දැන් මම කන්නේ මුස්ලිම් කඩේකින් ණය 80 000 ක් විතර තියෙනවා එත් සත පහක්වත් ඉල්ලලා නෑ

සැනට් දික්කුඹුර කියන්නේ හොඳ නළුවෙක් විතරක් නෙවෙයි හොඳ අංග රචනා ශිල්පියෙක්. සැනට් කීවාට වඩා බොහෝ දෙනා ඔහු හඳුනන්නේ පෝලෝ සීයා කීවාමයි. සැනට් ජීවත් වෙන දෙහිවල නිවසට ඔහු සොයා ගිය ගමනක මතක සටහන් පෙළගැස්මකි මේ.

මම මේ ඉන්න නිවස කලකට ඉස්සර තට්ටු දෙකේ ගෙයක්. මගේ තාත්තා මාතර කෙනෙක්. කොළඹට ඇවිත් තාත්තා පින්තූර රාමු කිරීම වගේ පොඩි පොඩි වැඩ කරමින් තමයි ජීවත්වෙලා තියෙන්නේ. පොල්හේන ඉස්කෝලෙන් හතේ පන්තියට විතරක් ඉගෙන ගත්ත තාත්තා ගොඩාක් දුප්පත් පවුලක කෙනෙක්. සීයා වඩු කාර්මිකයෙක්. ඉතිං ඉස්කෝලෙ අත ඇරලා කොළඹ ආපු තාත්තා මේසන් වැඩ තමයි කරලා තියෙන්නේ. තාත්තා පොල් කඩේක වැඩ කරන අතර තමයි මේ වැඩ කරලා තියෙන්නේ.

තාත්තාට උපකාර කළ මුදලාලිටත් අත්උදව් දීගෙන පිංතූර රාමු කඩයකුයි, ශ්‍රී ලංකා හෝටලය කියලා හෝටලයකුයි කරගෙන තාත්තා ජීවත්වෙන්න පටන් අරන් තියෙනවා. තාත්තා උත්සහවන්තයෙක් බව දැකපු පොල් කඩේ මුදලාලිත් එයාගෙ දුවක් කසාද බන්දලා දීලා තාත්තව පවුලේම කෙනෙක් කරගැනීමෙන් පස්සේ තාත්තා කොළඹම කෙනෙක් වුණා. තාත්තා කුලී ගෙවල්වල ඉන්නකොට තමයි ඇස් ද ඇස් ජයසිංහ මහත්තයා මේ ගෙවල් ලබාදීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ දවස්වල මම ලැබෙන්න ඉන්න කාලෙලු තාත්තා ගෙයක් ඉල්ලලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොට ගෙවල් ඔක්කොම දීලා ඉවරයිලු. ඒත් කවුරුවත් නොගෙන ඒ ගෙවල් සියයෙන් එකක් ඉතිරිවෙලා තිබිලා. ඒ නොම්බර 99 ගෙදර. අනූ නවය අසුබයි කියලා හිතපු මිනිස්සු ඒ ගෙය අත ඇරියට එය ලබාගත්තු තාත්තට එයින් වාසනාව උදා වුණා.

සැනට් දික්කුඹුර කියන මටත් වාසනාව උදා වුණේ මේ ගෙදරින්. ඉස්සර අපේ තාත්තා තමයි මුළු කොළඹටම වෙසක් සැරසිලි හැදුව ව්‍යාපාරිකයා. මේ ගෙදරම වෙසක් කූඩු, බකට්, වෙස්මූණු වැනි දෑ හදලා තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් වුණා. නමුත් ඔහු හදිසි අනතුරකින් මිය ගියා. ඒ දවස්වල අද වගේ හදිසි අනතුරු බහුල නෑ. ඒ කාලේ ලොකුම අනතුරක් විදිහට සැලකුව ඒ අනතුරින් හතරදෙනෙක් මිය ගියා. එයින් තුන් වැනියාට මිය ගියේ මගේ තාත්තා. ඉතිං ඉස්සර තාත්තා හදන වෙස් මූණු පාට කළේ මම. මට හොඳට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුණා. අපේ ගෙදර පිට පළාත්වලින් ආව හැටක් විතර කර්මාන්තයේ නියලුණා. මේ විදිහට ලයනල් වෙන්ඩ්ට් එකට සම්බන්ධ වුණා.

ඒ විදිහට තමයි මම කලාවට පය තිබ්බේ. අංග රචනා ඉගෙන ගත්තෙ පත්මකුමාරි එදිරිවීර කියන ගුරුන්නාන්සේගෙන්. මගෙත් එක්ක ලයනල් වෙන්ඩ්ට් එකේ තවත් බොහෝ පිරිසක් අංග රචනා ඉගෙන ගත්තට අවසානයේ එය කරන්න ඉතිරි වුණේ මං විතරයි. මම අංග රචනාවලින් අදටත් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. ඇස් යට මෙරූන් පාට තවරන්නේ මම විතරයි. කිසිම කෙනෙක් එය නොකරන දෙයක්. නමුත් එයින් මම ඇස්වල ඉස්මතුවීම වඩාත් තීව්‍ර කරනවා. මගේ එම විශේෂත්වය නිසා බැලූ බැල්මටම එය මගේ අංග රචනයක් බව දැනගන්න හැකි ලකුණක් වෙලා තියෙනවා. නමුත් අපේ කලාවේ මේ කාරිය කොතරම් බැරෑරුම් දෙයක් වුණත් ගෙවන්නේ ඉතාම අඩුවෙන්. මේක්අප් බඩුත් මා විසින්ම සපයගන්නවා. මෙහෙම එක්තරා ජනප්‍රිය ප්‍රවීණ නිළියකගේ චිත්‍රපටයක මේක්අප් කරලා ඇය මට ගෙවුවේ රුපියල් තුන්දාහයි.

ඒ විදිහට ශ්‍රමය සූරාකන අය තමයි මට වැඩිපුරම හමුවෙන්නේ. අසූ අටේ මට සම්මානය ලැබුණේ %මෝරා^ නාට්‍යයෙන්. මම එහි පසුතල නිර්මාණය කළා, අංග රචනය කළා, රඟපෑවා. ජයන්ත චන්ද්‍රසිරිගේ බලකිරීමටයි ඒක කළේ. ඒ මගේ පළවෙනි නාට්‍ය. එයින් සම්මාන ලැබුණා. ජයන්ත ඒ බඩු සමහරක් තවමත් අරන් ගියේ නැහැ. ඔය ගේ ඉදිරිපිට තියෙන ලෑලි තට්ටු තමයි ඒ. අද මමත් මගේ යාළුවෝ සහ අයිතිකාරයෝ වුණ බල්ලන් රෑනත් නිදාගන්නේ ඒ ලෑලි තට්ටු මත. ගෙය කඩාවැටුණා. මම විවාහ වුණෙත් නැහැ. මේ ගෙය අපි සහෝදර සහෝදරියන් හයදෙනෙකුට අයිතියි. එකමුතුකමක් නැති අපේ කට්ටියගේ විවිධ මතිමතාන්තර නිසා මේවා මේ විදිහට ගරා වැටෙන්න කලින් හදාගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. මගේ ලොකු අක්කත්, මමත් විවාහ වී නැහැ. මම විවාහ වෙන්න නොසිතුවෙත් මම ඉන්න මේ අවුල් ගොඩට තවත් කෙනෙක් ගෙනත් ජීවත් වෙන්න කියන්නේ කොහොමද කියන ගැටලුව තිබුණ නිසා.

මම හරි හම්බු කරපු දේවල් කෝ කියල අහන්න එපා. වැඩ කළාට බොහෝ දෙනෙක් මට ඒවට හරියන ගෙවීමක් කරල නැහැ. මෙතෙක් කාලෙකට මම කරපු අංග රචනයකට, එහි රඟපෑමටත් එක්කම ගෙවා ඇති වැඩිම මුදල රුපියල් අටදාහයි. ඒ ‘වෙලාවකට පිස්සු වගේ’ කියන වේදිකා නාට්‍යයට. ඒ වගේම තමයි මට මුදල් අයකිරීම සම්බන්ධයෙන් පන්නගෙන යන දැනුමක් නැහැ. මට ලැබුණු පෝලෝ ඇඩ් එකටත් ගෙවුවේ රුපියල් තිස්දාහයි. නමුත් එහි අංග රචනා ශිල්පියා රංජිත් මතගවීර මා එක්ක කිව්වා ඔහුගේ කාරිය වෙනුවෙන් ඔහුට හැත්තෑපන්දාහක් ගෙවුවා කියලා. දිලීප අබේසේකර මහත්තයට මම ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ ඔහු අපේ ප්‍රවීණ කලාකරුවෙකුගේ පුත්‍රයෙක් වගේම නිර්මාණශීලී තරුණයෙක් නිසා. ඔහු තමයි මේ ඇඩ් එකට මාව යෝජනා කර තිබෙන්නෙත්. මාව තුන් පාරක් විතර ඒකෙන් විකිණිලා තිබුණා.

ඉතිං මේ වැඩේ කතා කරන්න ගියාම මම හිතුවෙ ඒ ගැන මා එක්ක කතා කළ කාන්තාව දිලීප මහත්තයගෙ නෝනා වෙන්න ඇති කියලා. අනේ ඉතිං මගෙන් ඇහුවා එයා කීයක් මේ වැඩේට ඕනෙද කියලා. මම කිව්වා ඒක එයාලටම තීරණය කරන්න කියලා. එහෙමනම් අපි තර්ටි තවුසන්ඩ් දෙන්නම් කිව්වා. මට ඔය ගණන් මිනුම් ඉංග්‍රීසියෙන් කිව්වට ඒ තරම් කල්පනාවක් වුණේ නැහැ. ඒ වෙලාවෙ මට හිතුනෙ ඒ කිවුවෙ දහතුන්දාහක් වෙන්න ඇති කියලා. මම මුකුත් කිව්වෙ නැහැ. දිලීප මහත්තයගෙ මූණට එහෙම ගණන් මිනුම් ගැන කතාකරන්න හරි නැහැනේ කියල හිතුණ නිසා. අන්තිමේ එයින් මට ලැබුණු ගණන අරන් නිකම් හිටියා.

මට ජීවත්වීමට ක්‍රමයක් දැන් මා සතුව හරියාකරව නැති නිසා මම මේ ළඟදි දවසක විශ්‍රාම වැටුපක් අයදුම් කරන්න ගියා. එහිදී මට වයස වැඩියි කියලා ඒ කියන්නේ හැට දෙකක් කියලා විශ්‍රාම වැටුපක් දෙන්න බැහැ කිව්වා. එයාලගේ වයස් සීමාව හැට විදිහටලු තීරණය කරල තියෙන්නේ. ඉතිං මම ඒ අදහස අත්ඇරියා. නමුත් පෞද්ගලිකව එක් තරුණ මහත්තයෙක් මට මසකට එයා ගානේ ඒ රුපියල් හාරදහසක් ගෙවන්න පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ මුදල දැන් මාස තුනක් තිස්සේම මට ලබාදීලා තියෙනවා. මේ ළඟදී දවසක එයාගෙ නෝනගේ උපන්දිනය දවසේ මට වාහනය ගෙදරටම එවලා මාව එක්කගෙන ගිහින් මට හොඳ වටින ඇඳුම් කට්ටල දෙකක්ම තෑගි කරලා, මුදලුත් දීලා මාව ගෙදරටම ගෙනත් ඇරලුවා. කලා කාරයන් සහ කලාකරුවන් කියන්නේ එක කොටසක් නෙවෙයි, කොටස් දෙකක්. අපේ රටේ සීයට අනූවක් ඉන්නේ කලා කාරයෝ.

නමුත් කලාකරුවන් අඩුයි. කලාව වෙනුවෙන් අත හිත දීලා තව පරපුරකට එන්න මග සලසන අය, තවත් කලාකරුවෙකුට කලාව වෙනුවෙන් අතහිත දෙන අය තමයි කලාකරුවො වෙන්නේ. ලංකාවේ එහෙම තරු නෑ. දැන් බලන්න මාලනී ෆොන්සේකා නිළි රැජින. නමුත් කාටවත් උදව්වක් කරල නෑ. එයා කලාකාරිනියක් මිස කලාකරුවෙක් නෙවෙයි. මට වැඩ නැතිවෙන්න හේතුව ඕනම දෙයක දොසක් දැක්කොත් මම නම් ගම් පිටින්ම කියනවා. ඒක ගොඩක් දෙනෙකුට දිරවන්නෙ නෑ. ඒ නිසයි මට වැඩ අඩු. කලාකාරයො වෙන්නෙ කලාව තමන්ගේ බඩ වඩාගැනීම වෙනුවෙන් විතරක් පාවිච්චි කරන අය කියලා මම හිතනවා. එහෙම අය තමයි බහුතරයක් හමුවෙලා තියෙන්නේ.

අද මම මේ කඩාවැටී අබලන් වුණ ගෙදර මගේ සුරතලුන් එක්ක ජීවත් වෙනවා. මම මගේ කෑම වේල ගෙදර උයාගන්නෙ නැහැ. කඩෙනුයි ගෙනෙන්නේ. නමුත් මගේ හිතමිතුරන් විදිහට මගේ ළඟින් ඉඳගෙන මට තනියක් නොදැනෙන්න මාව ආරක්ෂා කරන, මට ඇත්තටම හිතවත් මේ බල්ලන් තුන්දෙනා වෙනුවෙන් මම ගෙදර උයනවා. උන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕන. මම නොකා හිටියත් මේ තුන්දෙනාට කන්න දෙනවා. බල්ලන් හත්දෙනෙක් හිටියා.

වරින්වර මිය ගිහින් දැන් ඉන්නේ මේ කට්ටිය විතරයි. මම නාන වෙලාවට මට හදිසියේවත් දුරකථන ඇමතුමක් ඇවිත් ඒක නෑසෙන තැනක නම් මම ඉන්නේ, මේ එක යාළුවෙක් මට දුරකථන ඇමතුමක් ඇවිත් බව මහ හයියෙන් දැනුම් දෙනවා උඩු බුරලලා. මෙයා උඩු බුරනකොට මං දන්නවා ඒ මට දුරකථන ඇමතුමක් ඇවිත් කියලා. මෙයාලා තුන්දෙනාම රෑට නිදාගන්නේ මා එක්ක අර ලී තට්ටු උඩ.

ඇත්තටම මිනිසුන්ට වැඩිය පුදුම කෙළෙහිගුණයක් තියෙන්නේ. පොඩි අසනීපයක් හැදුණත් මම මෙයාලට බෙහෙත් අරන් දෙනවා. මේ ගෙදරට ඇතුළු වෙන තැනම ඔය එල්ලලා තියෙන්නේ එයාලගෙ බෙහෙත්හේත්. මම නාන්නේ සන්ලයිට් ගාලා. නමුත් මෙයාලට බේබි සබන් ගාලයි නාවන්නේ. එක සතෙක්වත් මෙයාලාගේ ඇඟේ නැහැ. ඒ තරම් එයාලව පිරිසුදුව තියාගන්න මං වෙහෙසෙනවා.

මං කලකට ඉහත කෑම ගත්තෙ සිංහල හෝටලයකින්. ණයට තමයි ඉතිං. මුදල් ලැබුණු ගමන් ණය ගෙවා දමනවා. ඒත් පස්සෙ මට එතැනින් කෑම අරගන්න එක නවතන්න වුණා. හේතුව වැඩ කරන ළමයි මට පල නොකියා පලා බෙදන්න පටන් ගත්තු නිසා. ඊට පස්සෙ මම මුස්ලිම් හෝටලයකින් තමයි කෑම ගන්න පටන් ගත්තේ. ඒ කෑම කඩේ ඉතාම සැලකිල්ලෙන් මට කෑම ටික දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ විදිහට මගේ කෑම බිල අසූ හයදහසක් විතර වෙලා තිබුණා.

නමුත් කවදාවත් සල්ලි ඉල්ලුවේ නැහැ. මට ළඟදී කොළඹ සන්නිය රඟපෑම් වෙනුවෙන් රුපියල් පනස් දහසක් ඇඩ්වාන්ස් ලැබුණා. මම එයින් ණයෙන් කොටසක් ගෙවන්න ගිය වෙලාවෙත් ඒ මුදලාලි ඇහුවා පනස්දාහක්ම දෙන්න සල්ලි අතේ තියෙනවද, නැතිනම් ඒක අපි හෙමින් බේරගමු කියලා. නමුත් මට ඔළුව නිදහස් වීම ඊට වඩා වටිනවා. ඒ නිසා මම එය ගෙවා දැම්මා. මං මේ කිව්වේ අපේ රටේ අපේ මිනිස්සු අපිට සලකන විදිහ මෙහෙමයි කියන්නයි. සමහරු අපිට නාට්‍යයකට මේක්අප් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් දෙදාහයි.

ඇත්තටම වේදිකාවේ මේක්අප් වෙනුවෙන් ගැළපෙන්නේ ග්‍රීස් පේන්ට්. නමුත් දැන් අය කැමති පෑන් කේක් මේක්අප් තමයි. ඉස්සර අපි මේක්අප්වලට කවලම් කළේ පොල් තෙල්. නමුත් දැන් බේබි ඔයිල්. කාලය වෙනස්වෙලා. තවමත් මට මගේ රසිකයින්ගේ ආදරේ තියෙනවා. ඒ මම මුදලට යට නොවුණ මිනිහෙක් නිසා. මට නාට්‍ය ලෝකයේ ලැබුණ සම්මාන වගේම කලාභූෂණ සම්මානයත් ලැබිලා තියෙනවා. මම ඉතිං මේ අබලන්ව කඩාවැටුණු අංක 99, ශ්‍රී ගුණාලංකාර පාර, කලුබෝවිල, දෙහිවල කියන ලිපිනයේ තමයි පදිංචිවෙලා ඉන්නෙ.