මධුසමය අතරමග නතර කළ හිත හොඳ නෙදර්ලන්ත යුවළ සුනඛයෙක්ට පිහිටවෙයි

මධුසමය ගත කිරිමට නෙදර්ලන්තයේ සිට තිස්සමහාරාමයට පැමිණි සුදු ජාතික තරණ යුවළක් පාරේ තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ වැටී සිටි සුනඛයකු කතරගම පශු වෛද්‍ය කාර්යාලයට රැගෙනවිත් පසුගියදා (14දා) සුනඛයාට සැත්කමක් කර එම සතාව සුවපත් කරදීම පිළිබද සංවේදී පුවතක් කතරගමින් වාර්තා වේ.

සුනඛයාගේ දකුණු අත දරුණු ලෙස තුවාල වී වේදනාවෙන් මහ මග වැටී සිටිනා අයුරු දැකීමෙන් කම්පනයට පත්වූ මෙම සුදු ජාතික යුවළ තම සංචාරක මාර්ගෝපදේශකයාට ඒ සම්බන්ධව සැලකිරීමෙන් පසු ඔහුගේ මග පෙන්වීම අනුව කතරගම පශූ වෛද්‍ය නිලධාරි කාර්යාලයට
සුනඛයා රැගෙනවිත් තිබේ. පසුව දීර්ඝ සැත්කමක් සිදුකර සුනඛයාගේ තුවාල සිදුවී තිබූ දකුණු අත උරහිසෙන් වෙන්කර සැත්කම සාර්ථක ලෙස සිදු කිරීමට පශූ වෛද්‍ය නිලධාරීහු කටයුතු කර ඇත. සුනඛයාට ප්‍රතිකර්මයක් නොකර තමන් යළි මවු රටට නොයන බවත්, අසරණ සත්ත්වයාගේ රෝගී තත්ත්වය සුව වීම තමනට මහත් සැනසීමක් බවත් මෙම තරුණ සුදු ජාතික යුවළ වන මාර්ටන් සහ ජැකලින් තමනට ප්‍රකාශ කළ බව මාර්ගෝපදේශක ලකී බාලසූරීය මහතා අප සමග පැවැසීය.

සුනඛයාගේ ශල්‍යකර්මය වෙනුවෙන් ගිය සියලු වියදම් මෙම සුදු ජාතික යුවළ ගෙවා, සුනඛයාට ආහාරද ලබාදී සුනඛයා මහ මග වැටී සිටි ස්ථානයේ ප්‍රදේශවාසීනටම යළි භාර දීමට කටයුතු කර තිබේ.