වූවාය. ටූබා හමුවීම තමාගේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට මහත් ආධාරයක් වනු ඇතැයි අබීරා සිතුවාය.

සියල්කෝට් නගරයේ සිට ලාහෝරයට පැමිණි අබීරා ඇයගේ මාමණ්ඩියගේ නිවසේ නතර වු නමුත් නිදහස ගැන සිතූ ඇය පසුව ලාහෝරයේ කාන්තා බෝඩිමක නැවතීමට ගියාය.

එහෙත් සිදු වූයේ ඇය සිහිනෙන් පවා නොසතූ ඉරණමකි. තමා ඇතුළු වුයේ මර උගුලකට බව වටහාගන්නා විට ඇය මෙලොව අත්හැර ගොස් තිබිණි.

අබීරාගේ මළ සිරුර හමු වීමෙන් පසු පවත්වන ලද පොලිස් පරීක්ෂණ වලදී බස් නැවතුම්පොළේ තිබූ CCTV ආරක්ෂක කැමරාවලට අනුවත් අබීරා නැවතී සිටි බෝඩිමේ අයිතිකරු කළ ප්‍රකාශයත් අනුව ටූබා නොහොත් උස්මා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසුව අබීරා සම්බන්ධ තොරතුරු සියල්ල ටූබා විසින් වැමෑරිම නිසා අබීරාගේ අබිරහස් මරණය පිළිබඳ සියළු තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකි වූ බව පොලිස් අධිකාරි මුහමද් ඉක්බාල් බාන් මාධ්‍යයට පවසා සිටියේය.

ටූබා නොහොත් උස්මා රූපලාවන්‍ය ශිල්පිනියක් වුවද ඇයගේ රූපලාවන්‍යාගාරය වෙනත් නීත්‍යානුකූල නොවන ව්‍යාපාර සඳහා ද ඇය වසින් යොදාගනු ලැබුවාය. ටූබා ඇයගේ ස්වාමි පුරුෂයා වූ බාබාර් ජාවඩ් බට් ගේ මිත්‍රයකු වූ යසෆ් සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වූවාය. ඒ නිසා තම සැමියා මරා දැමීමට සැලසුම් කළ ඇය තවත් අයථා සම්බන්ධතාවක් පැවැත් වූ ෆාරූක් ගේ සහාය ද ඊට පැතු අතර මේ සඳහා ෆාරූක්ගේ මිතුරකු වූ සීෂාන් ද එකතු කර ගැනීමට ඇය පෙළඹුණාය.

සැමියාට වසදී මරා දැමීම ඇගේ සැලැස්ම විය. වස දීමේ ක්‍රීඩාවට අබීරා යොදා ගැනීමට අදහස් කළ නමුත් අන්තිම මොහොතේ අබීරා එය ප්‍රතික්ෂේප කිරීම නිසා ටූබා තුළ අබීරා කෙරෙහි වෛරයක් ඇති විය.

එහි ප්‍රතිඵලය වූයේ අබීරා මෙලොවින් තුරන් කිරීමට ටූබා විසින් සැලසුම් කිරීමයි. ඒ සඳහා ෆාරුක් හා ඔහුගේ මිත්‍ර සීෂාන් ද සහභාගි කර ගන්නා ලදී. යෝගට් සමඟ වස මිශ්‍රකොට පානය කිරීමට සැලැස්වීමෙන් ඔවුන් අබිරා ගේ මරණය සිදු කළේය. මරණ පරීක්ෂණයේදී අබීරාගේ ශරීරගත වූ වස ලෙස ආසනික් හා නයිට්‍රේට් ඇතුළත්ව තිබූ ඇති බව රස පරික්ෂක විසින් හඳුනාගනු ලැබිණ.

මේ අතර අබීරා මරා දමන ලද දින රාත්‍රියේ තමා නිවසට පැමිණි බවත් ෆාරූක් ඇය කාමරයකට දමා වසා දැමූ බවත් ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවීම හා අබීරා හඬා වැලපෙන අන්දම තමාට ඇසුණු බවත් ටූබා පොලිසිය ඉදිරියේ පැවසුවාය. ඉන්පසුව දොර විවෘත කළ ෆාරුක් අබීරා මරණයට පත් වී ඇති බව පවසා ඇයගේ සිරුර පෙට්ටියක් තුළට වසා දමා නිවෙසින් පිටව ගිය බවත් ටුබා වැඩිදුරටත් කීවාය.

ඉන්පසුව නිවසේ මෙහෙකාරිය හා අස්ලම් නමැති ත්‍රිවීලර් රියදුරකුගේ සහාය ඇතිව මළ සිරුර සහිත පෙට්ටිය බස් නැවතුම්පළට ගෙන ගොස් දැමූ බවත් ඇය පොලිසියට පැවසුවාය. දැනට ටූබා සහ ෆාරුක් හා සීෂාන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පමුණුවා ඇති අතර ලාහෝර් ඉහළ උසාවියේ පැවැත් වූ නඩු විභාගයේදී අධිකරණය මඟින් මෙම අපරාධය පිළිබඳ තොරතුරු විමසීම සඳහා උසාවියට නොපැමිණි සාක්ෂිකරුවන් තිදෙනකුට වරෙන්තු ද නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් ටූබා නොහොත් උස්මා විසින් අබීරාගේ මරණය පිළිබඳ කර තිබූ පාපොච්ඡාරණය නිසා විත්තිකරුවන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇතැයි පොලිසිය කියයි.

මියගිය අබීරාගේ නැගණිය වූ උස්මා භාත් මේ අතර පවසන්නේ මෙබඳු අපරාධයක් කරන්න තරම් ගල් හදවතක් කිසිවකුට තිබෙනු ඇතැයි තමා විශ්වාස නොකරන බවයි. එවන් අපරාධකරුවන්ට එල්ලා මැරීමේ දඬුවම හිමි වෙතැයි තමා ඉත සිතින් ප්‍රාර්ථනා කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.