අක්මීමණ ලලිත් තනි සියඹලා ගහකින් නෙළුෑ ලංකාවේ උසම දුටුගැමුණු පිළිරුව

දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිත විශාලතම දැවමය ප්‍රතිමාව නිර්මාණය කරනු ලැබුවේ තරුණ කැටයම්කරුවකු වන ගාල්ල අක්මීමණ යක්ගහ පදිංචි ලලිත් චන්ද්‍රනාත්ය. හේ පාරම්පරික කැටයම් ශිල්පියෙකි. කුඩා කාලයේ සිටම කලාවට ළැදි කලාකාමී අයෙකි. ලලිත්ගේ සීයා මෙන්ම පියාද පාරම්පරික කැටයම් ශිල්පීන්ය. මේ නිසා ලලිත්

චන්ද්‍රනාත්ට කැටයම් ශිල්පය උරුමයෙන් ලැබූණු දෙයකි. මොහු දියණියන් තිදෙනකුගේ පියෙකි. බිරිය සමන්තා දිල්හානිය.

පවුලේ සියලු දෙනා කැටයම් ශිල්පය කරගෙන යෑම සඳහා ලලිත්ට සහයෝගය ලබාදෙති. ලලිත්ගේ දෑතින් නිමවන විවිධ සත්ත්ව රූප, මිනිස් රූප හරි අපූරු නිමැවුම්ය. ලලිත් තම පවුලේ බඩ වියත රැක ගන්නේ මේ කැටයම් භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායමෙනි. ඔහු ඒ වෙනුවෙන් දැඩි අරගලයක නිරත වන්නේය.

2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ ඉතිහාසයේ පරසතුරු උවදුරුවලින් රට බේරාගත් රජවරුන් ගැන අප සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. දුටුගැමුණු මහරජතුමා ගැනද බොහෝදෙනා මහ ඉහළින් කතා කළහ. දුටුගැමුණු රජතුමාගේ පිළිමයක් නිර්මාණය කරන්නට ලලිත්ට සිතක් පහළ වන්නේ මේ අතරතුරේය.


දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිතව දැවමය පිළිමය මෙරට විශාලතම පිළිමය ලෙස නිර්මාණය කරන්නටද ලලිත්ට අවශ්‍ය විය. ඔහු ඒ වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා සැලසුම් සකස් කළේය. ජාතික ශිල්ප සභාවට ගොස් ඔහු තම අදහස කීවේය. දැවමය පිළිම ගැන තොරතුරු විමසා බැලුවේය. “අහුන්ගල්ල පන්සලේ අඩි අටක් උස දැවමය පිළිමයක් තියෙනවා. ඒක තමයි දැනට මෙරට ඇති උසම දැවමය පිළිමය” ශිල්ප සභාවෙන් දැනුම් දුන්නේය.

ආර්ථික ගැටලු නිසා පිළිමය නිර්මාණ කිරීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාද වූවත් දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිතව මෙරට විශාලතම දැවමය පිළිමය කෙසේ හෝ නිර්මාණය කරන බවට මේ කැටයම් ශිල්පියා අදිටන් කරගත්තේය. යක්ගහ ශ්‍රී නන්දාරාමාධිපති පොද්දල සිරිරතන හිමියන් හමුවී ලලිත් තම අදහස ඒ හිමියන්ට කීවේය.

“මහත්තයෝ වැඩේ පටන් ගන්න. අපටත් පුළු පුළුවන් ආකාරයට උදවු කරන්නම්” සිරිරතන හිමියෝ කීහ. අම්පිටියේ සුධම්ම හිමියන්ද ලලිත් දිරි ගැන්වීය. තම හිතවතකු වන පියරත්න අයියාටද තමන් යටතේ කැටයම් ශිල්පය කරන චන්දන ජගත්ටද ලලිත් මේ බව කීය. “වැඩේ පටන් ගනිමු.” ඔවුහු එක පයින් කීහ.

පිළිමය නෙළීම සඳහා විශාල ගසක් ගම පුරා සෙව්වේය. අවසානයේ ලලිත්ට තමන්ට අවශ්‍ය ආකාරයේ ගසක් සොයා ගැනීමට හැකිවිය. එය සියඹලා ගසකි. ඔහු එම සියඹලා ගස මිලදී ගත්තේය. ඉක්බිති ලලිත් ගමේ නැකැත්කරුවකු ලවා පිළිමයේ වැඩ ආරම්භ කිරීම සඳහා නැකැතක් සකස් කර ගත්තේය.



හේ යක්ගහ නන්දාරාම විහාරස්ථානයට ගොස් එම විහාරස්ථානයේ බෝ සමිඳුන් ඉදිරියේ පඬුරක් ගැටගැසීය. ආගමික කටයුතු අම්පිටියේ සුධම්ම හිමියන් විසින් කරනු ලැබීය. අඩි විස්සක් උස සිඹලා ගසේ කඳ සකස් කරගෙන පිළිමය නෙළීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

“අනුරාධපුරයේ රුවන්මැලි මහා සෑය ඉදිරිපිට තියෙන දුටුගැමුණු රජතුමාගේ ගල් පිළිමය අනුව සැලසුම් සකස් කරගත්තා. සියඹලා ගසේ භාගයක් විතර ශුද්ධ කරලා පිළිමය නෙළාගෙන ගියා. ඊට පස්සේ තමයි පිළිමය කෙළින් කළේ. එයත් කළේ නැකැතකට අනුවයි.” දින සති මාස ගණන් ගෙවී ගියේය. පිළිමය නිර්මාණය කිරීමේ ආර්ථික ගැටලු විස¼දාගැනීමට තම නිවසේ තිබූ ත්‍රිරෝද රථය විකිණීමට ඔහුට සිදුවිය.

“කොහොම හරි මහන්සි වෙලා පිළිමයේ වැඩ 2015 වෙසක් පෝයට කලින් අවසන් කළා. පිළිමය නිර්මාණය කරන්න මාස අටක් විතර ගියා. මේ පිළිමය අඩි විස්සක් උසයි. තනි සියඹලා ගහේ කඳෙන් නිර්මාණය කළේ. දැව ආරක්ෂක තෙල් යොදලා ආරක්ෂිතව තියාගන්න පුළුවන් අයුරින් තමයි මෙම පිළිමය නිර්මාණය කළේ.

නමුත් මේ සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් විතර වැයවුණා. කියන්න කනගාටුයි, මට මේ කටයුත්ත කරන්න කිසිදු රාජ්‍ය ආයතනයකින් ශත පහක උදව්වක් ලැබුණේ නැහැ. ජාතික ශිල්ප සභාවේ මහත්වරු ඇවිත් පිළිමය නෙළනකොට වීඩියෝ කරගෙන ගියා. දින සියයේ වැඩසටහනට දමලා උදවු කරන බව කීවා. නමුත් උදව්වක් නම් ලැබුණේ නෑ” ලලිත් පවසන්නේය.ලලිත් පවසන ආකාරයට මෙරට දැනට ඇති විශාලතම දැවමය පිළිමය වන්නේ දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිත මෙම පිළිමයයි. මෙම පිළිමය පාදමේ මුරගල, සඳකඩපහණ, සිංහයා සියඹලා ලීයෙන් හරි අපූරුවට නිර්මාණය කොට තිබේ. 2015 වෙසක් පුන් පෝය දින මෙම පිළිරුව නිරාවරණය කිරීම ආගමික කටයුතු මැද උත්කර්ෂවත් අයුරින් සිදුකර ඇත.

“මේ පිළිමය දැනට තියෙන්නේ මගේ නිවෙස ඉදිරිපිට ගේ මිදුලේ. ඇත්තටම මේ පිළිමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත වහලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අපේ කලා හැකියාවන් සහ අපේ උරුමය විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ට දැකබලා ගැනීමට සැලැස්වීමත් මෙම පිළිමය නිර්මාණය කිරීමේ තවත් අරමුණක්. ඇත්තටම ගාල්ල පින්නදූව අධිවේගීි පිවිසුමෙන් එළියට දාපු ගමන් මේ පිළිමය බලන්න එන ඕන කෙනකුට එන්න පුළුවන්.

මගේ අරමුණක් තමයි මේ පිළිමය තුළින් රටට විදේශ විනිමයක් ලබාගැනීම. මේ පිළිමය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට පැමිණ වීම තමයි අරමුණ. දැන් අවුරුදු 03කට ආසන්නයි. සමහරු ඇවිල්ලා බලලා යනවා. නමුත් සංචාරක මඟ පෙන්වන ආයතනවල මෙම පිළිමය ගැන සඳහනක් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.පිළිමය සඳහා සාධාරණ මිලක් නියම වුණොත් මා එය විකිණීමට කටයුතු කරනවා. එසේ වුවහොත් මේ වගේ තව තවත් නිර්මාණ කරන්න අපට පුළුවන්” ලලිත් කීවේය.