බාබුල්, මත් පුවක් හා මාවා කාපු සිසුන් 25කට ලොකු දෙයක් වෙලා

බාබුල්, මත් පුවක් සහ මාවාවලට ඇබ්බැහි වූ මාතලේ නගරයේ පාසැල් සිසුන් 25 දෙනෙකු මුඛ පිළිකා රෝගයට ගොදුරුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව මාතලේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අලුවිහාරේ මහතා සහ හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සැම අභාපතිත්වයෙන් ඊයේ (10) පැවති මාතලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම තොරතුරු අනාවරණය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මුඛ හා හනුක වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙම තොරතුරු වාර්තා කර ඇති බවද පැවසුවේය.

මෙම පාසැල් සිසුන් මුඛ පිළිකාවේ මූලික අවස්ථාවේ පසුවන බවත් පිළිකාව ඉවත් කර සුව කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක පමණ වියදමක් දැරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසු බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මත්ද්‍රවය භාවිතයේ වරද නොදන්නාකමින් දරුවන් මෙම මත්ද්‍රවයවලට ඇබ්බැහිව ඇති බවද ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. පාසැල් දරුවන් මතට ඇබ්බැහි වීමෙන් වළකා ගැනීම සඳහා මේ වන විට මත් වැටලීම් පුළුල් කර තිබෙන බවද ඔහු පැවසීය.