කඹුරුපිටියේ සිවුදෙනෙකු දිවිනසාගත් සිදුවීමේ මව පොලිසියට ඇවිත් කියපු දේ

රටම කම්පාවට පත් කරමින් පියා සහ දරු තුන් දෙනෙකු එල්ලී මැරුණ කඹුරුපිටිය- රන්සෑගොඩ උතුර, බෙරලිඅතුර ප්‍රදේශයේ සිද්ධියට මාසයකට පසු එම පවුලේ මව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තිරිමාදුව ශ්‍රියානි නමැති මේ මව පොලිසියට පැමිණ ඇත්තේ ඉතිරිව සිටින
පවුලේ එකම හා වැඩිමහල් පුතු වන රන්සෑගොඩ සුදත්ත හිමියන් සමඟින්.

මේ මස 26 වැනිදා තම මව තමන් සමග කඹුරුපිටිය පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් දුන් බව ඊයේ (28) සුදත්ත හිමියන් මාධ්‍යට පවසා තිබුණා.

වාර්තා වන අන්දමට ශ්‍රියානි ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

“ආර්ථික ප්‍රශ්නත් එක්ක පවුලේ ආරවුල් ඇති වුනා. මම සැමියා හා දරුවන් දාල වැලිගම මහා ගෙදර ගියා. පස්සේ මම කොළඹ ගියා. ඒ අතරතුර ඔවුන් සිය දිවි නසාගෙන”

“ඒ සිද්ධියත් එක්ක මට සමාජයට මුහුණ දෙන්න බෑ. ඒ හින්දයි සැමියා හා දරු තුන් දෙනාගේ අවමගුලටවත් නාවේ. මට වෙනත් කිසිම සම්බන්ධයක් නෑ “

පසුගිය ජුනි මස 26 වන දින නිවස ඉදිරිපිට තිබු ගස් දෙකක ගෙල වැළලාගෙන මියගොස් තිබුණේ 43 හැවිරිදි පියා වන වික්‍රමතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත, වැඩිමහල් දියණිය වූ 16 හැවිරිදි වික්‍රමතුංග ආරච්චි පතිරණගේ කෞශල්‍යා, බාල දියණිය වන 10 හැවිරිදි වික්‍රමතුංග ආරච්චි පතිරණගේ හිරුණි මෙන්ම බාල පුතු වන 14 හැවිරිදි රන්සෑගොඩ මංගල හිමියන්.

රන්සෑගොඩ උතුර කනිෂ්ඨ විද්‍යාලයේ 11 සහ 05 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි දියණියන් දෙදෙනාගෙන් එක අයෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අතර අනෙක් දුව අගෝස්තු මස පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

සිද්ධියෙන් පසු එම පවුලේ ඉතිරිව ඇත්තේ අම්මා වන තිරිමාදුව ශ්‍රියානි සහ වැඩිමහල් පුතු වන රත්නපුර හංගමුව ජයබෝධි විහාරවාසි රන්සෑගොඩ සුදත්ත හිමියන් පමණයි.

අගහිඟකම පැවතියද ඉතා සතුටින් ජීවත් වූ මෙම පවුලේ පියා කුරුඳු තලන්නෙකු වූ අතර වසර පුරාම රැකියාව කරගෙන යාමට ඉඩක් නොමැතිවීම නිසා දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටියා.

මේ පවුලේ පිරිමි දරුවන් දෙදෙනාම ශාසනයට පූජා කිරීමට ඔවුන් තීරණය කර තිබුණෙත් මේ පසුබිම යටතේ.

පියා ඇතැම් අවස්ථාවල බීමත්ව පැමිණ ආරවුල් ඇතිකර ගෙන තිබුණු අතර එවන් අවස්ථාවල මේ මව සිය සැමියා හා දරුවන් නිවසේ තබා ඇයගේ වැලිගම පිහිටි මහගෙදර වෙත යාමට පුරුදුවී සිටියා.

පසුව දින කිහිපයකින් ඇය යළිත් නිවසට පැමිණෙනවා.

මේ අවාසනාවන්ත සිද්ධිය වීමට මාසයකට පමණ පෙර ශ්‍රියානි තම ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇතිකර ගන්නේ විදෙස්ගතවීම සඳහා යාමට අවසර ලබා නොදීම හේතුවෙන්.

මේ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රියානි තම දියණියන් දෙදෙනා හා සැමියා තනිකර තම මහ ගෙදරට යන අතර ඇය මෙවර සිය ජංගම දුරකථනයද විසන්ධි කර ගත්තා නිසා සැමියාට හා දරුවන්ට ඇය සම්බන්ධ කරගැනීමටත් අපහසු වුණා.

කෞෂල්‍යා අවසන් වරට ලියු ලිපියක අම්මාට ඉක්මනින් නිවසට එන ලෙසද දන්වා තිබෙනවා.

“අනේ අම්මේ ඉක්මනට ගෙදර එන්න. ගෙදර වැඩ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මට. ගමේ මිනිස්සු මට එක එක කතාන්දරත් කියනවා. ඒ නිසා අම්මා ඉක්මණින් එන්න. මගේ අම්මාට බුදුසරණයි”

26 වැනි දින නිවසට පැමිණෙන බව මව වෙනත් දුරකථනයකින් දැනුම් දී තිබුනත් රෑබෝ වන තෙක්ම මව නොපැමිණි නිසා ප්‍රියන්තසහ දරුවන් සිය දිවි නසාගෙන තිබෙනවා.

ඊට දින කිහිපයකට පෙර සිට ප්‍රියන්ත තම සාමණේර පුතුන් දෙදෙනාද ගෙදරට වැඩම කර ගැනීමට උත්සාහ කළ අතර වැඩිමහල් සාමණේර පුතු වූ සුදත්ත හිමියන් පියාගේ ඉල්ලීමට අනුව වැඩම නොකළ අතර බාල සාමණේර පුතු මංගල හිමියන් වැඩම කර තිබුණා.

සියදිවි හානිකර ගන්නා බවට ඒ අනුව ඔවුන් සිව් දෙනාම ලිපියක් ලියා පිළිවෙළට අත්සන් තැබු අතර කෞෂල්‍යා ඉහළින්ම අත්සන් කර දෙවැනි අත්සන තැබීම හිරුණිට දී තිබුණා.

මංගල හිමියන් අවසන් පේළියේ අත්සන තබා තිබුණා.

එහි සඳහන් කර තිබුණේ අම්මා නොපැමිණී නිසි තාත්තාගේ තීරණයකට තමන්ද එකඟ වී සියදිවි හානිකර ගන්නා බවයි.

අම්මා නොපැමිණිය හොත් සිදුවන්නේ තම මළ මිනී බලාගැනීමට බවද අම්මාට බුදු සරණයි කියාද එම ලිපියේ ඔවුන් ලියා තිබුණා.

එම පවුලේ වැඩමහල් පුතු වූ සුදත්ත හිමියන් පසුව සඳහන් කර තිබුනේ මෙවැන්නක්.

“තාත්තා රෑ 10.00 ට විතර මට ඇමතුමක් ගත්තා. අම්මට ඉන්න තැනකින් කෝල් එක්ක දෙන්න කියන්න කීවා. එහෙම නැති වුණොත් නංගිලා දෙන්නයි මල්ලියි සමග මැරෙනවා කීවා. මීට පෙරත් අම්මා තරහවෙලා ගියාම ගෙදර එක්ක එන්නේ මම නිසා තාත්තා සැක කළා, අම්ම ඉන්න තැන මම දන්නවා ඇති කියලා. ඒත් අම්මා මෙවර මටවත් ඉන්න තැන කීවේ නැහැ. ඒත් එක්කම තාත්තා නංගිලා දෙන්නටත් මල්ලිටත් මා සමග දුරකථනයෙන් කතා කරන්න ඉඩ දුන්නා. ලොකු නංගි වගේම බාල නංගිත් මල්ලිත් කීවා. අයියේ දැන් අපි අත් දෙකත් පිටුපසට ගැට ගහගෙනයි ඉන්නේ. අම්මාට කියලා කෝල් කරන්න නැත්නම් අපි මැරෙනවා කියලා. ඉතා සැහැල්ලුවෙන් හා විහිළුවට වගේ ඒ දේවල් කියපු නිසා මම එය ගණන් ගත්තේ නැහැ. මොකද මීට පෙර දවසකත් මට එහෙමම අත්ගැට ගසා ගෙන සිටින බව කීවා. මම අම්මා ගැන සොයන්නම් කියලා දුරකථන ඇමතුම් අවසන් කර නිදා ගත්තා. පහුදින අළුයම 1.00 ට පමණ කඹුරුපිටිය පොලිසියෙන් දුරකථන ඇමතුමක් දී කීවා, ගෙදර කරදරයක්, ඉක්මනට වැඩම කරන්න කියලා. මළගමටවත් අම්මා ආවේ නැහැ.”

වැඩිමහල් දියණියට සමාජය ඉදිරියේ එල්ල වී තිබූ කතන්දර ගැනත් වැඩි අවධානයක් පශ්චාත් මරණ පරරීක්ෂණයේදී යොමු වුන අතර දැරියට මිය යන තෙක් කිසිදු අතවරයක් සිදුවී නොමැති බව එහිදී තහවුරු වුණා.

ප්‍රියන්ත තමා පදිංචිව සිටි කැදැල්ලටද ගිනි තබා සුරතලයට ඇති කළ සුනඛයා ද ළිඳට දමා මරා මෙම අපරාධය සිදුකර තිබුණ අතර ගෙට ගිනි තැබීමට පෙර බුදුපිළිම, බුද්ධ රූප හා දේව රූප පිටතට ගෙනවිත් තබා තිබුණා.

සියල්ල සිදු වී අවසානයේ මවට කුමක් විද යන්න විශාල කතාබහක් ඇතිවුයේ ඇය මළ ගෙදරට හෝ ඉන් පසුව නොපැමිණි නිසයි.

ලොකු පුතා වූ සුදත්ත හිමියන් එකල කියා සිටියේ තමාට අම්මා සොයා ගැනීමට අවශ්‍ය බවයි.

සිද්ධියෙන් පසු මියගිය වැඩිමහල් දියණිය වන කෞශල්‍යාගේ පාසලේ හොඳම යෙහෙළිය වූ අනිශා සත්සරණි මෙසේ කියා තිබුණා.

“කෞෂල්‍යාගේ හොඳම මිතුරිය මමයි. ඇගේ ජීවිතයේ සෑම දෙයක්ම මා සමග පවසනවා. අම්මා ගෙදරින් ගිය බවත් කීවා. ගිය 18 වැනිදා අම්මා ආපහු එනවා කියලා කීවා. අම්මා එනකම් ඇය ආසාවෙන් බලාගෙන හිටියේ. ඒත් පසුවදාද දුකින් කීවා, අම්මා ආවේ නැහැ කියා. පස්සේ කිව්වා, අම්මා ගාමන්ට් එකක වැඩට යනවා, 25 වැනිදා පඩි අරගෙන 26 වැනිදා ගෙදර එනවා කියලා. ඒ සතියේ සිකුරාදා වෙනකම්ම ඇය පාසල් ආවා. සඳුදා එන බව කීවා. ගංවතුරට නිවාඩු නිසා රජයේ නිවාඩු දවසක් වුවත් අපේ පාසල පැවැත්වුවා. ඒත් සඳුදා ඇය පාසල් ආවේ නැහැ. මම සිතුවා අම්මා එනවා කිව්ව නිසා නවතින්න ඇති කියලා. හරිම සැහැල්ලුවෙන් සිටියේ. මෙහෙම දෙයක් කර ගනිවි කියලා හිතන්නවත් බැහැ. හැම වෙලේම සතුටින් ඉන්න හදපු මගේ හොඳම මිතුරිය අද මට නැති වෙලා”


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.