මුහුණේ සිදුරු 11ක්! ශරීරයේ අවයව 27 පළකින් විදගෙන අමුතුම විදියකින් ගීනස් පොතට ගිය ජර්මානු තරුණයා (video/photos)

ගීනස් පොතට සිය නම ඇතුළත් කරගත් විසිපස් හැවිරිදි ජර්මානු ජාතික තරුණයා පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජොයෙල් මිග්ලර් නම් මෙම තරුණයා ගීනස් පොතට ඇතුළත් වුණේ මුහුණ මත වැඩිම හිල් ගණනක් ඇති පුද්ගලයා ලෙසයි.

මේ තරුණයාගේ මුහුණේ සම විනිවිද යන ආකාරයේ සිදුරු 11ක් සකස්
කරගෙන ඇති අතර මීට අමතරව කනේ, මුහුණේ, පපුවේ, පිටේ සහ තවත් අවයවවල කරාබු දැමීම සඳහා ඔහු ශරීරය 27 පළකින් විදගෙන තිබෙනවා.

ජොයෙල් තමාව හඳුන්වාගන්නට කැමති ශරීර කලාකරුවෙක් හැටියටයි. වයස අවුරුදු දහතුනේදී කනවිද කරාබුවක් දැමීමෙන් තමා මේ අමුතු විනෝදාංශය පටන් ගත් බව ඔහු කියා සිටියා.

දැන් එය ඇබ්බැහියක් බවට පත්වී මානසික රෝගයක් තරමටම තමාට පෙලඹවීම් ඇතිකරවන බවයි ඔහු පවසන්නේ.

ශරීරයට දුක් දෙන මේ කලාව වෙනුවෙන් ජොයෙල් මේ වන විට වැය කර ඇති මුදල බි‍්‍රතාන්‍ය පවුම් 4000ක්. ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් අට ලක්ෂ තිස් දහසක් පමණ.

සිදුරු නිසා ඔහු වඩාත්ම අපහසුතාවට පත්වන්නේ ආහාර ගැනීමේදී බව කියවෙනවා. ඔහුට අනුභව කරන්නට හැකියාව තිබෙන්නේ විශාල කැබලි කඩා ආහාරයට ගන්නා කෑමවර්ග පමණයි.

මීට පිළියම හැටියට ඔහු බත්, බිස්කට්, මුරුක්කු වැනි ආහාර අනුභව කරද්දී කම්මුලේ ඇති සිදුරු දෙක ප්ලාස්ටික් පියන් වලින් වසාගන්නා බව ඔහු කියා තිබෙනවා. දුම් පානය කිරීමටත් ඔහුට නොහැකියි. බීම වර්ග පානය කරද්දීත් ඔහුට කම්මුලේ ඇති සිදුරු දෙක වසාගැනීමට සිදුවෙනවා.