සැමියා හැර ගිය රූමතිය දරුවා වෙනුවෙන් Night Club ජීවිතයට හුරුවුණු සංවේදී කඳුළු කතාවකි මේ

ගැහැණියකගේ පුංචි වරදත් ලොකු වරදක් කරමින් ඇගිල්ල දික්කරන්න මේ සමාජයේ හුඟක් අය බලාගෙන ඉන්නවා.
ඒ නිසා ඕනම දෙයක් කරන්න කළින් දෙපාරක් හිතනවනම් ජීවිතවල සතුට හැමදාම තමන් ළඟ තියාගන්න පුළුවන්.
මේ ඒ විදිහට සතුට ජීවිතයේ රඳවාගන්න බැරිවුණු ගැහැණියකගේ කඳුළු කතාවක්.
එක් සෝපාවකට බරවුණු මා ඉදිරියේම මැදිවියේ පුද්ගලයෙක් වාඩි වී සිටියේය. ඔහු මා දෙස බලා සිනහසුණේය. මම ද ඊට ප්‍රතිචාර දැක්වීමි. ඔහු වටා කෙල්ලන් දෙතුන් දෙනෙකි.
“මොකද ඔතැන තනියම එන්න මෙතැනට”
ඔහුගේ ආරාධනාව ඉවත දැමිය නොහැකි නිසාදෝ මම ඔහු ළඟට ගියෙමි.
“තනියෙන් ද ආවේ”
“ඔව්. යාළුවෙක් එනවයි කිව්වා. ඒත් තවම නැහැ. මම හිතන්නේ එන එකක් නැහැ වගේ”
මම බේගලයක් ඇද බෑවෙමි.
“මොකටද තනිවෙන්නේ. මේ ඉන්නේ සුරංගනාවියෝ”
ඔහු තමා වටා සිටින කෙල්ලන් දෙතුන් දෙනා පෙන්වමින් මට කීවේය.
“හායි…..”
කෙල්ලක් මා වෙත සිය අත දිගුකරමින් කීවාය.
“මොනවද බොන්නේ”
ඒ මට ආරධනා කළ මිතුරාගේ හඬයි.
“නෑ මම ඕඩර් කරන්නම්”
“පිස්සුද… ඔයා මේ බ්‍රෑන්ඩ් එක ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ”
මේසය මත තිබු බ්ලැක් ලේබල් විස්කි බෝතලය පෙන්ව මින් ඔහු මට කීවේය. මම ද එයින් මඳක් වීදුරුවකට දමා ගත්තෙමි.
“චියර්ස්…”
අපි දෙන්නා කතා බහට වැටණෙමු. මැදිවියේ සිටියත් ඔහුගේ ගතිපැවතුම් තරුණයකු මෙනි. ඔහුගේ කතා විලාසයට මම ආශා කළෙමි. කිසිදු බරක්පතළක් නැතිව ඔහු සතුටින් සිනහවෙන් කාලය ගත කරන්නෙකි.
“මචං…. මට කෙල්ලොම දෙන්නෙක් ඉන්නවා. එක දුවෙක් කසාද බැඳලා ඉතාලියේ ඉන්නේ. අනෙක් කෙල්ල මේ පාර ඒ ලෙවල් කරනවා. එයාත් කවදා හරි ඉතාලි යයි. මම කතෝලික , ඒ වුණාට මගේ වයිෆ් බුඩිස්ට්. මම පන්සලුත් යනවා පල්ලිත් යනවා.”
ඔහු කියාගෙන යයි. මම එය අසා සිටිමි.
“අපි ජීවත් වෙන්නේ පොඩිකාලයයි. කොයි වෙලාවේ මැරෙයිද දන්නෙ නැහැ. දැන් යනකොටත් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න කෙටි කාලයේ මේ වගේ සතුටු වුණාට ප්‍රශ්නයක් නැහැ. අනික ගෙදරට කරන්න ඕන සේරම යුතුකම් කරලයි මම මේ සේරම කරන්නේ….
“එහෙම නම් ඉතින් කමක් නැහැ”
මම ද ඔහු සතුටු කරන අදහසින් කීවෙමි.
“ඔයා බැඳලද “
ඔහු මගෙන් විමසුවේය.
මම විවාහ වී සිටින බවත් මගේ බිරිය මේ වන විට විදේශ ගතව සිටින බවත් මම ඔහුට කීවෙමි.
“ආ…. එහෙනම් මොකද… මෙහෙම ෆන් එකක් ගත්තම”
ඔහු මගේ පිටට තට්ටුවක් ද දමා සිනහමුසුව පැවසුවේය.
“අනික … ගෙදරවත් මෙහෙම ෆන් එකක් නැහැනේ – නැද්ද මචං…”
මම ද හිස සලා එය අනුමත කළෙමි.
මිතුරා පදමට මත් වී ඇති බව මට වැටහේ. ඒ ඔහු වටා සිටි යුවතියන් ඔහුගේ වීදුරුවට විස්කි පුරවන හෙයිනි. මම ද විස්කි මඳක් තොලගාමි.
“කෝ මධු.. මධු පේන්න නැහැනේ”
එකවරම මා මිතුරා ඔහු වටා සිටි කෙල්ලන්ගෙන් අහන්නට විය.
“එයාට ටිකක් සනීප මදි. ඉන්න මම එක්කගෙන එන්නම්”
එක කෙල්ලක් මධු ගෙන එන පොරොන්දුව මත එතැනින් ගියාය.
“ඔයාට හරියන කෙල්ලෙක් තමයි මධු. පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න….”
“ඒ කිව්වේ….”
ඔහු කියන කතාව තේරුම් ගත නොහැකිව මම ඔහුගෙන් විමසුවෙමි.
“ඇයි බං..දැන් උඹේ ගෑනිත් රට… මේකි හොඳ කෙල්ල… උඹට පවුල් කෑව හැකි මේකිත් එක්ක මොකද මේකිගේ මිනිහා එකිව දාලා ගිහින්”
එසේ කියමින් ඔහු මහ හඬින් සිනහසුණේය. ඔහුගේ කතාවට සිනහ නොගොස් ඉන්නට මටද බැරිවිය. මොහොතකින් රූමත් කෙල්ලක් එතැනට පැමිණියාය. මිතුරා ඇයට මා හඳුන්වා දුන්නේය. ඇය මා අසලින් වාඩිවිය.
ඇය මා ළඟ වාඩිවුව ද මා හා එතරම් කතා බහක් කළේ නැත. එහෙත් ඇය හා කතා කිරීමේ ආශාවක් මට තිබිණි.
“ඔයාට සනිප නැද්ද”
මඳ නිහැඬියාවකින් පසු මම ඇගෙන් විමසුවෙමි.
“ඔව්. අයියේ ඇඟට ටිකක් හරි නැහැ”
“ඒ ඇයි?”
“අද උදේ ඉඳන්ම උණ ගන්න වගේ. මම ඇතුළට වෙලා හිටියෙත් ඒකයි…..”
“අමාරු නම් එන්නේ නැතිව ඉන්න තිබුණනේ”
එසේ කියද්දී ඇය මගේ මුහුණ දෙස එක එල්ලේම බැලුවාය.
“එහෙම කොහොමද අයියේ. වැඩට ආවොත් විතරයිනේ කීයක් හරි හම්බවෙන්නේ”
එය සැබෑවක් බව මම ද දනිමි. මොන ප්‍රශ්න තිබුණත් මෙතැනට එන පිරිමින් පිනවීම ඔවුන් සතු කාර්යයකි. ඒ ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවයයි. නැතහොත් ආයතනය බාරකරුවන්ගෙන් ඔවුන්ට දොස් එල්ල වෙයි.
“මධු” ගේ අසනීප තත්ත්වය නිසා අපි වරින් වර නිහඬතාවයක රැඳුණෙමු. ඒ අතර මම සිගරැට්ටුවක් දල්වා ගතිමි.
“මටත් එකක් දෙන්න අයියේ”
“සිගරැට්… ඔයාට සනීප නැහැ නේද”
“සනීප නැහැයි කියලා පැත්තකට වෙලා ඉන්න බැහැනේ….”
“ඒ වුණාට ඔයාට තවත් අසනීප වෙයි”
“කමක් නැහැ එකක් දෙන්න”
දෙතොල් අතර සිගරැට්ටුව රඳවාගත් ඇය එය දල්වා යළි කල්පනා ලොවකට බර වුවාය.
“ඔයාට බොන්න මොනවහරි ගේන්නද?”
“එපා අයියේ.. මගේ ඇඟ ඇතුලේ උණ වගේ”
මොහොතකින් මම ඇය සමඟ කුළුපග වීමි. ඇගේ දුක්බර කතාව ඇය මට කීවේ ඉන් පසුවය.
“මට දරුවෙක් ඉන්නවා අයියේ”
ඇයට දරුවකු සිටින බව දුටු පමණින් කිසිවකුටත් කිව නෙහැක්කේ ඇය එතරම්ම සුන්දර යුවතියක් වු නිසාය.
“එතකොට ඔයාගේ මහත්තයා”
මගේ කතාවෙන් ඇයගේ මුහුණ වෙනස් වුවාය.
“මහත්තයා නැහැ අයියේ. එයා මාව දාලා ගිහින්”
“ඇයි ඒ”
“ඒක තමයි අයියේ මගේ දෛවය”
“පුදුම කතාවක්නේ ඒක”
ඉන්පසු ඇය ඊට හේතු කියන්නට විය. ඇය පවසන පරිදි ඇගේ සැමියා ඇය දමා ගොස් ඇත්තේ දරුවා ඔහුගේ බව පිළිගැනීමට අකමැති නිසාය. වෙනත් පිරිමියකු හා ඇතිවු සබඳතාවක් නිසා එම දරුවා බිහි වී ඇති බව කියමින් ඔහු ඇයට චෝදනා කර ඇත.
“මම කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. එයා වගේ නෙමෙයිලු එයාගේ දරුවා. අන්තිමට රංඩු වුණා. මට හොඳටම ගැහැව්වා. පොලිසි ගියා. එතැනදිත් එයා ඒ ටිකමයි කිව්වේ. අන්තිමට දික්කසාද වෙලා තමයි නතර වුණේ”
ඇගේ දෙනෙත් කඳුළින් පිරී ගොසිනි. ඇගේ කතාව ඇසු මම ද පුදුමයට පත්වීමි. ඒ වගේම මා තුළ ඇති වුණේ දුකකි. මෙවන් ජීවිත අපිට මුණ ගැසෙන්නේ මෙවන් තැන්වලදී පමණි.
“දැන් දරුවා කෝ නංගී”
“බෝඩිමේ ඇන්ටි බලාගන්නවා. එයාට පුරුදුයි”
ඇය වචන කතා කරන්නේ දැඩි අසීරුවකිනි. ඒ ඇයට තදින්ම උණ වැළඳී සිටින නිසා බව මම තේරුම් ගතිමි.
“ඔයාට කතා කරන්න අමාරුයි නේද”
“ඔව් අයිියේ..”
“ඉතින් බෙහෙත් ටිකක් ගන්න එපැයි”
“බෙහෙත් ගන්න කියලා දවසක් නැවතුණොත් මටයි දරුවටයි බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ”
ඇය කියන කතාව මම තේරුම් ගතිමි. ඒත් ඇගේ දුකට පිහිට විය හැක්කේ ඇයට කිසියම් උදව්වක් කිරිමෙනි. නැතහොත් ඇය සමඟ වෙනම ජීවිතයක් ගත කිරීමෙනි. ඒ දෙකම කළ නොහැකි බව මම දනිමි. ඇත්තෙන්ම ඇය ගත කරන්නේ පව්කාර ජීවිතයකි.
“මම දවස් දෙකක් වැඩට ආවෙ නැහැ. එතකොට පඩිය කැපෙනවා. අද උදේ දරුවට දෙන්න පිටි හැන්දක්වත් කාමරේ තිබුණේ නැහැ. මට අද නැගිටන්නවත් පණක් තිබුණේ නැහැ. උණ හැදිලත් මෙතනට ආවේ වෙන කරන්න දෙයක් නැතිකම නිසාමයි.”
ඇගේ කතාව අසන කෙනාට පුදුමයක් ගෙන දේ. මෙතරම් අසනීප තත්ත්වයක් තිබියදී මෙවන් තැනකට සේවයට එන්නට තරම් ඇය මෝඩියක් දැයි මට නොතේරේ. එහෙත් ඇය කියන්නේ ඇත්තක් බව මම වටහා ගතිමි.
“ඉතින් ළමයෝ ඔහොම කියලා හරියනවැයි. දොස්තර කෙනකුටවත් පෙන්නන්න එපැයි”
“දොස්තර කෙනෙකුට පෙන්නුවා. දොස්තර මහත්තයා කිව්වා බ්ල්ඩ් චෙක්කරගන්න. ටිකක් රෙස්ට් කරන්න කියලා.”
“ඉතින් එහෙම කරන්න එපැයි”
“රෙස්ට් කර කර හිටියොත් මටයි මගේ දරුවටයි බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ”
“ඒක නෙමේ පුතා තාත්තව හොයන්නේ නැද්ද?”
“හොයනවා අයියේ. කවුරු හරි මට කෝල් කළොත් එයා හිතන්නේ තාත්තා කියලා. තාත්තා තාත්තා කියනවා. ඒත්….”“ඇයි ඒත් කිව්වේ”
“මම එතකොට මොනවද අයියේ කියන්නේ. මම දරුවත් තුරුළු කරගෙන ඇති තරම් හඬනවා. අඬලා අඬලා මටත් එහෙම්ම නින්ද යනවා. එයාත් මගේ තුරුළුලේම නිදා ගන්නවා.”
“ඉතින් හැමදාමත් මෙහෙම දුක් විඳලා හරියනවැයි. ඔයා තවම තරුණයිනේ. තවත් කසාදයක් කර ගන්න පුළුවන්නේ”
මගේ වචනයෙන් කලබල වූ ඇය මොහොතක් මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි.
“පිස්සුද අයියේ මට මිනිහෙක් ඕනෑ නැහැ. මේ ඉන්න විදිහ හොඳයි”
“ ඒ වුණාට දරුවට තාත්තා කෙනෙක්…”
මට කතාව නිම කරන්නට ඇය ඉඩ නොදුන්නාය.
“මට පිරිමි තිත්තයි අයියේ”
“මෙතනට එන කවුරුහරි ඔයාට සෙට් කරගන්න පුළුවන්නේ”
“මෙතැනට එන පිරිමි අපිව කසාද බඳින්න නෙමේනේ අයියේ එන්නේ. එයාලා එන්නේ එයාලගේ ෆන් එක ගන්න. එයාලට අපිව සෙල්ලම් බඩු වගේ. ගෙදර ගැනිගේ ප්‍රශ්න නැති කරගන්න මෙතනට එනවා මිසක් එයාලා අපිව කසාද බඳින්නේ නැහැ අයියේ.”
ඇය කියාගෙන ගියාය. ඇයට මඳක් කේන්ති ගිය බව මට වැටහිණි.
“හරි. මම ඔයාව කසාද බඳින්න කැමති වුණොත්”
මම නක්කලයට මෙන් ඇයට කීවෙමි.
“එහෙනම් ඔයාට හොඳටම පිස්සු. නැත්නම් ඔයාගේ මොලේ කබල්”
ඇයගේ මුවට නැගුණේ සිනහවකි. තවත් සිගරැට්ටුවක් දල්වාගත් ඇය ඉන් දුම් වළලු කිහිපයක් මා වෙතටද පා කර හැරියාය.
“කසාද බඳින්නත් බැහැලු, පිරිමිත් අරහංලු”
“ඔව්”
“එහෙනම් ඉතින් ඒ පවට පිං දෙන්න මට බැහැනේ”
මම සුසුමක් පිට කරන්නට වීමි.
“ඒක නම් ඇත්ත. මම ගෙනාපු පව මමම ගෙවන්න ඕන. අහක ඉන්න ඔයා කරගහන්න ඕන නැහැ.”
“නැහැ මම කිව්වේ ඔයාගේ දරුවා ගැන හිතලවත්”
මම නැවතත් ඇයට පැහැදිලි කළෙමි.
“ඔයා කියන එක මට තේරෙනවා අයියේ. මම මේ දුක් විඳින්නෙත් දරුවා නිසා තමයි. අසනීප වෙලත් මම මෙතැනට ආවේ කීයක් හරි හම්බ වුණොත් එයාට සෙල්ලම් බඩුවක්වත් අරන් යන්න. එයා ඒක ගේනකම් බලං ඉන්නවා. ඒක තමයි එයාගේ සතුට”
ඇත්තෙන්ම මම ඇගේ කතාව තේරුම් ගතිමි. ඇය සිටින තත්තවයද මට වැටහේ. අම්මා කෙනෙකුට දරුවකු තරම් වටිනා සම්පතක් නැත. එය මමද දනිමි. ඇය කුමන රැකියාවක් කළත් හිතන්නේ තම දරුවා ගැන පමණි. අවසානයේ මා ඇගෙන් සමුගත්තේ පුතාට සෙල්ලම් බඩුවක් රැගෙන යාමට අවශ්‍ය මුදලක් ඇය අත තබමිනි.