හසලක නම ඉතිහාසගත කළ දෙවැනි වීරයා

දකුණු කොරියාවේ නිවෙසක් තුළ හටගෙන තිබූ ගින්නකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය බේරාගෙන ශ්‍රී ලංකාවට ගෞරවනීය නාමයක් අත්කර දුන් කොරියාවේ සේවය කළ ලාංකිකයකු ඊයේ (25දා) උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගනු ලැබීය.

එසේ පිළිගනු ලැබුවේ මහියංගණය හසලක පදිංචි නිමල්සිරි බණ්ඩාර මහතාවය.
ඔහු පිළිගැනීමට කොරියාවේ වැඩවසන ගරුතර භික්ෂූන් වහන්සේ පිරිසක් සහ දකුණු කොරියානු ජාතික නීතිඥවරු ඇතුළු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිරිසක් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් පැමිණීමේ කුටිය වෙත පැමිණ සිටියහ.

දකුණු කොරියාවේ ජියෝන්ග් සන්ග් පිහිටි මහල් නිවාස සංකීර්ණයක පහත මාලයක තිබූ නිවෙසක ඇතුළත පසුගිය පෙබරවාරි 10 වැනි දින හදිසියේ හටගත් දරුණු ගින්නක් තුළට ගොස් විනාඩි දහතුනක් ගිනි රකුසා සමග දරුණු සටනක යෙදෙමින් එම ගින්නට මැදිව සිටි මහලු කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කර තිබූ නිමල්සිරි බණ්ඩාර මහතාව ඇගැයීම සදහා පන්කෝටි තිස් ලක්ෂයක් පමණ ජනතාවක් වෙසෙන දකුණු කොරියාවේ වසරකට දස දෙනකුට පමණක් හිමිකම ලැබෙන සහතික පත්‍රයක් කොරියානු රජයේ බලධාරීන් ප්‍රදානය කර තිබිණි.

මෙම සහතික පත්‍රය හිමිවීමෙන් තම මවු රටට කීර්තියක් ලබාදීමට හැකි වීම ගැන තමන් මහත් සතුටකින් පසුවන බව නිමල්සිරි මහතා කටුනායක ගුවන් තොටුපොළේදී ‘ජනයුගය’ට පැවැසීය.

කොරියාවේ නිමල්සිරි බණ්ඩාර මහතා තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබද වැඩිදුරටත් මෙලෙස පැවැසීය.

“එදා මම රැකියාව කළ ස්ථානයේ ඉදලා නිවෙසට යන විට මහල් නිවාසයේ ගින්නක් හටගෙන තිබුණා. ගින්න විශාලව පැතිර යමින් තිබුණා. කොරියානු ජාතිකයකු කෑගසා කීළුා මගේ මව නිවෙස ඇතුළේ ගින්නට මැදිවෙලා ඉන්නවා. බේරගන්න විදියක් නැහැ උදවු කරන්න කියා. හුග දෙනෙක් බලා සිටියදී ඒ සැණින් මම බුර බුරා දැවෙන ගිනි දැල් අතුරින් නිවෙසේ කාමර තුනක් හරහා රිංගා ගිාය. ලොකු අවදානමක් තිබුණා. බිරිය, දරුවෝ මතක් වුණා. මාවත් ගිනි රස්නයට හසුවුණා. සීලිම කඩා වැටී දුම් පිරිලා තිබුණා. හුස්ම ගන්න අමාරු වුණා. ඒත් මහලු මවක් කෑගසනවා දැක්කම මම ගැන නොසිතා ඒ අම්මව බේරාගෙන එළියට ආවා. මාවත්, මහලු මවත් ඒ මොහොතේම රෝහල්ගත කරලා දින 29ක් ප්‍රතිකාර ලැබුවා. වෛද්‍යවරු කියලා තිබුණා මගේ පෙණහලුවලට විස දුම ඇතුළු වෙලා කියලා. කොරියානු රජයේ බලධාරීන් මාව හොදින් බලා ගත්තා. එරට කාන්තාවකගේ ජීවිතය බේරාගත් ක්‍රියාව නිසා වීර ක්‍රියා ඇගයීම් සහිතකය මගේ රටට ලැබුණා කියලා මම විශ්වාස කරනවා.”

පසුගියදා කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාකර් හම්ග් බම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී ද මෙම කරුණු සිහිපත් කරමින් ලාංකික ශ්‍රමිකයන් පිළිබද ප්‍රශංසා කළ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.