උදෙන්ම පාසල් ආපු වයස 11 සිසුවියට ටීචර්ගේ සැමියා පංතිය තුලදීම දුෂණය කරලා

ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයට අයත් පාසලක ඉගෙනුම ලබන සිසුවියකට පාසල තුළදීම අතවර කරන ලද බව කියන එම පාසලේම ගුරුවරියකගේ සැමියකු ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනක උදෑසනම පාසලට පැමිණි සිසුවියක් පාසැල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා යතුරු ගෙන ඒමට පාසලේ ගුරු නිවාසයට ගොස් ඇත. එම විදුහලේ සේවය කරන ගුරුවරියක් ගුරු නිවෙසේ තම සැමියා හා දරු දෙදෙනෙකු සමඟින් නතර වී සිටි ඇති අතර, එහිදී ගුරුවරියයේ සැමියා සිසුවියට පාසැල් ගොඩනැඟිල්ලේ යතුර ලබා දී තිබේ.
සිසුවිය ගුරු නිවෙසෙන් යතුර ගෙනවිත් පාසැල් ගොඩනැඟිල්ල විවෘත කර එය ඉදිරිපිට මිදුල අතුගෑමට පටන් ගෙන ඇති අතර, ඒ වන විට වෙනත් සිසුන් පාසලට පැමිණ සිට නැත. එම අවස්ථාවේ ගුරු නිවෙසේ සිටින ගුරුවරියගේ සැමියා පැමිණ සිසුවියගේ උරහිස් දෙකෙන් අල්ලා පන්තියක් තුළට තල්ලු කරගෙන ගොස් ඇයට අතවර කර තිබේ. පසුව ඔහු එම සිද්ධිය කිසිවකුට නොකියන ලෙස ඉල්ලා රුපියල් 100 ක් දී ඇති නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර ඇත.

පසුව එම සිසුවිය සිදුවීම පිලිබඳ පන්තියේ තමන්ගේ යෙහෙළියන්ට කියා ඇති අතර, ඔවුන් පන්තියේ ගුරුතුමියට ඒ බව පවසා ඇත. ඇය විදුහල්පතිවරයාට ඒ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් දිසා අධිකරණය වෙත ඉදිරපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරින ලද අතර එකොළොස් හැවිරිදි සිසුවිය නාවලපිටිය දිසා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියම කෙරිණි.